සිම්බාබ්වේ පිලට වසර 17කට පසු පිටරටකදී ටෙස්ට් ජයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-07

සිම්බාබ්වේ පිලට වසර 17කට පසු පිටරටකදී ටෙස්ට් ජයක්

බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායම සමග සිල්හෙට් හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 151ක ජයක් අත්කර ගැනීමට සංචාරක සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මේ සමග තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරකයන්ට හැකිවිය.

සිම්බාබ්වේ කණ්ඩායම මේ ජය ලබාගත්තේ වසර 5කට පසුව වන අතර මවු රටෙන් පිටතදී ජයග්‍රහණයක් වාර්තා කළේ වසර 17කට පසුව වීම විශේෂත්වයකි.

සිම්බාබ්වේ කණ්ඩායම මවු රටේදී 2013 වසරේ පාකිස්ත­ානය සමග පැවැති තරගයෙන් ලකුණු 24ක ජයක් අත්කරගෙන තිබූ අතර රටෙන් පිටතදී අවසන් ජයග්‍රහණය වාර්තා වූයේ 2001 වසරේදීය. ඒ බංග්ලාදේශයට එරෙහිව චිතගොංහිදී පැවැති තරගයෙන් කඩුලු 8ක ජයක් හිමිකර ගනිමිනි.

මේ වසරේ සිම්බාබ්වේ පිල සහභාගිවූ පළමු ටෙස්ට් තරගයද මෙය විය.

මේ තරගයේ ජයග්‍රහණය සඳහා සත්කාරක බංග්ලාදේශයට ලකුණු 321ක ඉලක්කයක් හිමිවූ අතර එම ඉලක්කය හඹාගිය සත්කාරකයන් ලකුණු 169කට සීමාකිරීමට සිම්බාබ්වේ පන්දු යවන්නෝ සමත්වූහ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල පළමු ඉනිමට ලකුණු 282ක් රැස්කළ අතර බංග්ලාදේශයට ලබාගත හැකිවුයේ ලකුණු 143ක් පමණි.

ලකුණු 139ක පළමු ඉනිමේ වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරැඹු සිම්බාබ්වේ පිල ලකුණු 181කට දැවී ගියේ බංග්ලාදේශයට ලකුණු 321ක ඉලක්කය හිමිකර දෙමිනි.

දෙපිල අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ 11 වැනිදා ඩකා හිදී ආරම්භ වෙයි.

සිම්බාබ්වේ පළමු ඉනිම - 282යි. ෂේන් විලියම්ස් 88, පීටර් මුවර් නොදැවී 63 (ටයිජුල් ඉස්ලාම් 108/6) සහ දෙවැනි ඉනිම - 181යි. හැමිල්ටන් මැසකඩ්සා 48 (ටයිජුල් ඉස්ලාම් 62/5)

බංග්ලාදේශ පළමු ඉනිම - 143යි. අරිෆුල් හක් නොදැවී 41 (ටෙන්ඩායි චටාරා 19/3, සිකන්දර් රාසා 35/3) සහ දෙවැනි ඉනිම - 169යි. ඉම්රුල් කයිස් 43 (බ්‍රෙන්ඩන් මවුටා 21/4, සිකන්දර් රාසා 41/3)

Post Bottom Ad

Pages