වෙළෙඳ සේවා විස්සයි 20 ක්‍රිකට් ශූරතාව මාස් යුනිචෙලා පිලට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-06

වෙළෙඳ සේවා විස්සයි 20 ක්‍රිකට් ශූරතාව මාස් යුනිචෙලා පිලට

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධාන කළ වෙළෙඳ සේවා කණ්ඩායම් අතර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ ශූරතාව හිමිකර ගැනීමට මාස් යුනිචෙලා පිල සමත්වෙයි. වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති අවසන් මහා තරගයේදී කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට එරෙහිව එක් කඩුල්ලක තියුණු ජයක් මාස් යුනිචෙලා කණ්ඩායමට හිමි විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට ඕවර 15 කදී සියලුදෙනා දැවී ලකුණු 90 ක් ලබාගත් අතර මාස් යුනිචෙලා පිල ඕවර 15.1 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 92ක් ලබා ගත්තේය. කඩුලු 9ක් බිඳ වැටී දැඩි පීඩනයකට පත්ව සිටි අවස්ථාවේ මාස් යුනිචෙලා අවසන් පිතිකරු ලෙස පිටියට පිවිසි නිපුන් රංසික පන්දු 6 කදී හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 14 ක් රැස්කරමින් මාස් යුනිචෙලා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ධම්මික ප්‍රසාද් සහ නිපුන් රංසික එක්ව අවසන් කඩුල්ල සඳහා පන්දු 11 කදී ලකුණු 17 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩ නැංවූහ.

මුලින් පන්දුවට පහරදුන් කොමර්ෂල් ක්‍රෙඩිට් පිලේ ඉෂාන් ජයරත්න ලකුණු 28ක් හා විකුම් සංජය ලකුණු 25ක් ලබා ඉනිම ගොඩ නැංවූහ. ඉෂාන් ජයරත්න පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් එල්ල කළ අතර විකුම් සංජය පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් එල්ල කළේය. ධම්මික ප්‍රසාද් කඩුලු 3 ක් ද, තිලකරත්න ඩිල්ෂාන් සහ නිපුන් රංසික කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

නිපුන් රංසික අවසන් තරගයේ වීරයා හා දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය දිනාගත් අතර ෂෙහාන් ජයසූරිය දක්ෂතම පිතිකරු සම්මානය දිනා ගත්හ.

කොමර්ෂල් ක්‍රෙඩිට් - ඕවර 15 කදී සියලුදෙනා දැවී ලකුණු 90යි

ඉෂාන් ජයරත්න 28, විකුම් සංජය 25 (ධම්මික ප්‍රසාද් 20/3, තිලකරත්න ඩිල්ෂාන් 8/2, නිපුන් රංසික 18/2)

මාස් යුනිචෙලා - ඕවර 15.1 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 92යි

තිලකරත්න සම්පත් 12, තිලකරත්න ඩිල්ෂාන් 17, රමිත රඹුක්වැල්ල 16, නිපුන් රංසික නොදැවී 14 (සචින්ත පිරීස් 15/3, ඉෂාන් ජයරත්න 24/3)

 

Post Bottom Ad

Pages