රංගනගේ රංගනය ගාල්ලෙන් නිමා වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-23

රංගනගේ රංගනය ගාල්ලෙන් නිමා වෙයි

Author(s): 
ෆවුස් මොහොමඩ්

එතෙක් මෙතෙක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාලූ වමත් පන්දු යවන්නාගේ වාර්තාව අත්කර ගෙන සිටින ශ්‍රී ලංකා පිලේ සුපිරි දඟ පන්දු යවන්නා වන රංගන හේරත් සංචාරක එංගලන්ත පිල සමග ලබන මස මුල් භාගයේ ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ක්‍රීඩාවෙන් සමුගැනීමට සූදානම් වෙයි.

වසර 1999 දී ගාලු ක්‍රීඩාංගණයේදීම ඔස්ට්‍රේලියාවට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ හේරත් මේ වනවිට ටෙස්ට් තරග 92කදී කඩුලු 430ක් දවාලමින් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාලූ වමත් පන්දු යවන්නා ලෙස පෙරමුණේ පසුවන අතර වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාලූ පන්දු යවන්නන් අතර 10 වැනි ස්ථානයේ පසුවෙයි. එමෙන්ම ටෙස්ට් කඩුලු 800ක් දවාලූ ශ්‍රේෂ්ඨ දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ට පසුව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාලූ දෙවැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා ඔහුය. ඔහුගේ ටෙස්ට් කඩුලු දවාලීමේ සාමාන්‍යය 27.95කි.

ලබන නොවැම්බර් මස 6 වැනිදා ගාල්ලේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගයෙන් පසුව ටෙස්ට් පිටියෙන් සමුගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සහ තේරීම් කමිටුව වෙත දන්වා තිබේ.

එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගමාලාවේදී තරග බිමෙන් සමුගැනීමට තීරණය කළ බව හේරත් මීට මාස කිහිපයකට පෙර ප්‍රකාශ කළ ද, ටෙස්ට් වරම් ලැබූ ගාල්ල ක්‍රීඩාංගණයේදීම තරග බිමෙන් සමුගැනීමට පසුව ඔහු තීරණය කළේය.

ගාල්ල ටෙස්ට් තරගයේදී හේරත්ට කඩුලු 5ක් දවාලීමට හැකිවුවහොත් ඔහුට ටෙස්ට් කඩුලු 431ක් ලබා සිටින ශ්‍රීමත් රිචඩ් හැඩ්ලිගේ වාර්තාවත්, ටෙස්ට් කඩුලු 433ක් ලබා සිටින ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ වාර්තාවත් මෙන්ම කඩුලු 434ක් ලබා සිටින කපිල් දේව්ගේ වාර්තාවත් අබිබවා ගොස් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාලූ ලොව 7 වැනි පන්දු යවන්නා වීමේ වාසනාව අත්වනු ඇත.

40 හැවිරිදි වියෙහි පසුවන හේරත් මේ ටෙස්ට් තරගයේදී එක් කඩුල්ලක් දවාලීමට සමත්වුවහොත් ගාල්ල ක්‍රීඩාංගණයේ වැඩිම කඩුලු 100 සම්පුර්ණ කළ දෙවැනි පන්දු යවන්නා වීමේ වාසනාවත් ඔහුට හිමිවනු ඇත. මිට පෙර එවැනි දස්කමක් පෙන්නුම් කරනු ලැබුවේ මුරලිදරන් විසිනි.

‘රංගනගේ තීරණයට ගරු කරන බවත්, ඔහුට පූර්ණ සහයෝගය පළ කරන බවත් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි කියා සිටියේය. එමෙන්ම ඔහුගේ විශ්‍රාම යාම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට බලවත් පාඩුවක් බවත් ඔහු සඳහන් කරයි.

Post Bottom Ad

Pages