සිවුවැනි ශතකයත් ලබා කෝලි වාර්තාපොතට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-29

සිවුවැනි ශතකයත් ලබා කෝලි වාර්තාපොතට

එක්දින තරග බිමේ පිට පිට ශතක 3ක් රැස් කළ පළමු ඉන්දීය පිතිකරුවා ලෙසත්, එක්දින ඉනිම් 4කදී පිට පිට ශතක රැස් කළ ලොව පළමු ක්‍රිකට් නායකයා ලෙසත් වාර්තා තැබීමට විරාත් කෝලි සමත්වූවත් පූනේ හි පැවැති තුන්වැනි එක්දින තරගයෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට ලකුණු 43ක ජයක් හිමිවිය.

ඒ සමගම දෙපිල අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 1-1කින් සමකර ගැනීමට කොදෙව් පිල සමත්විය.කාසියේ වාසිය දිනූ ඉන්දීය පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 283ක් රැස් කිරීමට සමත්වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය පිල ඕවර 47කුත්, පන්දු 4ක් අවසානයේ ලකුණු 240කට දැවී ගියේය.

කොදෙව් පන්දු යවන්නන් හමුවේ ඉන්දීය පිතිකරුවන් අසරණ වෙද්දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඉන්දීය පිලේ නායකයා පන්දු 119කදී හතරේ පහර10ක් සහ හයේ පහරක් සමග ලකුණු 107ක් රැස් කරමින් වාර්තාපොත අලුත් කිරීමට සමත්විය. මේ තරගාවලියේ පළමු තරගයේදී ලකුණු 140ක්ද, දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 157ක්ද රැස් කළ කෝලි මේ තරගයේදී ලැබූ ශතකයත් සමග වාර්තාපොතට එක්විය.

එම ශතකය මේ වසරේදී ඔහු ලැබූ 6 වැනි එක්දින ශතකය වන අතර වසරේ වැඩිම එක්දින ලකුණුලාභියාගේ වාර්තාව තව දුරටත් ඉහළ දමාගැනීමට ද සමත්විය. පිට පිට එක්දින ශතක 3ක් ලැබූ ලොව 10 වැනි පිතිකරුවා කෝලිය. මේ ශතකයත් සමග ඔහු එක්දින තරග බිමේ පිට පිට ශතක 4ක් රැස් කළ ලොව පළමු නායකයා ලෙසත්, දෙවැනි පිතිකරු ලෙසත් වාර්තාපොතට එක්විය. මීට පෙර එවැනි දස්කමක් පෙන්නුම් කරනු ලැබුවේ කුමාර් සංගක්කාර විසිනි. වසර 2015 ලෝක කුසලාන තරගමාලාවේදී සංගක්කාර මේ දස්කම් පෑවේය.

Post Bottom Ad

Pages