අශාන් සිල්වා සියලු ගෞරව දිනා ගනී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-24

අශාන් සිල්වා සියලු ගෞරව දිනා ගනී

කටුකුරුන්ද රොදර්හැම් මාණ්ඩලික තරගාවලිය

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව සංවිධාන කළ රොදර්හැම් මාණ්ඩලික මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියෙන් අශාන් සිල්වා දක්ෂම මෝටර් රථ රියදුරා ලෙස සියලු ගෞරව දිනා ගනීද්දී අශාන් හා මිස්සක නියෝජනය කළ මැන්ගී කණ්ඩායම දක්ෂතම මොටර් රථ කණ්ඩායම ලෙස ශූරතාවට හිමිකම් කීමට සමත් විය.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය (ස්ලඩා) සියැට් කැලණි ටයර් සමාගම සමග එක්ව සංවිධානය කරන “සියැට් - ස්ලඩා” ශූරතා තරගමාලාවේ පස්වැනි සහ අවසන් තරගාවලියවු රොදර්හැම් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය පසුගියදා කටුකුරුන්ද ගුවන් හමුදා ගුවන් ධාවන පථයේදී නිමාවිය.

එහිදී සමස්ත තරගාවලියේම වර්ණවත් තරග ඉසව්ව වු එස්.එල්./ජී.ටී. 3500 සී.සී. ‘ග්‍රෝන් ප්‍රී’ තරග ඉසව්වෙන් සුවිශේෂ දක්ෂතාවයන් ප්‍රදර්ශණය කරමින් තරගය නිමා කිරීමට අශාන් සිල්වා සමත් විය. වට 22කින් සමන්විත වු ‘ග්‍රොන් ප්‍රී’ තරග ඉසව්ව නියෝජනය කරමින් තරගකරුවෝ 20කට ආසන්න පිරිසක් එක්ව සිටි අතර අරවින්ද ප්‍රේමදාස, කුෂාන් පීරීස්, උෂාන් පෙරේරා, ඩැරන් වීරසිංහ, දිනේෂ් ජයවර්ධන හා ජනක ඩයස් යන ප්‍රවීණ හා අත්දැකීම් බහුල රියදුරන් තරග ඉසව්ව නියෝජනය කළහ.

ජාත්‍යන්තර තරග ආරම්භයක් ගෝන් ප්‍රී තරගයට ලබා දී තිබු අතර සියලු ධාවකයන් උදෙසා ගුවන් හමුදාපතිගේ මූලිකත්වයෙන් මතක සටහන් තිළිණයක් ප්‍රධානය කිරීමට සංවිධායකයන් කටයුතු කර තිබුණි.

තරගය ආරම්භයේ සිටම අශාන් පෙරමුණගත් අතර දහ‍වැන්නා ලෙස තරගයට ප්‍රවිශ්ෂට වු ජනක ඩයස් ගෝන් ප්‍රී තරග ඉසව්වේ කැපී පෙනුණි. දසවැන්නා ලෙස තරග ආරම්භය ලබාගත් ජනක සමස්ත මෝටර් රථ ක්‍රීඩා ලෝලීන්ටම මතක සිටින අත්දැකීමක් එක් කරමින් පස්වැන්නා ලෙස තරගය නිමා කළේය.

දිනයේ දෙවැනි වේගවත්ම ඉසව්ව වු එස්.එල්. - ඒච්. 1618 සී.සී.‍ නවීකරණය නොකරන ලද මෝටර් රථ තරග ඉසව්වෙන් ඉර්ෆාන් ෆූවාඩ් ජයගත් අතර රන්දික නිරෝෂ් දෙවැන්නා ද පසිඳු පීරීස් තෙවැන්නාද විය. ප්‍රවීණ මෝර් රථ ධාවක පසිඳු පීරීස් රොදර්හැම් තරගාවලියට එක්ව සිටියේ කමාන්ඩෝ චැලෙන්ජ් තරගාවලියේදී සිදු වු අනතුරෙන් පසුව වීම විශේෂත්වයකි.

එස්.එල්. - එන්. කාණ්ඩයේ 1500 සී.සී.‍ ෆොඩ් ලේසර් /මැස්ඩා මෝටර් රථ තරග ඉසව්වෙන් පහසු ජයක් කුෂාන් පිරීස් හිමිකරගත් අතර දිනයේ තරගකරුවන් වැඩිම පිරිසක් (23) නියෝජනය කළ එස්.එල්. - ඊ. 1300 සී.සී.ෆොඩ් ලේසර්/මැස්ඩා ඉසව්වෙන් මේ වන විට “සියැට් - ස්ලඩා” ශූරතා තරගමාලාවේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන දෙවින් සේරසිංහට අභියෝග කළ මනුර වික්‍රමරච්චි තරගය ජයගත්තේය. ශෙනාල් ගුණවර්ධන එස්.එල්. - එන්. කාණ්ඩයේ 1300 සී.සී.‍ ෆොඩ් ලේසර් /මැස්ඩා ඉසව්වෙන්ද, චානක රත්නායක එස්.එල්. - ඊ. කාණ්ඩයේ 1275 සී.සී.මිනි ඉසව්වෙන්ද ජයගත් අතර එස්.එල්. - ඒ. කාණ්ඩයේ මිනි 7 මෝටර් රථ තරග ඉසව්වෙන් ජයහිමි වුයේ ලක්මාල් වි‍ජේරත්නටයි.

ගිහාන් දිරසේකර එස්.එල්. - එස්.කාණ්ඩයේ 1500 සී.සී. (විශේෂිත) සහ තිරාන් පෙරේරා එස්.එල්. - ඒ. කාණ්ඩයේ නවීකරණය කරන ලද 1050 සී.සී. ඉසව් වලින් ජයග්‍රහණ අත්කර ගත්හ.

ප්‍රවීණ යතුරුපැදි ධාවක මදුරංග කල්දේරා, ශ්‍රීයන්ත අනුරාධ, ප්‍රමුඛ සේසත් හා නඳුන් විජේසේකර ඇතුළු ධාවකයන් 10 දෙනෙකු එක්ව පෑ වි‍රෝධය හේතුවෙන් 1000 සී.සී. ගෝන් ප්‍රී යතුරුපැදි තරග ඉසව්ව තරගාවලියට එක් කොට නොතිබුණි. අනෙක් යතුරුපැදි තරග ඉසව් වලින් හංසිකා, සංගීත්, නිපුන්, දූෂාන් හා විරසිංහ ජයවාර්තා කිරීමට සමත් වූහ. හංසිකා අබේසිංහ ‘ඕ’ කාණ්ඩයේ 125-160 සී.සී. (4ටී) මෝනෝ සිලින්ඩර් ඉසව්වෙන් ජයගැනීමට සමත්වෙද්දී දුෂාන් මුදලිගේ ‘එස්.එම්.’ කාණ්ඩයේ සුපර් මෝටාඩ් 250 සී.සී., සංගීත් සූරියගේ ‘එස්.එම්.’ කාණ්ඩයේ සුපර් මෝටාඩ් 250-750 සී.සී.(4ටී.) /125-500 සී.සී. (2ටී.), නිපුන් දිලංක එම්.’කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඕ.ඩී. 250 සී.සී. (4ටී.), ඩබ්ලිව්.එම්.වීරසිංහ ‘එම්.’කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඕ.ඩී. 100-125 සී.සී. (2ටී.) ඉසව් වලින් ජය අත්කර ගත්හ.

සටහන සහ ඡායාරූප ගීෂා මුණසිංහ

 

Post Bottom Ad

Pages