ත්‍රාසයයි වේගයයි සෙල්ලමට ගත් පුංචි කේසර - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-31

ත්‍රාසයයි වේගයයි සෙල්ලමට ගත් පුංචි කේසර

Author(s): 
ෆවුස් මොහොමඩ්

ලොව වඩාත්ම ත්‍රාජසනක ක්‍රීඩා ඉසව්වක් ලෙස සැළකෙන යතුරුපැදි හා මෝටර් රථ ක්‍රීඩා ක්ෂේත්‍රයට එක්වීමට නම් දැඩි සිතක් තිබිය යුතුය. මානසික ඒකාග්‍රතාව ද ඉහළ මට්ටමක පැවැතිය යුතුය. ත්‍රාසය හා කුතුහලය කැටි කරමින් එකිනෙකා පරයමින් අධික වේගයෙන් ධාවන පථයේ යතුරුපැදි හෝ මෝටර් රථ ධාවනයේ නිරතවීමත්, ඉන් ජයග්‍රහණය ලැබීමත් ලෙහෙසි පහසු කාර්යයක් නොවන බැව් එම ක්‍රීඩාවේ නිරතවන ක්‍රීඩකයන් මෙන්ම නරඹන්නන් ද ඉඳුරාම දනිති. එවැනි හැකියාවක් ඇත්තේ වසර ගණනාවක් එම ක්ෂේත්‍රය තුළ රැඳී සිටින අති දක්ෂයන්ට පමණි. ළමා වියේදී යතුරුපැදි ක්‍රීඩාවෙන් දස්කම් දක්වන කුඩා ක්‍රීඩකයන් දැකගත හැකිවුවත් කුඩා වයසකදී මෝටර් රථ ධාවන පථයේ දස්කම් දක්වන්නන් තරුණ වියේ හෝ මැදිවියේ පසුවන්නෝ වෙති.

නමුත් පසුගියදා කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේ දී නිමාවට පත්වූ රොදර්හැම් තරගාවලියේ එස්.එල්.-ඊ. කාණ්ඩයේ 1000 සී.සී. නිසාන් මාච් මෝටර් රථ තරගයේ ප්‍රබල තරගකරුවන් රැසක් අබිබවා දෙවැනි ස්ථානය අත්කරගත් කේසර ගොඩගේ මේ ජයග්‍රහණයට හිමිකම් කීවේ 13 හැවිරිදි කුඩා තරගකරුවකු ලෙසිනි. එම තරග ඉසව්වේ වසර ගණනාවක් පෙරළිකාරයන් බවට පත්වී සිටින දෙවින් සේරසිංහ, දිලූප පල්ලියගුරු‍ගේ, මිහාන් පීරිස්, ජගත් ප්‍රනාන්දු වැනි ප්‍රබල තරගකරුවන්ට අභියෝග කළ මේ කුඩා ක්‍රීඩකයා වට 8කින් සමන්විත තරගයේ 7 වැනි වටය දක්වාම පෙරමුණ ගැනීමට සමත්විය. අත්දැකීම් බහුල දෙවින් සේරසිංහ අවසන් වටයේදි පෙරමුණ ගැනීමට සමත්වූවත් දෙවැනි ස්ථානය රැකගැනීමට මේ කෝඩුකාරයා සමත්විය.

ඔහු මෝටර් රථ ධාවන පථයට එක්වී මේ ගෙවී යන්නේ වසරක කාලයක් පමණි. ඔහු කාගෙත් අවධානයට පාත්‍ර වූයේ එම මාසයේදී කටුකුරුන්ද ධාවන පථයේදීම පැවැති ‘ලයන්ස් ටොප් ස්පීඩ්’ තරගාවලියේ එස්.එල්.-ඊ. කාණ්ඩයේ ෆෝර්ඩ් ලේසර් / මැස්ඩා 1300 සී.සී. තරගයේ පස්වැනි ස්ථානය අත්කර ගනිමිනි.

පසුගිය වසරේ උඩවලව සුපර් ක්‍රොස් තරගාවලියේ බොරළු ධාවන පථයේ (ග්‍රැවල්) මෝටර් රථ තරග බිමට අවතීර්ණ වූ කේසර අනතුරුව පැවැති සීගිරිය රැලි ක්‍රොස් තරගාවලියේ හා පසුගිය වසරේ කටුකුරුන්ද රොදර්හැම් තරගාවලියේ කාල ගණනය කිරීමේදී ඉදිරිපෙළ ස්ථානයක් අත්කරගත්තේ ප්‍රවීණයන්ගේ නළල තල රැලි ගන්වමිනි. ‍අත්දැකීමේ නොමැති බැවින් එම තරගවලදී ඔහුට විවිධ සිදුවීම්වලට මුහුණ පෑමෙන් ප්‍රධාන තරගය අතරමැද ඉවත්වීමට සිදුවී තිබිණි.

කේසර ගොඩගේ මේ වසරේදී බොරළු ධාවන පථයේ තරගවලට එක්නොවූයේ එවැනි ධාවන පථවල තරග වැදීමට තරම් නිසි වයසක ඔහු නොසිටි බැවිනි. තරගවලට සහභාගි වීමට මේ වසරේදි ධාවන තරග රියැදුරු බලපත්‍රය ඔහුට ලැබුණේ තාර දැමූ ධාවන පථයේ තරග වැදීමට පමණි. ලබන වසරේදි නැවත බොරළු ධාවන පථයට එක්වීමට නම් ඔහුට තාර දැමූ ධාවන පථයේ තරගාවලි 6කට සහභාගි විය යුතුව තිබේ. එමෙන්ම ඉන් තරග 2කදී පළමු ක්‍රීඩකයන් පස්දෙනා අතරට පැමිණිය යුතුය. දැනටමත් ඔහු ඒ සුදුසුකම සපුරා ගැනිමට සමත්වී ඇත. මෝටර් රථ ධාවන තරග බිමට කෝඩුකාරයකු වූවත් කේසර ගොඩගේ යතුරුපැදි ධාවන තරග බිමේ වයසටත් වඩා ජයග්‍රහණ අත්කරගත් ශූරයෙකි.

හෙතෙම යතුරුපැදියට ගොඩවූයේ 5 හැවිරිදි වියෙහි සිටමය. දැන් යතුරුපැදිය ඔහුගේ සිරුරේම කොටසක් බවට පත්වන තරමට දස්කම් මුවහත්කරගෙන සිටී. බොරළු ධාවන පථයේ පිහිටි ත්‍රාසය දනවන පිමි (ජම්ස්) ඔහුට බෙහෙවින් හුරු පුරුදුය. එම ඇතැම් පිමි අඩි විස්සකට වඩා ඉහළින් ඔහු පනින්නේ වයසේ හැටියට නොවන බව කවුරුත් කියති.

මේ වසරේ පැවැති යතුරුපැදි තරගාවලි අතර ජයග්‍රහණ රැසක් අත්කර ගෙන සිටින කේසර වසර අවසානයේ පැවැත්වෙන ජාතික ශූරතා සම්මාන ප්‍රදානයට සළකා බලන අවුරුදු 15න් පහළ තරග ඉසව්වේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවෙයි. පසුගියදා ඇඹිලිපිටියේ පැවැති ජිම්පෝ සැපර්ස් තරගාවලියේ ලාබලතම යතුරුපැදි ශූරයා ලෙස අභිෂේක ලැබීමටත් ඔහු සමත්විය.

‘බයික් පදිනවාට වඩා වැඩි විශ්වාසයක් මෝටර් රථ පදිද්දි දැනෙනවා.’ මෝටර් රථ තරග බිමට එක්වීම ගැන කේසර එසේ කියයි.

‘කාර් පදිද්දි මම දන්නවනේ මොකුත් වෙන්නේ නෑ කියලා. ඒ හැරුණම මට බයික් එකයි කාර් එකයි දෙකම එකයි. ඒත් බයික් පදිනකොට දැනෙන සතුට ඊට වඩා වැඩියි. බයික් පදිද්දි මට පුදුම විනෝදයක් ලැබෙනවා.’ ඔහු කියයි.

යතුරුපැදි තරග බිමේ වසර 7කට වඩා අත්දැකීම් ඇති කේසර සෙසු තරගකරුවන් හා සංසන්දනය කිරීමේදි කැපී පෙනෙන වෙනස වන්නේ ඔහු තුළ ඇති සන්සුන් බවය. අනවශ්‍ය ආකාරයෙන් කළබළයට පත් නොවීමත්, සෙසු තරගකරුවන් ගැන වැඩිපුර අවධානය යොමු නොකිරීමත් නිසා කේසර තුළින් දිස්වන්නේ පරිණතභාවයකි.

‘මගේ පස්සෙන් හඹා එන අය ගැන මං එච්චර හිතන්නේ නෑ. රේස් එක පදිද්දි එයාලා මාව ඉස්සර කරනවා කියන එක ගැන නෙවෙයි මං හිතන්නේ. තරගය ඉවර කරන්න ඕනය කියන එක ගැන විතරයි හිතේ තියෙන්නේ. මගේ පස්සෙන් එන තරගකරුවන්ගේ ශබ්දය එහෙම ඇහෙනවනේ. ඒකෙන් කියන්න පුළුවන් මොකක්ද වෙන්නේ කියලා. එයාලා කොයිතරම් ළඟින් ද ඉන්නේ කියලා.’ කේසර එසේ කියයි.

ඔහුට මෝටර් රථ ක්‍රීඩාවෙන් දස්කම් දැක්වීමේ හැකියාව ලැබී ඇත්තේ එලෙසටය. යතුරු පැදිට හෝ මෝටර් රථ ක්‍රීඩාවේ සාර්ථකවීමට නම් බුද්ධියක් ද තිබිය යුතුය. නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේසර අධ්‍යාපනයෙන් ද කැපී පෙනෙන දස්කම් දක්වන්නෙකි.

ඉදිරියේදී මෝටර් රථ තරග බිමේ තව තවත් දස්කම් දැක්වීමට බලාපොරොත්තුවෙන් පසුවන කේසර සිය ප්‍රියතම ක්‍රීඩාවත්, අධ්‍යාපනයත් සමබරව තබාගැනීමට සමත්වී ඇත්තේ එලෙසිනි.

මෝටර් රථ ධාවන ශූර ධම්මික ගොඩගේ ඔහුගේ ආදරණීය පියාණන්ය. තරග බිමේදී කේසරගේ දස්කම් ඉස්මතු වන්නට නම් ඔහුගේ මව සාවිත්‍රි සහ එකම නැගණිය මිනදි තරග නැරැඹීමට පැමිණිය යුතුමය.

 

 

Post Bottom Ad

Pages