ඩයලොග් චැම්පියන් ලීග් පළමු තරගය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-22

ඩයලොග් චැම්පියන් ලීග් පළමු තරගය

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ගෝල් 1-1ක් ලෙස යාපනයේදී සම වෙයි

ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් වෙන්නප්පුව නිව් යංග්ස් හා බේරුවල සුපර් සන් අතර යාපනයේ පැවැති තරගය ගෝල් 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමවෙයි. යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක ධාරා මැද ඊයේ පැවැති මේ තරගයේ පළමු භාගයේදී ගෝල් 1-0ක් ලෙස නිව් යංග්ස් පිල ඉදිරියෙන් සිටි අතර දෙවැනි භාගයේදී සුපර් සන් පිලෙන් ගෝලයක් වාර්තාවී සම මට්ටමකට පත්විය.

ප්‍රේක්ෂකයන් 3000කට අධික පිරිසක් එක්ව සිටි තරගයේ 22වැනි මිනිත්තුවේදී නිව්යංග්ස් පිලේ නයිජීරියානු ජාතික ක්‍රීඩක බී. එස්. නිමෝ සුපර් සන් ගෝල් කීපර් ඉදිරියට එන ආකාරය කල්තියාම දුටු හෙයින්, හිසෙන් පාපන්දුව ගෝල් කණුව ඇතුළට යොමුකොට පළමු ගෝලය රැස් කළේය. දැඩි පීඩනයකට හසුව සිටි සුපර් සන් පිලේ නයිජීරියානු ක්‍රීඩක ඔලුවට්සින් ඩැනියෙල් 78වැනි මිනිත්තුවේදී ගෝලයක් රැස් කිරීමෙන් සුපර් සන් පිලට සැනසිලිදායක තත්ත්වයක් උදාවිය.

මේ තරගයේදී සුපර් සන් පිලට නිදහස් පහර කීහිපයක් ලැබුණද, නිව්යංග්ස් ගෝල් කීපර්ගේ දක්ෂතාව හේතුවෙන් ඒවා ගෝල් බවට පත් නොවුණි. දෙවැනි භාගයේදී එල්ල වූ නිදහස් පහරකින් ගෝලයක් වාර්තා කිරීමට ඉතා ආසන්න අවස්ථාවක් උදා වුවද සුපර් සන් පිලට තවදුරටත් දිනයේ වාසනාව නොවීය.

චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ සමාරම්භය යාපනය නගරාධිපති එමැනුවෙල් ආනෝල්ඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර ඩයලොග් ආසියාටා සාමාන්‍යාධිකාරී (බ්‍රෝඩ්බෑන්ඩ්) දිමුත් කුරේ හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා යන මහත්වරු එක්ව සිටියහ.

මෙවර චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියට කොළඹ පාපන්දු සමාජය, රිනවුන් ක්‍රීඩා සමාජය, නිව් යංග්ස් ක්‍රීඩා සමාජය, සුපර් සන් ක්‍රීඩා සමාජය, පෙලිකන්ස් ක්‍රීඩා සමාජය, ගුවන් හමුදාව, මාතර ක්‍රීඩා සමාජය, යුද හමුදාව, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය, නාවික හමුදාව, අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය, බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය, නිගම්බූ යූත් ක්‍රීඩා සමාජය, ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය, රෙඩ්ස්ටාර් ක්‍රීඩා සමාජය හා රත්නම් ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා සිටින අතර එම ක්‍රීඩා සමාජ අතර පළමු වටයේ ලීග් තරග ලබන සති අන්තයේ සිට පැවැත්වෙයි.

ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු ශූරතාව පසුගිය වසරේදී කොළඹ පාපන්දු සමාජය හිමිකරගත් අතර රිනවුන් ක්‍රීඩා සමාජය අනු ශූරතාව දිනා ගත්තේය. කොළඹ පාපන්දු සමාජය පිට පිට තෙවැනි වරට චැම්පියන් ලීග් පාපන්දු ශූරතාව දිනා සිටීම විශේෂත්වයකි.

Post Bottom Ad

Pages