ඔලිම්පික් සත්කාරක ෂම්මු නගර නියෝජිතයෝ ශ්‍රී ලංකාවට එති - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-26

ඔලිම්පික් සත්කාරක ෂම්මු නගර නියෝජිතයෝ ශ්‍රී ලංකාවට එති

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර
ෂම්මු නගරාධිපති වොෂිප් මැට්ෂුයිටා හිරොයිකා මහතා වෙත ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, උප සභාපති අසංග සෙනවිරත්න හා භාණ්ඩාගාරික සේනක රණසිංහ යන මහත්වරු සමරු සිහිවටනයක් ලබාදුන් අයුරු.

වසර 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය භාරගත් ජපානයේ ෂම්මු නගරයේ නගරාධිපති ඇතුලු නියෝජිතයෝ පිරිසක් ජාතික ඔලිම්පික් කමිටුව සමග ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවකට එළැඹෙයි. ශ්‍රී ලංකාවට පැමිණි ජපන් නියෝජිත පිරිස ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සමග පෙරේදා ඔලිම්පික් නිවහනේදී මෙම සාකච්ඡාව පැවැත්වූහ.

ශ්‍රී ලංකාවට පැමිණි ජපන් නියෝජිත පිරිස පළමුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී වසර 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල හා එහිදී ශ්‍රී ලංකාව සමග ෂම්මු නගරය අවබෝධයෙන් කටයුතු කිරීමේ අරමුණ පැහැදිලි කළේය.

ෂම්මු නගරාධිපති වොෂිප් මැට්ෂුයිටා හිරොයිකා මහතා සමග පැමිණි දූත පිරිසට එම නගරයේ ක්‍රීඩා සංස්කෘතික හා අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුලු පිරිසක් එක්ව සිටි අතර 2020 ඔලිම්පික් උළෙලට දින 10කට පෙර ෂම්මු නගරයේදී ශ්‍රී ලංකා පිල පිළිගැනීමට සියල්ල සූදානම් කරන බව මෙහිදී සඳහන් විය.

ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ජපන් නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා පුහුණුකරුවන්ට ඔලිම්පික් උළෙලට පෙර ජපානයේ පුහුණුවක් ලබාදීමට අවස්ථාව සලසා දෙන ලෙසය. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය දීර්ඝ කාලීන පුහුණුව ලබාදීම කෙරෙහි අවධානය යොමු කිරීමට කටයුතු කරන බව ජපන් නියෝජිතයෝ පැවැසූහ.

ලබන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් මලල ක්‍රීඩා, පිහිනුම්, බැඩ්මින්ටන්, ටයිකොන්ඩෝ, මල්ලවපොර, දුනු විදීම හා ජිම්නාස්ටික් ක්‍රීඩා වෙනුවෙන් 40කට අඩු පිරිසක් සහභාගීවනු ඇතැයි ඔලිම්පික් කමිටුව බලාපොරොත්තු පළ කළේය. එය පසුගිය රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට වඩා යම් ප්‍රගතියක් බව ජාතික ඔලිම්පික් කමිටු ලේකම්වරයා ජපන් නියෝජිත පිරිසට පෙන්වා දුන්නේය. මෙම පිරිසට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරුවන් හා නිලධාරීන් ඇතුළත්වන බව සඳහන් විය. එහෙත් ෂම්මු නගර සභාව ශ්‍රී ලංකාවෙන් පැමිණෙන 50ක් වුවද පිළිගැනීමේ සූදානමකින් පසුවන බව නගරාධිපති වොෂිප් මැට්ෂුයිටා හිරොයිකා මහතා පැවැසීය.

“ 2020 ඔලිම්පික් උළෙලෙට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෙර පුහුණුව ලබා ගැනීම වෙනුවෙන් අලුත්ම ක්‍රීඩාංගණයක් ෂම්මු නගරයේ අප ඉදිකොට තිබෙනවා. ඒ ක්‍රීඩාංගණය වෙනුවෙන් කෝටි 85ක් පමණ වැය කිරීමට ෂම්මු නගර සභාව කටයුතු කළා. ෂම්මු නගරය ඉතාම කුඩා එකක්. එහි ජනගහණය 52000ක් පමණ වෙනවා. ඒ නිසා අපට විශාල දෙයක් කරන්න අපහසුයි. නමුත් අප පොරොන්දු වූ සියලු දේ ඉටු කිරීමට කටයුතු කරනවා“ ෂම්මු නගරාධිපතිවරයා පැවසීය.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය භාර ගැනීම හා කාර්ය පිළිවෙල ඇතුලත් අවබෝධතා ගිවිසුමක් ජාතික ඔලිම්පික් කමිටුව හා ජපානයේ ෂම්මු නගරාධිපතිවරයා අතර මේ වනවිට අස්සන් කොට ඇත.

 

Post Bottom Ad

Pages