තිස්වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල අගමැති ප්‍රධානත්වයෙන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-26

තිස්වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල අගමැති ප්‍රධානත්වයෙන්

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවට එක්වූ අයුරු. තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, එම අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැති පියසේන ගමගේ, අමාත්‍යාංශ ලේකම් එච්.එම්.ගාමිණී සෙනෙවිරත්න, ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් එරන්ද වැලිඅංගගේ මහත්වරුද මෙහි වෙති. ඡායාරූපය - වාසිත පටබැඳිගේ

තාරුණ්‍යයේ මහා ක්‍රීඩා සැණකෙළිය වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල ඊයේ මාතර කොටවිල ක්‍රීඩාංගණයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විචිත්‍රවත් උළෙලකින් ආරම්භ විය.

ජාතික තරුණ සේවා සභාව, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව 30 වැනි වරට මේ ක්‍රීඩා උළෙල සංවිධාන කරයි. මේ අවස්ථාවට තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, එම අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැති පියසේන ගමගේ, අමාත්‍යාංශ ලේකම් එච්.එම්.ගාමිණී සෙනෙවිරත්න, ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් එරන්ද වැලිඅංගගේ මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්වූහ.

ක්‍රීඩා උළෙලේ ආරම්භය අගමැතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ අතර වත්මන් අගමැතිවරයා වසර 1986දී තරුණ කටයුතු සහ රැකී රක්ෂා භාර ඇමැතිවරයා ලෙස සිටියදී මේ යෞවන ක්‍රීඩා උළෙල ආරම්භ කිරීම විශේෂත්වයකි.

‘අද 30 වැනි යෞවන ක්‍රීඩා උළෙල ආරම්භ කළා. මට මතක් වුනේ තරුණ සේවා සභාව ආරම්භ කරපු කාලේ. ඒ අපේ තරුණ කාලේ. අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ. එදා රාජ්‍ය ඇමැති හැටියට ජේ.ආර්.ජයවර්ධන මහතා මේ ජාතික තරුණ සේවා සභාව ආරම්භ කලා. මට ලැබුණා 78 දී තරුණ සේවා සභාව. එතකොට හිටියේ වෙනත් තරුණ පරම්පරාවක්. ඒ පරම්පරාව වෙනුවෙන් අපි තරුණ කටයුතු සකස් කළා. යොවුන් පුරය, යොවුන් ක්‍රීඩා ඒ හැම අංශයෙන් යෞවන සමාජ. තරුණයන්ට උවමනා වැඩ කටයුතු අපි සංවිධාන කළා. ඉතා ජනප්‍රිය වුණා. ගමේ තරුණයන්ට නොතිබුණු තැන අපි සංවිධාන ඇති කළා. උවමනා පහසුකම්, සම්පත් ලබා දුන්නා. තමන්ගේ දස්කම් පෙන්න මාර්ග ගණනාවක් අපි හදලා දුන්නා. එතනින් ඉදිරියට ආපු අය මට අදත් මුණ ගැසුණා. ’ අගමැතිවරයා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හමුවේ පැවැසීය.

ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන පසුගිය වසරේ පිරිමි 20න් පහළ දක්ෂතම ක්‍රීඩකයා වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ජී.අයි.එම්. ප්‍රනාන්දු, දක්ෂතම ක්‍රීඩිකාව වූ මහනුවර දිස්ත්‍රික්කයේ ඩී.ටී.ඒ. ද සිල්වා, අවුරුදු 20න් ඉහළ දක්ෂතම ක්‍රීඩකයා වූ මහනුවර දිස්ත්‍රික්කයේ ඩී.ඒ.ජී.ජේ.පී. විමලසිරි සහ දක්ෂතම ක්‍රීඩිකාව වූ ගම්පහ දිස්ත්‍රික්කයේ එච්.ඩී.විදූෂා ලක්ෂානි අතින් සිදු කෙරිණි.

දිස්ත්‍රික් 26 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000ක් අවුරුදු 20න් පහළ සහ ඉහළ ලෙස කාණ්ඩ 4 යටතේ තරග වදින ක්‍රීඩා උළෙල මේ 28 වැනිදා දක්වා පැවැත්වේ.

Post Bottom Ad

Pages