එංගලන්තය එක්දින තරගාවලිය දිනයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-22

එංගලන්තය එක්දින තරගාවලිය දිනයි

දසුන් ශානක දුවද්දී දැවී ගිය අයුරු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග පල්ලේකැලේ පෙරේදා පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 18ක ජයක් හිමිකර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

මේ සමග තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම 3-0කින් ජය ගැනීමට සංචාරකයන්ට හැකිවිණි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 273ක් රැස් කළ්ය. එංගලන්ත පිළිතුරු ඉනිමෙට වර්ෂාවෙන් බාධාවූ අතර ඒ වනවිට ඔවුන් ඕවර 27කදී කඩුලු 2ක් දැවී ලකුණු 132ක් රැස්කර තිබිණි.

ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව එංගලන්තයට තරගයේ ජය හිමිකර ගැනීම සඳහා ඒ වනවිට ලබාගත යුතුව තිබුණේ ලකුණු 115ක් 115ක් පමණි.

තරගය නතර කරනවිට ජෝ රූට් පන්දු 57කින් ලකුණු 32ක්ද, තරගයේ වීරයා වු නායක ඔයින් මෝගන් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 34කින් ලකුණු 31ක්ද රැස්කරගෙන නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ලකුණු 22ක් ලබාසිටියදී රූට් දවා ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා පිලට අහිමිවී ගියේ පන්දු රකින්නන් නිවැරදිව යොදවා නොතිබූ බැවිනි. ධනංජය ද සිල්වා යැවු 23 වැනි ඕවරයේ පළමු පන්දුවෙන් රූට් එල්ල කළ පහරක් ෂෝට් ෆයින් ලෙග් කලාපයේ සිටි ලසිත් මාලිංග රැකගත්තද, ඒ අවස්ථාවේ යාර 30 සීමාවෙන් පිටත වැඩිපුර පන්දු රකින්නකු යොදවා තිබීම හේතුවෙන් විනිසුරු එය නිපන්දුවක් ලෙස සංඥා කිරීමෙන් රූට් ට තවදුරටත් පිටියේ රැදී සිටීමේ අවස්ථාව හිමිවිය.

මුළු ලකුණු 52ක් වෙද්දී එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඇලෙක්ස් හේල්ස් ලකුණු 12කට පිටියෙන් ඉවත් කළ අකිල ධනංජය ජේසන් රෝයිද කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේය. ලකුණු 76දී රෝයි දැවී යනවිට පන්දු 49කින් ලකුණු 45ක් ලබාසිටියේ හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගිනි.

එංගලන්ත පිලේ ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල සහ දසුන් ශානක අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ.

දික්වැල්ල සමගින් ඉනිම ඇරැඹු සදීර සමරවික්‍රම එක් ලකුණකට දැවී ගිය අතර අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි නායක දිනේෂ් චන්දිමාල්ට රැස්කළ හැකිවූයේ ලකුණු 33ක් පමණි. මුළු ලකුණු 89දී ඔහු දෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර ලකුණු 102 දී කඩුලු 2ක් අහිමිවීම ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් විය. ප්‍රවේගකාරී පිති හරඹයෙන් මිදුණු ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 70කින් හතරේ පහර 5ක් සමග 7 වැනි එක්දින අර්ධ ශතකය ලෙස ලකුණු 52ක් ලබා සිටියදී මොයින් අලීගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ අතර පිට පිට තරග 3කදී ලකුණු නොලබා දැවී ගිය කුසල් මෙන්ඩිස්ට මේ තරගයේදීද සාර්ථක වීමට අවස්ථාවක් නොදුන් ආදිල් රෂීඩ් ඔහු, කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේය. පන්දු 14කට මුහුණදුන් මෙන්ඩිස්ට ලබාගත හැකිවූයේ ලකුණු 5ක් පමණි.

ලකුණු 17ක් ලබාසිටි ධනංජය ද සිල්වා මුළු ලකුණු 154දී 5වැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් අනතුරුව පිටියේ එක්වූ දසුන් ශානක සහ තිසර පෙරේරා 6 වැනි කඩුල්ලට ලකුණු 58ක් කළහ. ඉන් පෙර ශානක ධනංජය සමගින් ද ලකුණු 52ක සබඳතාවක් ගොඩනගා තිබිණි. නොතිබු ලකුණක් ලබාගැනීමට යාමේදී ශානක දැවී යෑමෙන් 6 වැනි කඩුල්ලේ සබඳතාව බිඳ වැටිණි. පන්දු 66කට මුහුණදුන් ශානක හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමගින් තම එක්දින තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව (66) රැස් කිරීමට සමත් විය. එය ඔහුගේ දෙවැනි එක්දින ශතකයයි.

තිසර සමගින් 7 වැනි කඩුල්ලට එක්වූ අකිල ධනංජය ද වේගවත් පිතිහරඹයක් දියත් කරමින් පන්දු 46කින් ලකුණු 56ක් සබඳතාවක් පිහිටුවීය. හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගින් පන්දු 41කින් ලකුණු 44ක් ලබාසිටි තිසර පෙරේරාද දුවද්දි දැවී යෑමට හසුවූ අතර අකිල ධනංජය නොදැවී ලකුණු 32ක් රැස් කළේ හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගින් පන්දු 26කිනි.

දෙපිල අතර පස්වැනි සහ අවසන් එක්දින තරගය හෙට (23) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙයි.

ශ්‍රී ලංකාව - 273/7යි. (ඕවර 50) දසුන් ශානක 66, නිරෝෂන් දික්වැල්ල 52, තිසර පෙරේරා 44, අකිල ධනංජය නොදැවී 32 (මොයින් අලී 55/2)

එංගලන්තය - 132/2යි. (ඕවර 27) ජේසන් රෝයි 45, ජෝ රූට් නොදැවී 32, ඔයින් මෝගන් නොදැවී 31 (අකිල ධනංජය 27/2)

Post Bottom Ad

Pages