චන්දිමාල් හතුරුසිංහ ගුරුසිංහ දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියට නෑ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-07-13

චන්දිමාල් හතුරුසිංහ ගුරුසිංහ දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියට නෑ

Author(s): 
වර්නන් ගුණසේකර

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගමාලාවට සහභාගි නොවීමට එකඟ වී තිබේ.

මේ අනුව දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙක සඳහා සුරංග ලක්මාල් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙනු ඇත.

මේ තිදෙනාට එරෙහිව පැනවීමට නියමිත සම්බාධක හමුවේ ඔවුන් විසින් මේ තීරණය ගෙන ඇතැයි ජගත් ක්‍රිකට් කවුන්සලය ඊයේ ප්‍රකාශ කළේය.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිලට එරෙහිව සාන්ත ලුසියාහි පසුගිය මාසයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය අතරවාරයේ ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වන අයුරින් කටයුතු කිරීමේ චෝදනාවට චන්දිමාල්, හතුරුසිංහ හා ගුරුසිංහ වරද පිළිගෙන තිබේ. මේ වරදට ලැබෙන අවම දඬුවම ටෙස්ට් තරග දෙකක තහනමක් බැවින් මේ තිදෙනා එම තරගවලට සහභාගි නොවීමට තීරණය කර තිබේ.

තරගය ආරම්භ වීමට පෙර දින රාත්‍රියේ (පෙරේදා) අධිකරණ කොමිසමේ නඩුව ඇසීම අවසන් වූවද එහි තීරණය තවමත් ප්‍රකාශයට පත්කර නැත.

“ඒ අතරතුර කාලයේදී, වරද පිළිගෙන සිටින චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙකට සහභාගි නොවීමට තීරණය කර තියෙනවා” යැයි ජගත් ක්‍රිකට් කවුන්සලය පවසයි.

සාන්ත ලුසියා කොදෙව් දූපතේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දින ක්‍රීඩාවේ ආරම්භය පැය දෙකකින් ප්‍රමාද කරවමින් ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාවට සම්බන්ධ වීමේ චෝදනාව මේ තිදෙනාට එල්ල වී තිබිණි.

පෙර දින තරගයේදී චන්දිමාල් පන්දුව පළුදු කළේ යැයි චෝදනා කරමින් කොදෙව් පිලට ලකුණු 5ක් පිරිනැමීමට විරෝධය පාමින් ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි දිනයේ පැය දෙකක් යනතුරු පිටියට පිවිසියේ නැත.

චන්දිමාල් තමන්ට පනවනු ලැබූ තරග තහනමට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑල ප්‍රතික්ෂේප වීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ නැත.

ජගත් ක්‍රිකට් කවුන්සලයේ නීති උල්ලංඝනය කරමින් චන්දිමාල් කෘතිම ද්‍රව්‍යයක් පන්දුවට ආලේප කළ බවට තරග තීරක ජවගල් ශ්‍රීනාත් පවසා තිබිණි.

පන්දුව වැඩියෙන් දඟ කැවෙන පරිදි පන්දුව පළුදු කිරීම පිණිස චන්දිමාල් කෙළ සහ ඔහුගේ කටේ තිබූ පැණි රස දෙයක් පාවිච්චි කළ බවට සැක කර තිබිණි. ඔහුගේ මේ ක්‍රියාව රූපවාහිනී කැමරාවලට හසු වී තිබිණි.

චන්දික හතුරුසිංහ වෙනුවට තිලාන් සමරවීර වැඩබලන පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ඇත.

Post Bottom Ad

Pages