දකුණු අප්‍රිකාව ලකුණු 126කට දැවී යයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-07-14

දකුණු අප්‍රිකාව ලකුණු 126කට දැවී යයි

Author(s): 
වර්නන් ගුණසේකර

ශ්‍රී ලංකාව කඩුලු 6ක් අතැතිව ලකුණු 272කින් පෙරමුණේ

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් ත්‍රිත්වය හා සුරංග ලක්මාල්ගේ වේග පන්දුව විසින් දකුණු අප්‍රිකාව ලකුණු 126කට දවාලීමෙන් පසුව ශ්‍රී ලංකාව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඊයේ දෙවැනි දිනය නිමා වන විට කඩුලු 6ක් අතැතිව ලකුණු 272කින් පෙරමුණට පිවිස සිටියේය.

ඩිල්රුවන් පෙරේරා ලකුණු 46කට කඩුලු 4ක්ද, සුරංග ලක්මාල් ලකුණු 21කට කඩුලු 3ක්ද, රංගන හේරත් ලකුණු 39කට කඩුලු 2ක්ද ලබා ගත්හ.

ශ්‍රී ලංකාව ඊයේ තරගය නතර කරන විට දෙවැනි ඉනිමේ කඩුලු 4ක් දැවී ලකුණු 111ක් රැස්කර ගෙන සිටියේය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 14ක්ද, රොෂේන් සිල්වා ලකුණු 10ක්ද ලබා ගෙන නොදැවී ක්‍රීඩා කරමින් සිටියහ. කේෂව් මහරාජ් ලකුණු 37කට කඩුලු 3ක් ලබා ගෙන සිටියේය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් ධනුෂ්ක ගුණතිලක හා දිමුත් කරුණාරත්න ආරම්භක කඩුල්ල වෙනුවෙන් ඕවර 17යි පන්දු 5ක් ඇතුළත ලකුණු 51ක් රැස් කළහ. මේ දෙදෙනාගෙන් පළමුව දැවී ගියේ ගුණතිලක ය. ඔහු කේෂව් මහරාජ්ගේ පන්දුවට දැවැන්ත පහරක් එල්ල කිරීමේදී කගිසො රබාඩා ‘ඩීප් මිඩ් විකට්’ ස්ථානයේ සිට ඔහුගේ වම් පැත්තට දිව යමින් උඩ පන්දුව රැක ගත් අතර ගුණතිලක ලකුණු 17කට දැවී ගියේය.

සාර්ථක දඟ පන්දු යැවීමක නිරත වූ මහරාජ් එක ඕවරයක් ඇතුළත තවත් කඩුලු 2ක් ලබා ගැනීමට සමත් විය. ඔහුට මෙවර ගොදුරු වූ පිතිකරුවන් වූයේ ධනංජය ද සිල්වා (9) හා කුසල් මෙන්ඩිස් (0)ය.

කරුණාරත්න හා ඇන්ජලෝ මැතිව්ස් මුළු ලකුණු සංඛ්‍යාව 92 දක්වා ගෙන එමින් සිටියදී කරුණාරත්න, රබාඩාගේ පන්දුවට ‘ස්ලිප්’හි හෂිම් අම්ලා වෙත උඩ පන්දුවක් දෙමින් 33 වැනි ඕවරයේදී දැවී ගියේය. තරගයේ දෙවැනි වතාවටද සාර්ථක පිතිකරණයක නියැළුනු කරුණාරත්න හතරේ පහර 7ක්ද එල්ල කරමින් පන්දු 80කින් ලකුණු 60ක් ලබා ගත්තේය.

ඊයේ දෙවැනි දින තරගය දිවා ආහාරය සඳහා නතර කරන විට දකුණු අප්‍රිකාව කඩුලු 6ක් අහිමි කරගෙන ලබා ගෙන සිටියේ ලකුණු 86ක් පමණි.

කඩුලු 1 ට ලකුණු 4 සිට ඊයේ තරගය ආරම්භ කළ දකුණු අප්‍රිකාවේ කඩුලු 4ක් පළමු පැය ඇතුළත බිඳ වැටිණි. පළමුව දැවී ගියේ පෙර දිනයේ කඩුල්ල ආරක්ෂා කිරීමට පැමිණි කේෂව් මහරාජ් (3) ය. රංගන හේරත්ගේ පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ඔහු දැවී ගියේ ඊයේ තරගයේ යැවුණු තෙවැනි ඕවරයේදීය.

ඉන්පසුව ඩිල්රුවන් පෙරේරා කඩුලු දෙකක් ලබා ගනිමින් ආරම්භක පිතිකරු ඩීන් එල්ගා (8) හා අංක 4 පිතිකරු හෂිම් අම්ලා (15) දවාලීය. අම්ලාගේ කඩුල්ල ශ්‍රී ලංකාව ලබා ගත්තේ තෙවැනි විනිසුරු මාර්ගයෙනි.

හේරත් හා ඩිල්රුවන් ඕවර 20ක් යැවීමෙන් පසුව වමතින් ‘චයිනමන්’ පන්දු යවන ලක්ෂාන් සඳකැන් පන්දු ප්‍රහාරය සඳහා කැඳවනු ලැබූ අතර ඔහු සිය දෙවැනි පන්දුවෙන්ම ටෙම්බා බවුමා (17)ගේ කඩුල්ල ලබා ගත්තේය. අනතුරුව ඩිල්රුවන්, කුයින්ටන් ඩි කොක් (3)ගේ කඩුල්ල බිඳ හෙලුවේය. පිටියේ තරග විනිසුරුවන් ලබා දුන් සමහර තීරණ යළි නිරීක්ෂණය සඳහා යොමු නොකිරීම හේතුවෙන් කඩුලු ලබා ගැනීමේ අවස්ථා කිහිපයක්ම ශ්‍රී ලංකාවට මග හැරිණි.

දකුණු අප්‍රිකාවේ කඩා වැටෙමින් තිබූ ඉනිමට මුක්කුවක් තැබුවේ නායක ෆෆ් ඩු ප්ලෙසි හා වර්නන් ෆිලැන්ඩර් ය. හත්වැනි කඩුල්ල වෙනුවෙන් පිටිය මැද එක්වූ මේ දෙදෙන පන්දු 166කින් ලකුණු 64ක් රැස් කිරීමට සමත් වූහ. අවසානයේ මේ දෙදෙනාගේ සබඳතාව බිඳ දැමුවේ ඩිල්රුවන් ය. ඒ, ෆිලැන්ඩර් (18) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිණි.

ඊළඟ ඕවරයේ පළමු පන්දුවෙන්ම නායක සුරංග ලක්මාල්, ප්ලෙසිගේ කඩුල්ල බිඳ දැමුවේය. පන්දු 88කට මුහුණ දුන් ප්ලෙසි හතරේ පහර 5ක් සමග ලකුණු 49ක් රැස් කළේය. ප්ලෙසිගේ කඩුල්ලෙන් නොනැවතුනු ලක්මාල් ඊළඟට පිට පිට ඕවර දෙකකින් කගිසො රබාඩා (2) හා ඩේල් ස්ටෙයින් (8)ගේ කඩුලු ලබා ගත්තේය.

දකුණු අප්‍රිකානු ඉනිම ඕවර 54යි පන්දු 3ක් ඇතුළත ලකුණු 126කට අවසන් වූ අතර ශ්‍රී ලංකාව ලකුණු 161කින් පළමු ඉනිමේ පෙරමුණට පිවිස සිටියේය.

Post Bottom Ad

Pages