වැරදි කර කර දිනන්න බෑ: නිරෝෂන් දික්වැල්ල - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-08-03

වැරදි කර කර දිනන්න බෑ: නිරෝෂන් දික්වැල්ල

Author(s): 
ෆවුස් මොහොමඩ්

තරගය පුරා වැරැදි ගණනාවක් සිදු කරමින් ජයග්‍රහණය අපේක්ෂා කළ නොහැකි බව ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල කියයි. දකුණු අප්‍රිකාව හමුවේ පෙරේදා දඹුල්ල ක්‍රීඩාංගණයේදී දෙවැනි එක්දින තරගය කඩුලු 4කින් පරාජය වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් දික්වැල්ල මේ අදහස් පළ කළේය.

දෙපිල අතර පෙරේදා පැවැති දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 නිමාවනවිට කඩුලු8ක් දැවී ලකුණු 244ක් රැස් කළ අතර දකුණු අප්‍රිකානුවන් කඩුලු 6ක් දැවී ජයග්‍රහණය අත්කරගත්තේ තවත් ඕවර 7කුත්, එක් පන්දුවක් ඉතිරිව තිබියදීය.

‘අපිට තරගය පුරාම වැරදුණා. වැරැදි 2ක්, 3ක් නම් හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒත් තරගය පුරාම නිතර නිතර වැරදීම් වෙනවානම් ජයගන්න අමාරුයි. පරාජයට නිදහසට කරුණු කියලා වැඩක් නෑ. ඒවාට විසඳුම් හොයන්නයි ඕන.’ ඔහු කීවේය.

නිරෝෂන් දික්වැල්ල පෙරේදා තරගයේදී ලකුණු 69ක් රැස් කිරීමට සමත්වූ අතර ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු 3ම ලකුණු 56ක් ඇතුළත බිඳ වැටීමෙන් පසුව නායක ඇන්ජෙලෝ මැතිව්ස් සමග එක්ව ඉනිම පිළිසකර කිරීමට සමත්විය. පසුගිය වසරේ අගෝස්තුවේ ඉන්දියාවට එරෙහිව දඹුල්ලේදී ලකුණු 64ක් රැස් කිරීමෙන් පසුව ක්‍රීඩා කළ එක්දින තරග 16දීම අර්ධ ශතකයක් වාර්තා කිරීමට අසමත්වූ දික්වැල්ල පෙරේදා තරගයේදී රැස් කළේ සිය එක්දින තරග දිවියේ 6 වැනි අර්ධ ශතකයයි.

ශ්‍රී ලංකා ඉනිමේ 13 වැනි ඕවරය යවමින් විලෙම් මල්ඩර් එල්ල කළ කෙටි පන්දුවක් ඉලඇට පෙදෙසේ වැදිම නිසා දැඩි වේදනාවට පත්ව බිම ඇද වැටුණු 25 හැවිරිදි මේ වමත් පිතිකරුවා පන්දු 78කදී ලකුණු 69ක් රැස් කළ අතර හතරේ පහර 10කින් එය වර්ණවත් කළේය.

දකුණු අප්‍රිකානු ඉනිම අතරතුර ඔහු පිටියෙන් ඉවත්වූ අතර පසුව එක්ස් රේ පරීක්ෂණයකට ද පෙනී සිටියේය.

‘පන්දු රැකීමේ දී මම මැතිව්ස්ට කිව්වා සියයට සියයක් මට දායකත්වය දෙන්න බෑ. මම පිටියෙන් ඉවත්වෙනවා කියලා. පන්දුව වැදීමෙන් දැඩි වේදනාවක් ඇති වුණත් එක්ස් රේ පරීක්ෂණයේදී තහවුරු වුණා කිසිම හානියක් නෑ කියලා. තුන්වැනි තරගයට තවත් දවස් 3ක් තියෙනවා. මං හිතනව මට ඒ තරගයට ක්‍රීඩා කරන්න හැකිවේවි කියලා.’ ඔහු කීවේය.

ශ්‍රී ලංකා ඉනිමේදී පළමු කඩුලු 2ම වේලාසනින් බිඳ වැටීම නිසා විශාල ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට ඇති අවස්ථාව අහිමි වූ බව දික්වැල්ලගේ අදහසය.

‘පිතිකරුවන් 6ක් අතරින් 3 දෙනකුම ලකුණු රැස් නොකරද්දී ලොකු ලකුණු ප්‍රමාණයක් ගන්න අමාරුයි.’ ඔහු පැවැසීය.

ඡායාරූපය සුසන්ත විජේගුණසේකර


අපේ කණ්ඩායම ක්‍රීඩා කළේ පාසල් දරුවන් වගෙයි
- නායක මැතිව්ස්

දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 4ක පරාජයක් අත්විඳි පෙරේදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දිවාරාත්‍රී දෙවැනි එක්දින තරගයේදි ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් කටයුතු කළේ පාසල් දරුවන් රංචුවක් ලෙස යැයි ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් ප්‍රකාශ කරයි.

අඩු ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කරන්න යන ගමනේදි පන්දු රැකීමේ දුර්වලතා තිබිය නොහැකි බවත් ඔහු කීවේය.

දෙවැනි තරගයත් ජයගත් දකුණු අප්‍රිකාව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0කින් පෙරමුණ ගෙන සිටී.

‘අපි මුලින් ඉදිරිපෙළ කඩුලු කිහිපයක් බිඳ දමා ගත්තා. ඊළඟට තීරණාත්මක අවස්ථාවලදී කඩුලු නාස්ති කරගත්තා. ඒ නිසා අපිට නැගී සිටින්න බැරිවුණා. අනික අපි උඩපන්දු ඇල්ලුවේවත් නෑ. අඩු ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කරන්න හදද්දී කිසිම අවස්ථාවක උඩපන්දු අත් හරින්න බෑ. අපේ පන්දු යවන්නන් හොඳට කරලත් අද අපිට සෑහෙන සවුත්තු දවසක් වුණා. අපි ක්‍රීඩා කළේ හරියට පාසල් දරුවන් රංචුවක් වගෙයි.’ ඔහු සඳහන් කළේය.

‘අකිල ධනංජය විශිෂ්ට පන්දු යැවීමක නිරතවුණා. ඒ වගේම දික්වැල්ලත් ලකුණු අතරට ඇවිත්. අපිට මේ සුභවාදී බව සාධකයක්. අපි තවමත් මේ තරගාවලියේ රැඳි සිටිනවා.’ මැතිව්ස් කීවේය.

Post Bottom Ad

Pages