තිසරගේ පිතිහරඹය අපතේ යයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-29

තිසරගේ පිතිහරඹය අපතේ යයි

ශ්‍රී ලංකා පිලේ දුර්වල පන්දු රැකීමෙන් විස්සයි20 ජය එංගලන්තයට

දුර්වල පන්දු රැකීම මත සංචාරක එංගලන්ත පිලට දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට ඉඩ සැලසූ ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති විස්සයි20 තරගයෙන් ලකුණු 30ක පරාජයක් අත්විඳ ගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව සංචාරක එංගලන්ත කණ්ඩායමට ලබාදුන් ශ්‍රී ලංකා පිල ඕවර 6.2කදී කඩුලු 3ක් දවාලීමට සමත්වූවත් ආරම්භක පිතිකරු ජේසන් රෝයි ලකුණු 34දී, 40දී සහ 53දී ලබාදුන් උඩපන්දු 3ක් බිම දැමීම නිසා නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 187ක් රැස් කිරීමට එංගලන්ත පිල සමත්විය.

ඕවර 8ක් නිමාවෙද්දී එංගලන්ත පිල කඩුලු 3ක් දැවී ලකුණු 65ක් ලබා සිටි අතර ලක්ෂාන් සඳකැන් විසින් යවනු ලැබූ 9 වැනි ඕවරයේ දෙවැනි පන්දුවට රෝයි ඉහළින් එල්ල කළ පහර උඩපන්දුවක් ලෙස රැක ගැනීමට අතිරේක ක්‍රීඩක සධීර සමරවික්‍රම අසමත්විය. අනතුරුව එම ඕවරයේදීම දැවැන්ත හයේ පහරකින් සංග්‍රහ කළ රෝයි 5 වැනි පන්දුවට ලබා දුන් උඩපන්දුව දසුන් ශානක බිම දැමීය. අර්ධ ශතකය රැස් කළ විගස රෝයි ලබාදුන් තුන්වැනි උඩපන්දුව කුසල් මෙන්ඩිස් අතින් ගිලිහී යාමෙන් පසුව ඉනිමේ සිවුවැනි කඩුල්ල ලෙස රෝයි දැවී ගියේ ලකුණු 69ක්ම වාර්තා කිරීමෙන් පසුවය.

එංගලන්තය ලබාදුන් ලකුණු 188ක ඉලක්කය අසීරු වුවත් මුලු ලකුණු සංඛ්‍යාව 77ක් වෙද්දී ශ්‍රී ලංකා පිලේ කඩුලු 5ක්ම බිඳ වැටීමෙන් ශ්‍රී ලංකා පිල ඕවර 20 නිමාවෙද්දී දැවී ගියේ ලකුණු 157කටය.

වේගවත් පිතිහරඹයක නිරතවූ නායක තිසර පෙරේරා පන්දු 31කදී ලකුණු 57ක් රැස් කිරීමට සමත්වූවත් ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

සිය මංගල ජාත්‍යන්තර තරගයට එක්වූ යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් පන්දු 14කදී ලකුණු 24ක් රැස් කිරිම කැපී පෙනුණි. ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඇතුළත් විය. දිනේෂ් චන්දිමාල් පන්දු 20කදී හතරේ පහර 4ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 26කි.

පන්දු යැවීමේදී ජෝ ඩෙන්ලි කඩුලු 4ක් දවාලමින් තරගයේ වීරයා සම්මානයත් දිනාගත්තේය.

එංගලන්තය - 187/8 (ඕවර 20) ජේසන් රෝයි 69, මුයින් අලී 27, බෙන් ස්ටෝක්ස් 26 ( අමිල අපෝන්සු 29/2, ලසිත් මාලිංග 30/2)

ශ්‍රී ලංකාව - 157 (ඕවර 20) තිසර පෙරේරා 57, දිනේෂ් චන්දිමාල් 26, කමිඳු මෙන්ඩිස් 24 ( ජෝ ඩෙන්ලි 19/4, ආදිල් රෂීඩ් 11/3)

Post Bottom Ad

Pages