ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල ලකුණු 392කට ඉනිම අත්හිටුවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-31

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල ලකුණු 392කට ඉනිම අත්හිටුවයි

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග එස්.එස්.සී පිටියේදී පැවැත්වෙන දෙදින පුහුණු තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 392ක් ලබා සිටියදී ඉනිම අත්හිටු වීය.

ක්‍රිකට් ආයතන පිල වෙනුවෙන් කෞෂාල් සිල්වා, සදීර සමරවික්‍රම, අශාන් ප්‍රියංජන් සහ මනෝජ් සරත්චන්ද්‍ර අර්ධ ශතක රැස්කළ අතර පළමු පිතිකරුවන් තිදෙනාම අනෙක් පිතිකරුවන්ට අවස්ථාව දෙමින් පිටියෙන් ඉවත්වී ගියහ.

ඉනිම නතර කරනවිට සරත්චන්ද්‍ර පන්දු 56කට මුහුණදෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 59ක් රැස්කර තිබිණි.

නායක ළහිරු තිරිමාන්න සමගින් ඉනිම ඇරැඹු කෞෂාල් සිල්වා පළමු කඩුල්ලට ලකුණු 99ක් එක් කළේය. පන්දු 82කදී හතරේ පහර 9ක් සමගින් ලකුණු 62ක් රැස් කළේය.

මුළු ලකුණු 139ක්ව තිබියදී නායක ළහිරු තිරිමාන්න ජෙම්ස් ඇන්ඩර්සන්ගේ පන්දුවක් හමුවේ ලකුණු 45කට දැවී ගියේය. සදීර සමරවික්‍රම පන්දු 66කදී හතරේ පහර 11ක් සමගින් ලකුණු 58ක් ලබාගැනීමෙන් අනතුරුව පිටියෙන් ඉවත්වූ අතර හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් වේගවත් ලකුණු 45ක් ඉනිමට එක් කළේය. මැතිව්ස්ගේ ඉනිමට පන්දු 38කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. චරිත් අසලංක (8), කමිඳු මෙන්ඩිස් (11) සහ රොෂේන් සිල්වා (11) අඩු ලකුණු ගණනකට දැවී යද්දී අශාන් ප්‍රියංජන්ද ඉනිමට ලකුණු 50ක් එක් කළේය. ඔහු දැවී යෑමෙන් අනතුරුව පිටියේ එක්වූ මනෝජ් සරත්චන්ද්‍ර සහ ප්‍රභාත් නිශ්ශංක 9වැනි කඩුල්ලට ලකුණු 67ක් එක් කළහ. ලකුණු 29ක් ලබාසිටි නිශ්ශංක දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණි. ඔහු දැවී යෑමත් සමග ක්‍රිකට් ආයතන පිල පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

අද තරගයේ අවසන් දිනයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල - 392/9 (ඕවර 89.5) ඉනිම අත්හිටුවන ලදි. කෞෂාල් සිල්වා 62, සදීර සමරවික්‍රම 58, අශාන් ප්‍රියංජන් 50, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 59 (මොයින් අලී 64/2)

ඡායාරූප - වාසිත පටබැඳිගේ

Post Bottom Ad

Pages