“යෞවනයේ ඩෑෂ් පහර” ඩී.එස්.අයි. පාසල් වොලිබෝල් අද-හෙට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-08-03

“යෞවනයේ ඩෑෂ් පහර” ඩී.එස්.අයි. පාසල් වොලිබෝල් අද-හෙට

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

නැඟී එන පාසල් වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට දායාද කරන ඩී. එස්. අයි. පාසල් වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ අවසන් තරග අද (3) සහ හෙට (4) දෙදින මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාසල් වොලිබෝල් සංගමය එක්ව සංවිධාන කරන මේ ශූරතාවලිය ඩී.එස්.අයි. ආයතනයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ මෙවර පැවැත්වෙන්නේ 18 වැනි වරටය.

අවුරුදු 19, 17, 15 සහ 13 පහළ බාලක බාලිකා මෙන්ම මේ තරගාවලියට පළමු වරට හඳුන්වාදුන් 11න් පහළ බාලක බාලිකා ලෙස වයස් කාණ්ඩ 5ක් යටතේ පැවැත්වෙන තරගාවලියේ පළමු දිනයේදී අවුරුදු 11න් පහළ බාලක/බාලිකා, 13න් පහළ බාලිකා, 15න් පහළ බාලක/බාලිකා සහ 17න් පහළ බාලිකා තරග පැවැත්වෙන අතර හෙට අවසන් දිනයේදී අවුරුදු 17න් පහළ බාලක, 19න් පහළ බාලක බාලිකා සහ 13න් පහළ බාලක තරග පැවැත්වෙයි.

අවුරුදු 11න් පහළ බාලිකා ඉසව්වෙන් අද පෙ.ව.8.30ට තරගාවලිය ආරම්භ වෙයි.

පසුගිය වසරේ ත්‍රිත්ව ශූරතා දිනාගත් මාරවිල සාන්ත සේවියර් විදුහල මෙවර අවසන් තරග 2කට පමණක් සුදුසුකම් ලබා ඇති අතර පසුගිය වසරේ ශූරතා ද්විත්වයක් දිනාගත් අම්පාර උහන තිස්සපුර විදුහල අවසන් තරග 3කට සුදුසුකම් ලබා තිබීම මෙවර තරගාවලියේ කැපී පෙනෙන සිදුවීමක් විය.

මාරවිල සාන්ත සේවියර් විදුහල පසුගිය වසරේ අවුරුදු 17, 15 සහ 13න් පහළ බාලක ශූරතා ත්‍රිත්වයම දිනාගත් මේ තරගාවලියේ දී අවසන් තරග සඳහා එක්වන්නේ අවුරුදු 15 සහ 17න් පහළ බාලක තරග සඳහා පමණි.

පසුගිය වසරේ තරගාවලියේදී අවුරුදු 15 හා 13න් පහළ බාලිකා ශූරතා දිනාගත් උහන තිස්සපුර විදුහල මෙවර තරගාවලියට පළමු වරට එක්වූ අවුරුදු 11න් පහළ ඉසව්වේ බාලිකා අවසන් තරගයට මෙන්ම 13 සහ 15න් පහළ තරග සඳහාද සුදුසුකම් ලබා ඇත.

පසුගිය වසරේ අනුශූරතා 5ක් අත්කරගත් රුවන්වැල්ල රාජසිංහ විදුහල මෙවර තරග 2කට පමණක් සුදුසුකම් ලබා ඇති අතර පසුගිය වසරේ අවුරුදු 19න් පහළ බාලිකා තෙවැනි ස්ථානයට අත්කරගත් ආනමඩුව විදුහල මෙවර එම වයස් කාණ්ඩයේ අවසන් තරගයට එක්ව සිටී.

පසුගිය වසරේ අවුරුදු 19න් පහළ ශූරයන්වූ නාත්තන්ඩිය දම්මිස්සර විදුහල එවර අනුශූරයන් වූ රුවන්වැල්ල රාජසිංහ විදුහල සමගින් අවසන් තරගයට එක්වෙයි.

පසුගිය තරගාවලියේ අවුරුදු 17න් පහළ බාලක ශූරයන්වූ මාරවිල සාන්ත සේවියර් විදුහල සමගින් එවර තෙවැනි ස්ථානය හිමිකරගත් රුවන්වැල්ල රාජසිංහ විදුහල මේ වසරේ එම වයස් කාණ්ඩයේ අවසන් තරගයට එක්වන අතර පසුගිය වසරේ 13න් පහළ බාලිකා ශූරතාව දිනූ අම්පාර උහන විදුහල සහ දෙවැනි තැනට පත්වූ ත්‍රිකුණාමලය රාජකීය ජාතික පාසල මෙවරද එම වයස් කාණ්ඩයෙන් අවසන් තරගයට එක්ව සිටී.

මේ වසරේ සිට තරගාවලියට එක්වන අවුරුදු 11න් පහළ වයස් කාණ්ඩයේ බාලක තරග සඳහා නාත්තන්ඩිය ජනාධිපති විදුහල සහ හලාවත රදගුරු එඩ්මන්ඩ් පීරිස් විදුහල සුදුසුකම් ලබා ඇති අතර බාලිකා තරගයට අම්පාර උහන තිස්සපුර විදුහල සමගින් අනරාධපුර සියඹලාගස්වැව මැදගම විදුහල සුදුසුකම් ලබා සිටී.

පසුගිය වසරේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයේ මහේල ඉන්දීවර බණ්ඩාර සම්මාන දිනාගත් අතර ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයේ එච්.පී.නිමේෂිකා සෙව්වන්දි දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මාන දිනා ගත්තාය.

අවසන් තරග සටහන

අද (3)

පෙ.ව.8.30 11න් පහළ බාලිකා

අම්පාර උහන තිස්සපුර වි. - සියඹලාගස්වැව මැදගම වි.

පෙ.ව.9.30 11න් පහළ බාලක

නාත්තන්ඩිය ජනාධිපති වි. - හලාවත රදගුරු එඩ්මන්ඩ් පීරිස් වි.

පෙ.ව.10.30 13න් පහළ බාලිකා

ත්‍රිකුණාමලය රාජකීය ජා.පා. - අම්පාර උහන තිස්සපුර වි.

පෙ.ව. 11.45 15න් පහළ බාලිකා

කිරිදිවැල සංඝමිත්ත වි. - අම්පාර උහන තිස්සපුර වි.

ප.ව.1.30 15න් පහළ බාලක

මාරවිල සාන්ත සේවියර් විදුහල - වෙන්නප්පුව සා.ජෝශප් විදුහල

ප.ව.3.00 17න් පහළ බාලිකා

ආනමඩුව ම.ම. වි. - හුංගම විජයබා ජා. පා.

හෙට (4)

පෙ.ව.8.00 17න් පහළ බාලක

රුවන්වැල්ල රාජසිංහ ම.ම.වි. - මාරවිල සාන්ත සේවියර් වි.

පෙ.ව.10.00 19න් පහළ බාලිකා

ආනමඩුව ම. ම. වි. - මහඋස්වැව රතනපාල වි.

ප.ව.1.00 13න් පහළ බාලක

රුවන්වැල්ල රාජකීය වි. - ඉඹුලාන ශ්‍රී සේන මහ වි.

ප.ව.3.00 19න් පහළ බාලක

නාත්තන්ඩිය ධම්මිස්සර වි. - රුවන්වැල්ල රාජසිංහ වි.

Post Bottom Ad

Pages