ක්‍රිකට් ඡන්ද බාලගිරි දෝෂය නිමයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-26

ක්‍රිකට් ඡන්ද බාලගිරි දෝෂය නිමයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

නිලවරණ කමිටුව පත්කරන විශේෂ සභාව 12වැනිදා

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමේ බලය පැවරෙන නිලවරණ කමිටුව පත් කෙරෙන විශේෂ මහා සභා රැස්වීම ලබන මස 12වැනිදා පෙරවරු 10.00ට ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වෙයි.

දිගින් දිගටම කල්ගොස් තිබූ ක්‍රිකට් නිලවරණයට සෘජුව සම්බන්ධ ක්‍රීඩා සමාජ 84ක නියෝජිතයින්ට මෙම විශේෂ මහා සභා රැස්වීම පිළිබඳව ලිඛිත නිවේදනය ලියාපදිංචි තැපෑලෙන් යවා ඇත. ක්‍රිකට් විශේෂ මහා සභාවේදී නව ක්‍රීඩා සංගම් නියෝග අනුව නිලවරණ කමිටුව පත් කෙරෙන අතර එයින් දින 60කට නොඅඩු කාලයකදී ඡන්ද විමසීමට අදාල නාම යෝජනා කැදවිය යුතු වේ.

නව ක්‍රීඩා සංගම් නියෝග අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ‘අ‘ ශ්‍රේණියට අයත් ක්‍රීඩා සංගමයක් ලෙස වර්ගීකරණය කොට ඇති හෙයින් නිලවරණ කමිටුවට විශ්‍රාමලත් මහාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවන් දෙදෙනකු, ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු නොවන මැතිවරණ දෙපාර්තමේන්තුවේ හෝ මැතිවරණ කොමිෂන් සභාවේ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් හෝ නිලවරණ පැවැත්වීම පිළිබඳ පළපුරුදු සුදුසුකම් ඇති විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රජයේ නිළධාරියෙකු පත්විය යුතු වේ.

ක්‍රීඩා පනත අනුව ක්‍රිකට් පරිපාලනයට නිලධාරීන් වශයෙන් තෝරා පත්කරනු ලැබීමට සුදුසුකම් ලබන අපේක්ෂකයන්ගේ සුදුසුකම් තීරණය කිරීමේ අධිකාරී බලය හා නිලවරණය පැවැත්වීමේ සම්පූර්ණ බලය මෙම නිලවරණ කමිටුවට පැවැරී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ‘අ‘ ශ්‍රේණියට අයත් ක්‍රීඩා සංගමයක් ලෙස වර්ගීකරණය කොට ඇත්තේ අනුබද්ධ ක්‍රීඩා සමාජ 25කට වඩා ඇති වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 5ක් ඉක්මවා යන සංගමයක් බැවිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මුලින්ම පැවැත්වීමට නියමිතව තිබුනේ පසුගිය අප්‍රේල් මස 27 වැනිදා වූ අතර තාක්ෂණික ගැටළු මත එය පසුගිය මැයි 19 වැනිදාට කල් ගියේය.

හිටපු ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ අවසරය පරිදි විධායක කමිටු රැස්වීමකදී නිලවරණ කමිටුවක් පත් කිරීමට අවස්ථාව ලැබූ බව පවසා එම කමිටුව හිටපු නිළධාරීන් පත්කර ගත්තද, ව්‍යවස්ථාදායක ක්‍රමවේදය අනුගමණය කළ යුතු බවට පසුව පත්වූ ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා අවධාරණය කර සිටියේය. විශේෂ මහා සභා රැස්වීමකදී සම්පූර්ණ සාමාජිකත්වයේ අනුමැතිය අනුව එවැනි නිලවරණ කමිටුවක් පත් කර ගත යුතු බව ව්‍යවස්ථාදායක ක්‍රමවේදයේ සඳහන් බව ඒ මහතාගේ තර්කය විය.

මේ අනුව ක්‍රිකට් ආයතනය විසින් විශේෂ මහා සභා රැස්වීමක් මැයි 19 වැනි දින කැඳවනු ලැබිණි. කෙසේ වෙතත්, නිලවරණයක් කැඳවීම හා වාර්ෂික මහා සභා රැස්වීමකදී නිලවරණය පැවැත්වීම අතර දින 40 කාල රාමුවක් තිබිය යුතු බවට ව්‍යවස්ථාවේ සඳහන් වන බැවින්, නිලවරණයක් පැවැත්විය හැකි ආසන්නතම කාලය ජූනි මාසය බැවින් ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත විධානයක් නිකුත් කරමින් විශේෂ මහා සභා රැස්වීම කල් දැමීමට ක්‍රීඩා ඇමැතිවරයා නියෝග කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සමග හිටපු සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස, මොහාන් ද සිල්වා මෙන්ම හිටපු ලේකම් නිශාන්ත රණතුංග යන මහත්වරු කල් දැමුණු ක්‍රිකට් නිලවරණයේදී සභාපති ධුරයට තරග වැදීම සඳහා නාම යෝජනා ඉදිරිපත් භාරදී තිබිණි. උප සභාපති ධූර වෙනුවෙන් මොහාන් ද සිල්වා, හිරන්ත පෙරේරා, කේ. මතිවානන් සහ ශම්මි සිල්වා යන මහත්වරු නාම යෝජනා ඉදිරිපත් කළහ.

ලේකම් ධූරයට ශම්මි සිල්වා, බන්දුල දිසානායක, හිරන්ත පෙරේරා, මොහාන් ද සිල්වා සහ නිශාන්ත රණතුංග යන මහත්වරු තරග වැදීමට නියමිතවූ අතර, උප ලේකම් ධූරයට බන්දුල දිසානායක, සමන්ත දොඩන්වල හා රවීන් වික්‍රමරත්න යන මහත්වරු අතර තරගයක් නිර්මාණයවී තිබිණි.

එම සියලු නාම යෝජනා දැන් අවලංගුවී ඇති හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහා සභාවේදී අලුතින් පත්වන නිලවරණ කමිටුව නැවැත නාම යෝජනා ඉදිරි කාලයේ කැදවනු ඇත. කල් දැමුණු ක්‍රිකට් නිලවරණයෙන් පසු එහි පරිපාලන කටයුතු වෙනුවෙන් නිසි බළධාරීයා ලෙස පළාත් සභා පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා පත්කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා පියවර ගත්තේය.

ක්‍රිකට් නිලවරණය සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සත් කිහිපයකට පෙර ඩුබායිහී පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා පැවැසූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලබන වසරේ පෙබරවාරි මාසයට පෙර පැවැත්වීමට කටයුතු කරන බවය.

Post Bottom Ad

Pages