යොවුන් ඔලිම්පික් පදක්කම් දිනූ පාරමීට උණුසුම් පිළිගැනීමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-22

යොවුන් ඔලිම්පික් පදක්කම් දිනූ පාරමීට උණුසුම් පිළිගැනීමක්

ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් හිදී පැවැති යොවුන් ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් යොවුන් ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාවට පළමු පදක්කම දිනාදුන් පාරමී වසන්ති මාරිස්ටෙලා පෙරේදා කටුනායක ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණියාය.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හිදී 2000 වසරේ පැවැති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී සුසන්තිකා ජයසිංහ දිනාගත් රිදී පදක්කමෙන් පසුව ඔලිම්පික් නාමය යටතේ දිනාගත් දෙවැනි පදක්කම මෙන්ම වසර 2007දී සුසන්තිකා ජයසිංහ විසින්ම ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලේ මීටර් 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් පසු ලෝක මට්ටමේ ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට හිමිවූ පළමු පදක්කම ලෙසද පාරමී දිනාගත් මේ පදක්කම සටහන් වේ.

‘ඔලිම්පික් පදක්කමක් ලංකාවට දිනා දීම බලාපොරොත්තුවයි’ ගුවන්තොටුපලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාරමී එලෙස පැවැසුවාය.

‘පදක්කමක් දිනා ගැනීමට හැකිවීම ගැන ගොඩක් සතුටයි, මේක මගේ විතරක් හීනයක් නෙවෙයි. මගේ පුහුණුකරු ජනිත් සර්ත් මේ හීනය දැක්කා. මේ ක්‍රීඩා උළෙල වෙනුවෙන් අපි මේ අවුරුද්දේම සැලුසුම් හැදුවා. මාගේ ඊළඟ ඉලක්කය ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා දීමයි.’ පැවැසූ පාරමී එම ඉලක්කය කරා යෑමට තමාට සහ පුහුණුකරුට (ජනිත් ජයසිංහ) විදේශීය රටකදී වසරක හෝ දෙවසරක පුහුණුවක් ලබා දෙන්නේ නම් තමන්ගේ හැකියාවන් වර්ධනය කරගත හැකි බවද කියා සිටියේය.

‘අපට මෙවැනි තරගවලට පුහුණු වෙද්දී පෝෂ්‍ය දායක ආහාර අවශ්‍ය වෙනවා. පුහුණුවට කොළඹ එද්දී විශාල මුදලක් ප්‍රවාහන ගාස්තු සඳහා දිනකට වැය වෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මට මාසික දීමනාවක් දුන්නා. ඒක ලැබුනේ එක මාසයයි. දිගටම එය ලැබුනානම් මට ලොකු සහනයක්. කුමන හෝ හේතුවකින් එය නතර වෙලා. ජනාධිපතිතුමාත් මට ස්ථාවර තැන්පතුවකට සල්ලි දාලා තියෙනවා. එකෙන් මට මාසිකව මුදලක් ලැබුනත් එය පුහුණු කටයුතු වලට ප්‍රමාණවත් නැහැ. මගේ වියදම් සඳහා අම්මා අපේ ගෙදර උගස් තියලා කියලා දැන ගත්තේ ලඟදී. ජනිත් සර් මට පුහුණුවීම් සඳහා මුදල් ණයට ලබා­‍ෙගන තියෙනවා. ඉතා දුෂ්කර කටුක ජීවිතයක් තුළින් තමයි මම මේ පදක්කම දක්වා ආවේ.’ පාරමී කීවාය.

තමන් ජීවත්ව සිටින නිවස මේ වනවිට අබලන් තත්ත්වයේ පවතින බවත්, අධ්‍යාපන කටයුතු සහා ක්‍රීඩා කටයුතු වෙනුවෙන් යම් පරිත්‍යාගයක් ලැබෙන්නේ නම් එය විශාල සහනයක් බවත් පැවසූවාය.

මේ ක්‍රීඩා උළෙලේදී මීටර් 200 ඉසව්වට එක්වූ ශෙලින්ඩා ජෙන්සන් තම හොඳම කාලය වාර්තා කළේ එම ඉසව්වේ කනිෂ්ඨ තරග ඉතිහාසයේ හොඳම තෙවැනි කාලයද සටහන් කරමිනි.

උස පැනීමේ ඉසව්වෙන් සිවුවැනි ස්ථානය දිනා ගැනීමට සෙනිරු අමරසිංහ සමත්වු අතර මීටර් 400 ඉසව්වට එක්වූ ඩිලාන් බෝගොඩගේ දස්කම්ද කැපී පෙනුණි.

පාරමීගේ මව වන රීටා මාග්‍රට් සිල්වා සහ පියා වන අන්තෝනි ටියුඩර් ප්‍රනාන්දු සමගින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කම් දිනාගත් සුසන්තිකා ජයසිංහ මහත්මිය, ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් සහ ජාතික මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

කොච්චිකඩේ විශේෂ ඩී.මිහිදුකුල
ඡායාරූප - කොච්චිකඩේ විශේෂ

Post Bottom Ad

Pages