එංගලන්තය සමග විස්සයි 20 ක්‍රිකට් ගැටුම අද - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-27

එංගලන්තය සමග විස්සයි 20 ක්‍රිකට් ගැටුම අද

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එකම විස්සයි 20 ක්‍රිකට් තරගය අද රාත්‍රි 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝක ධාරා මැද පැවැත්වෙයි. දෙරට අතර මේ දක්වා පැවැති විස්සයි 20 තරග අටකදී එංගලන්තය තරග 4ක් හා ශ්‍රී ලංකාව තරග 4ක් ජයගෙන සම තත්ත්වයක සිටී.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර එක්දින තරගාවලියෙන් එංගලන්තය ජය ගත්තද මේ විස්සයි 20 තරගයෙන් ශ්‍රී ලංකාව වැඩි වාසි අත්කර ගැනීම උදෙසා සටන්කරන බව නායක තිසර පෙරේරා පැවැසීය. අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 219ක දැවැන්ත ජයක් ලබා ගැනීමෙන් ශ්‍රී ලංකා පිලේ මානසිකත්වය ඉහළ ගොස් ඇත. මේ හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් විශාල මෙහෙයක් අපේක්ෂා කළ හැක.

පසුගිය වසරේ පාකිස්තානයේ පැවැති විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළ තිසර පෙරේරාට යළිත් ශ්‍රී ලංකා විස්සයි 20 පිල මෙහෙයවීමේ අවස්ථාව හිමිව ඇත්තේ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් ඉවත්කිරීමෙනි. නිමාවට පත්වූ එක්දින තරගාවලියෙන් ඉවත් කළ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් විස්සයි20 තරගයෙන්ද ඉවත් කර තිබීම වශේෂත්වයකි.

තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමි නොවූ 20 හැවිරිදි කමිඳු මෙන්ඩිස් විස්සයි 20 සංචිතයට එක්කොට ඇති අතර මෙම තරගයේදී ඔහුට අවස්ථාව හිමිවනු ඇතැයි විචාරක මතයවී තිබේ. වමතින් හා දකුණතින් පන්දු යැවීමේ විශේෂ හැකියාවක් ඇති සෑම අංශයකින්ම දස්කම් දක්වන කමිඳු ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් බිහිවූ දක්ෂ ක්‍රීඩකයෙකි. 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීමේ අවස්ථාව කමිඳු මෙනිඩිස්ට හිමි විය. ආබාධ තත්ත්වය මත එක්දින තරගාවලියෙන් ඉවත්වූ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා යළි කණ්ඩායමට එක්ව ඇත. ඔහු එංගලන්තයට එරෙහි මෙම තරගයේදී නිරෝෂන් දික්වැල්ල සමග ආරම්භක පිතිකරු ලෙස කටයුතු කිරීමට සූදානමින් සිටී.

එංගලන්තයේ ප්‍රහාරාත්මක පිතිකරු බෙන් ස්ටොක් විස්සයි 20 විශේෂඥ ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන හෙයින් ඔහුගෙන් විශේෂ සේවයක් මෙම තරගයේදී එංගලන්ත පිල අපේක්ෂා කරයි. එමෙන්ම පන්දු යැවීමේදී මොයින් අලී මෙම විස්සයි 20 තරගයේදී එංගලන්තය වෙනුවෙන් දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂාවකි. ආබාධයක් හේතුවෙන් කඩුලු රකින ක්‍රීඩක ජොනී බැරිස්ටෝ වෙනුවට සරේ ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ බෙන් ෆෝකස් එංගලන්ත පිලට එක්ව සිටී.

Post Bottom Ad

Pages