ධාවන පිටිය ජය ගන්න පසිඳුට සවියක් සොයයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-23

ධාවන පිටිය ජය ගන්න පසිඳුට සවියක් සොයයි

ජාත්‍යන්තර තරග රැසකදී ශ්‍රී ලංකා මාතාවට ඉමහත් කීර්තියක් අත්කර දෙමින් මව්බිමේ නාමය රනින් සැරසු අභිමානවත් වයඹ පුත්‍රයෙකුට සිය ක්‍රීඩා දිවියේ ඉදිරි ගමන සඳහා අනුග්‍රාහකත්වයක් ලබා දෙන්නැයි ඔහුගේ මාපියන්ගේ ඉල්ලීම වී තිබේ.

මේ විශිෂ්ට මලල ක්‍රීඩකයා කුරුණෑගල මලියදේව විද්‍යාලයේ 13 වසර ගණිත අංශයේ අධ්‍යාපනය ලබන පසිඳු කොඩිකාර ය. පසුගිය මැයි මාසයේ කොළඹදී පැවැති දකුණු ආසියාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගයට සහභාගී වූ පසිඳු එම ඉසව්ව තත්පර 52.5 කින් නිම කර තම මව්බිමට රන් පදක්කම හිමි කර දෙන්නේ නව වාර්තාවක්ද සමගිනි. මෙහිදී පසිදු විසින් බිඳ දමන්නේ මීට වසර 20කට පෙර ඉන්දියානු ක්‍රීඩකයකු සතුව පැවැති වාර්තාවක් වීම විශේෂත්වයකි.

පසිඳු මේ ක්‍රීඩා උළෙලේදී මීටර් 400 පිරිමි සහාය දිවීමේ ඉසවෙන් නව වාර්තාවක්ද සමගින් රන් පදක්කම හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු විය. තවද මේ ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි ධාවන තරගයේ රිදී පදක්කම දිනා ගනු ලබන්නේද පසිඳු වීම කැපී පෙනේ.

එසේම පසුගිය ජුලි මාසයේදී ජපානයේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ පසිදු එහි මීටර් 400 පිරිමි සහාය දිවීමේ කණ්ඩායමේ සාමාජිකයකු ලෙසද තරග කරමින් රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමි කර දීමට දායක වූ අතර එහි මීටර් 400 කේවල තරගයේ රිදී පදක්කම මව්බිමට දිනා දුන්නේය. එමෙන්ම එම තරගාවලියේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගයේ සිව් වැනි ස්ථානය හිමි කර ගනු ලැබුවේද පසිදුය.

ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර පැවැති ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 සහාය දිවීම කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ පසිඳු ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට එහිදී හිමි වුයේ අට වැනි ස්ථානය වුවද ශ්‍රී ලංකා කණ්ඩායමක් එම තරගාවලියේ මේ ඉසව්වෙන් අවසන් වටයට පිවිස ඇත්තේ ප්‍රථම වතාවය. එසේම මේ ඉසව්වේ අවසන් වටයට සහභාගී වූ එකම ආසියානු කණ්ඩායම මොවුන් වීම ශ්‍රී ලංකාවට අභිමානයකි.

ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 400 සහාය දිවීමේ ජාතික කණ්ඩායමේ සාමාජිකයකු ලෙසද තරග වැදුණු පසිඳුට ඔලිම්පික් දක්වා යෑමට හොඳ අවස්ථාවක් ඇති බව ඔහුගේ පාසලේ පුහුණුකරු වන දමින්ද බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මෙසේද කියයි. ‘ඇත්තටම පසිඳුට කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් ඔලිම්පික් යන්න හොඳ අවස්ථාවක් තියෙනවා. මේ ඉසව්වේ ඔලිම්පික් පරිසාධන මට්ටම තත්පර 49.5යි. පසිඳු ඒක 46.5කින් අවසන් කරල තියෙනව. ඒක 45 ට අඩුවෙන් කරවන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒක අනිවාර්යෙන්ම කරන්න පුළුවන්.2020 ඔලිම්පික් ඉලක්ක කරමින් තමයි පුහුණුවීම් කරන්නේ. පසිඳු තමයි මලියදේව විද්‍යාලයේ ඉතිහාසය තුළ බිහි වූ දක්‍ෂතම මලල ක්‍රීඩකයා.

ජාත්‍යන්තර තරගයකට යද්දී ඕනෑම ක්‍රීඩකයකුගේ පුහුණුකරුවා යායුතුයි. මොකද පුහුණුකරු තමයි ඔහුගේ හැම දෙයක්ම දන්නේ. ඒ නිසා මම, ඔහු සහභාගී වන හැම තරගයකටම යනව. නමුත් ගමනකදී අපට ලැබෙන්නෙ ‘පොකට් මනි‘ විතරයි. අපි අතින් වියදම් දරා ගෙන තමයි ඒ ගමන් යන්නෙ. මේ වගේ දේවල් ගැන වගකිවයුත්තෝ හිතල බලනවා නම් හොඳයි. මොකද මේ වගේ සම්පතක් රැක ගැනීම රටේ වගකීමක්.’

වෘත්තියෙන් ගොවියකු වන පසිඳුගේ පියා වන බන්දුල පද්මසිරි මහතා පසිඳුට අනුග්‍රාහකයකු ලැබෙන්නේ නම් ඔහුගේ ඉදිරි ක්‍රීඩා කටයුතු සාර්ථක කර ගැනීමට එය මහත් පිටුවහලක් වන බව කියයි.

‘මම වෘත්තියෙන් ගොවියෙක්. මගේ බිරිය ගුරුවරියක්. මගේ ලොකු පුතා විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නව. දෙවනියා තමයි පසිඳු. බාල දුව තවම පාසල් යනව. ඉතින් මගෙ ගොවිතැන් වලින් ලැබෙන සුළු ආදායමෙනුයි, බිරියගේ වැටුපෙනුයි දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කරල එදිනදා පවුලේ වියදම් පියවා ගන්නවා හැර වෙන දේකට යොදවන්න මුදලක් ඉතිරි වෙන්නෙ නෑ. පුතාගේ ක්‍රීඩා ඇඳුම්, සපත්තු වගේ ඒවාට විශාල වියදමක් යනවා. ඒ නිසා කවුරු හරි අනුග්‍රාහකයෙකුගේ සහය ලැබෙනව නම් ඒක අපට ලොකු හයියක්.’

පසිදුගේ පියාට ඒ දායකත්වය සහනයක් වනවා සේම එය දක්‍ෂයන් දුර්ලභ අප රට වෙනුවෙන් කළ හැකි අමිල මෙහෙයක් බව කිව යුතුය.

සටහන - පොල්පිතිගම සමූහ

Post Bottom Ad

Pages