වසර 3කට පසු ශ්‍රී ලංකා හොකී නිලවරණය ඔක්: 8 දා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-08-03

වසර 3කට පසු ශ්‍රී ලංකා හොකී නිලවරණය ඔක්: 8 දා

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

වසර 3කට පසුව ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නිලවරණය ඔක්තෝබර් මස 8 වැනිදා පැවැත්වීමට දින නියම වෙයි. හොකී නිලවරණයට අදාළ නාම යෝජනා හා නිලවරණය පිළිබඳ විස්තර ක්‍රීඩා අමාත්‍යාංශ්‍ය විසින් අදාළ සාමාජික සංගම් වෙත ඊයේ ලියාපදිංචි තැපෑලෙන් යොමු කර තිබේ. නාම යෝජනා භාර ගැනීම සැප්තැම්බර් මස 1වැනිදා ආරම්භවන අතර නාම යෝජනා භාර ගැනීම 10 වැනිදා අවසන් කෙරේ. එදින සිට 11 වැනිදා දක්වා නාම යෝජනාවලට අදාළ විරෝධතා භාර ගැනීම සිදු කෙරෙන අතර විරෝධතා පිළිබඳ පරීක්ෂණය සැප්තැම්බර් 17 වැනිදා සිදු කිරීමට නියමිතය.

කලකට පසුව හොකී නිලවරණය පැවැත්වෙන හෙයින් ඡන්දය ප්‍රකාශ කරන සාමාජික ක්‍රීඩා සංගම් පිළිබඳ විවිධ යෝජනා ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු වෙමින් පවතින බව වාර්තා වේ. එබැවින් හොකී නිලවරණයේදී ඡන්දය භාවිතා කළ හැකි ක්‍රීඩා සංගම් හා ඡන්ද අයිතිය හිමි පුද්ගලයින් හඳුනා ගැනීම මේ දිනවල සිදු කෙරෙන අතර හොකී ඡන්ද හිමි නාම ලේඛනය සැප්තැම්බර් 14 වැනිදා ප්‍රකාශ කිරීමට සූදානමින් සිටී. එම ඡන්ද අයිතීන් උදෙසා විරෝධතා ඇත්නම් ඒවා විභාග කොට සාධාරණය ඉටු කිරීමට නිලවරණ කමිටුව සුදානමින් සිටී.

හොකී නිලවරණ කමිටුවට ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරුන් වන එස්. ලියනගම හා එස්. විරිතමුල්ල යන මහත්වරු පත්කොට ඇති අතර ජාතික ඔලිම්පික් කමිටු නියෝජිතයා ලෙස එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝෂප් කෙනී මහතා පත්කොට තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්. බී. වික්‍රමසිංහ මහතා හා නදීකා දමයන්ති මහත්මිය නිලවරණ කමිටුවට ඇතුළත් වෙති.

2015වසරේ සිට පැවැත්වීමට නොහැකි වූ ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නිලවරණය සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තෆා මහතා හොකී සම්මේලනයේ අර්බුදකාරී පාර්ශ්ව සමග සාකච්ඡා පවත්වා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් රැගෙන නිලවරණය පැවැත්වීමට තීරණය කළේය. ක්‍රීඩා පනතේ බලතල ප්‍රකාරව අමාත්‍යවරයා විසින් මේ විධානය ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව වෙත ලබාදී තිබිණි.

නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කලින් අභියාචනාධිකරණයේ ගොණු කොට තිබු නඩුව එකඟතාවයකින් නිමා කිරීමට නඩුවට අදාළ සියලු පාර්ශ්ව කටයුතු කළහ. වසර 2015දී ශ්‍රී ලංකා හොකී සම්මේලනයට නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කර ගැනීම සඳහා නිලවරණයක් කැඳවීම නීති විරෝධී යැයි පවසමින් රාජ්‍ය සේවා හොකී සංගමය, කළුතර හොකී සංගමය, ගම්පහ හොකී සංගමය ඇතුළු හොකී සංගම් කිහිපයක් ගොනු කර තිබූ මේ පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නම් කෙරුණි.

හොකී සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට නොහැකි වීමෙන් වසර 3කට ආසන්න කාලයක් මෙරට හොකී සම්මේලනය ක්‍රියාකාරීත්වය අණහිටි අතර පරිපාලන කටයුතු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතට පත්කර තිබිණි.

Post Bottom Ad

Pages