යෞවන ක්‍රීඩා ශූරතාව සිවුවැනි වරටත් ගම්පහට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-29

යෞවන ක්‍රීඩා ශූරතාව සිවුවැනි වරටත් ගම්පහට

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

* අරුණ-අමිල - නිමාෂා-නදීශා
* දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

මෙරට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වාර්ෂික ක්‍රීඩා සැණකෙළිය වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව රැක ගැනීමට ප්‍රසාද ලකුණු 152ක් ලබාගත් ගම්පහ දිස්ත්‍රික්කය ඊයේ සමත් විය.

ගම්පහ දිස්ත්‍රික්කය මේ ක්‍රීඩා උළෙලේ පිට පිට සමස්ත ශූරතාව දිනාගත් සිවුවැනි අවස්ථාව මෙයයි. මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී නිමාවු ක්‍රීඩා උළෙලේ ප්‍රසාද ලකුණු 88ක් ලබාගත් පුත්තලම දිස්ත්‍රික්කයට අනුශූරතාව හිමිවිය.

ජාතික තරුණ සේවා සභාව, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සමග එක්ව 30 වැනි වරට සංවිධාන කළ ක්‍රීඩා උළෙලේ අවුරුදු 20න් පහළ මීටර් 200 ඉසව්ව තත්පර 21.33කින් නිමකරමින් නව තරග වාර්තාවක් බිහිකළ මාතලේ දිස්ත්‍රික්කයේ එස්.පී. අරුණ දර්ශන එම වයස් කාණ්ඩයේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත් අතර එම වයස් කාණ්ඩයේ දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස තුන්පිම්ම ඉසව්වෙන් මීටර් 11.95ක දුරක් වාර්තා කළ නාගරික තරුණයා දිස්ත්‍රික්කයේ වයි.ආර්.නිමාෂා කුරේ සම්මාන දිනා ගත්තාය. ඇය නිමාවට පත්වූ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදීද දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා තිබීම විශේෂත්වයකි.

පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 7.23ක දක්ෂතාවක් දැක්වූ ඩබ්.පී.අමිල ජයසිරි සහ මීටර් 400 ඉසව්වෙන් තත්පර 54.52ක දක්ෂතාවක් දැක්වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නදීශා රාමනායක අවුරුදු 20න් ඉහළ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්හ. මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවුදෙනාට යතුරුපැදිය බැගින් පිරිනැමුණි.

දිස්ත්‍රික් 26 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000ක් එක්වූ ක්‍රීඩා උළෙලේදී නව තරග වාර්තා 6ක් බිහිවිය. මේ සෑම නව තරග වාර්තාවක් සඳහා රුපියල් දසදහසක මුදලක් පිරිනැමීමටද සංවිධායකයෝ කටයුතු යොදා තිබිණි.

ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනයේදී වසර 24ක් පැරණි වාර්තාවක් බිඳ දැමීමට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්වූ අංජානි පුලවංශ සමත්වීම කැපී පෙනුණි.

අවුරුදු 20න් ඉහළ දුර පැනීමේ කාන්තා ඉසව්වට එක්වූ අංජානි මීටර් 5.96ක දක්ෂතාවක් සමගින් මේ වාර්තාව බිහිකළ අතර ඇය හමුවේ බිඳ වැටුණේ 1994 වසරේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මී.5.79කින් එස්.එන්.සොයිසා තබා තිබූ වාර්තාවය.

එම ඉසව්වේ දෙවැනි ස්ථානය මී.5.30ක දක්ෂතාවක් දැක්වූ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළ එන්.ඒ.ඩී.ධනංජනී දිනාගත් අතර නාගරික තරුණයා දිස්ත්‍රික්කයේ රනූෂා දිව්‍යාංජලී (මී.4.94) තෙවැනි ස්ථානය දිනා ගත්තාය.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානය දකුණු පළාත් ක්‍රීඩා ඇමැති මනෝජ් සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු නිලධාරීන් රැසක්ද එක්වූහ.

මෙවර ක්‍රීඩා උළෙලේදී බිහිවූ නව තරග වාර්තා මෙසේය.

අවුරුදු 20න් පහළ පිරිමි

උස පැනීම - තරිඳු දසුන් මී.2.12 (ගාල්ල දිස්ත්‍රික්කය)

මීටර් 800 - ආර්.පී.අයි.ලක්ෂාන් වි.1:55.20 (පුත්තලම දිස්ත්‍රික්කය) (මූලික වටයේදී)

මීටර් 200 - අරුණ දර්ශන තත්.21.33 (මාතලේ දිස්ත්‍රික්කය)

මීටර් 400 - පසිඳු ලක්ෂාන් කොඩිකාර තත්.48.58 (කුරුණෑගල දිස්ත්‍රික්කය)

අවුරුදු 20න් ඉහළ කාන්තා

දුර පැනීම - ඒ. පුලවංශ මී.5.96 (කොළඹ දිස්ත්‍රික්කය)

අවුරුදු 20න් පහළ කාන්තා

මීටර් 100 කඩුලු පැනීම - එන්.ජී.පී.ආර්.ගුණතිලක තත්.15.24 (කෑගල්ල දිස්ත්‍රික්කය)

ඊයේ දිනයේ තරග ප්‍රතිඵල

කවපෙත්ත විසිකිරීම (අවු.20න් පහළ බාලක): 1.ඩබ්.එම්.ඒ.එම්.මලින්ත මී.38.70 (පුත්තලම), 2.කවිඳු හිරන්ය මී.34.79 (ගම්පහ), 3.ඩී.එම්.කේ.එන්.දිසානායක මී.34.71 (අනුරාධපුර)

තුන් පිම්ම (අවු.20න් පහළ බාලිකා): 1.නිමාෂා කුරේ මී.11.95 (නාගරික තරුණයා), 2.රෂ්මි නිරෝධා මී.11.80 (මාතර), 2.නෙත්මි මේඝවර්ණ මී.11.64 (හම්බන්තොට)

තුන්පිම්ම (අවු.20න් පහළ බාලක): 1.බී.ජී.එම්.එච්.ජයතිස්ස මී.16.62 (කොළඹ), 2.සඳුන් ක්‍රිෂාන්ත මී.14.29 (ගම්පහ), 3.ජී.ඒ.කේ.ජයබණ්ඩාර මී.13.93 (කුරුණෑගල)

මී.10000 (අවු.20න් පහළ බාලක): 1.චමින්ද නුවන් කුමාර වි.34:57.16 (බදුල්ල), 2.ජේ.ඒ.ජේ.ටී.ජයකොඩි වි.35:18.42 (කුරුණෑගල), 3.එස්.නිතුෂාන් වි.35:20.51 (වවුනියාව)

මී.5000 (අවු.20න් පහළ බාලිකා): 1.ආර්.ඒ.එල්.මධුවන්ති වි.19:38.6 (රත්නපුර), 2.කේ.එස්.ඩිල්ෂානි වි.19:46.9 (මාතර), 3.ජී.වී.ඒ.ඒ.එස්.සිතාරා වි.19:48.2 (මහනුවර)

මී.400 සහාය (අවු.20න් ඉහළ කාන්තා): 1.පුත්තලම වි.4:47.04, 2.බදුල්ල වි.5:00.95, 3.මුලතිව් වි.5:07.34

මී.400 සහාය (අවු.20න් ඉහළ පිරිමි): 1.කොළඹ වි.3:24.36, 2.අම්පාර වි.3:32.01, 3.බදුල්ල වි.3:34.92

මී.100 (අවු.20න් පහළ බාලිකා): 1.එෆ්.එස්.යාමික් තත්.12.57 (මහනුවර), 2.සන්දීපා හෙන්ඩර්සන් තත්.12.78 (ගම්පහ), 3.කේ.කේ.එන්.නෙත්මිණි තත්.13.74 (කොළඹ)

මී.100 (අවු.20න් පහළ බාලක): 1.නිමේෂ් චතුරංග තත්.11.41 (ගම්පහ), 2.සුරාජ් කාවින්ද තත්.11.45 (කළුතර), 3.තරුෂ්ක භාෂිත තත්.11.66 (හම්බන්තොට)

මී.100 (අවු.20න් ඉහළ කාන්තා): 1.සචිනි උදේශිකා තත්.12.58 (ගම්පහ), 2.ටී.ඒ.මුතුකුමාරණ තත්.12.68 (මොණරාගල), 3.ඩබ්.එස්.එච්.ප්‍රනාන්දු තත්.13.28 (පුත්තලම)

මී.100 (අවු.20න් ඉහළ පිරිමි): 1.කේ.එස්.එල්.වික්‍රමසිංහ තත්.11.24 (හම්බන්තොට), 2.සචිත් පෙරේරා තත්.11.59 (කොළඹ), 3.එම්.පී.එච්.එල්.මිනිමුතු තත්.11.68 (කෑගල්ල)

 

Post Bottom Ad

Pages