වගකීම් විරහිත පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව ලකුණු 203කට සීමා වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-08

වගකීම් විරහිත පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව ලකුණු 203කට සීමා වෙයි

ෆවුස් මොහොමඩ් ගාල්ල ක්‍රීඩාංගණයේ සිට..

පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය නිසා ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 203කට සීමාකළ සංචාරක එංගලන්ත පිල ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඊයේ නිමාවට පත්වනවිට සිය දෙවැනි ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 38ක් ලබා සිටියේය. දිනය නිමාවෙද්දී එංගලන්ත පිලේ ආරම්භක පිතිකරු යුගලය රොරී බර්න්ස් ලකුණු 11ක් ද, කීටන් ජෙනිංග්ස් ලකුණු 26ක් ද රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳි සිටි අතර කඩුලු 10ම අතැතිව ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 177ක් ඉදිරියෙන් පසුවෙයි.

ඊයේ උදෑසන එංගලන්ත ඉනිමේ ඉතිරිව තිබූ අවසන් කඩුලු 2කම ඕවර 6ක් ඇතුළත දවාගැනීමට පන්දු යවන්නන් සමත්වූවත් ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ගේ අපරික්ෂාකාරී පිතිහරඹය හේතුවෙන් දිවා ආහාරයට පෙර ලකුණු 42ක් ඇතුළත කඩුලු 4ක්ම බිඳ දැමීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.

ශ්‍රී ලංකා පිල පස්වරු තේ පානය සඳහා තරගය නතරකරන විට කඩුලු 5ක් දැවී ලකුණු 136ක් ලබා සිටි අතර ‍තේ පානයෙන් පසුව ලකුණු 67ක් තුළ ඉතිරි කඩුලු 5ම බිඳ වැටුණේ එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 139ක් පසුපසින් සිටිමිනි.

ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට හැරී ගියේ ලකුණු 10ක් ඇතුළතදීය. ජේම්ස් ඇන්ඩර්ස් විසින් යවනු ලැබූ ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවට හතරේ පහරකින් සංග්‍රහ කළ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඊළඟ පන්දුවෙන් දැවී ගිය අතර කෞෂාල් සිල්වා සිවුවැනි ඕවරයේදී දැවී ගියේ සැම් කරන්ට මංගල ටෙස්ට් කඩුල්ල ලබාදෙමිනි. අංක 3 ස්ථානයේ ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් එක්ව ඉනිම ගොඩනැගීමට ගත් උත්සාහය ලකුණු 34දී බිඳ වැටුණේ ජැක් ලීච්ගේ පන්දුව හරිහැටි අවබෝධ කරගැනීමට කුසල් මෙන්ඩිස් අසමත්වීමෙනි. මුයින් අලිගේ කඩුල්ල තුළට දඟ කැවුණු පන්දුවකට ඉතා අපරික්ෂාකාරී ලෙස ස්වීප් පහරක් එල්ල කළ නිකරුණේ කඩුල්ල පූජා කළේය.

පෙරේදා එංගලන්ත ඉනිමේ දෙවැනි භාගය අතරතුර පාදයේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වූ නායක දිනේෂ් චන්දිමාල් ඊයේ පිතිහරඹයට එක්වූයේ අංක 6 ස්ථානයෙනි. දැඩි පසුබෑමකට ලක්වූ ශ්‍රී ලංකා ඉනිම ඇන්ජෙලෝ මැතිව්ස් සමග එක්ව ලකුණු 115 දක්වා ඉදිරියට ගෙනයාමට සමත්වූ චන්දිමාල් ලකුණු 33ක් ලබා සිටියදී ආදිල් රෂීඩ්ගේ කඩුල්ල තුළට පතිතවූ පන්දුවකට ඉදිරියට පැන පහරක් එල්ල කරන්නට යාමෙන් දැවී ගියේ ෆෝක්ස්ගේ ස්ටම්ප් කිරීමකට හසුවීමෙනි.

ඊයේ පස්වරු තේ පානයට පෙර සිය ටෙස්ට් තරග දිවියේ 30 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වූ මැතිව්ස්ට තේ පානයෙන් පසුව මුයින් අලිගේ පළමු පන්දුවෙන්ම ආපසු ක්‍රීඩාගාරයට හැරීයාමට සිදුවිය. අලිගේ එම ඕවරයේ පළමු පන්දු 2 තේ පානයට පෙර යවා තිබූ අතර වේලාසනින්ම තේ විවේකය ලබාගැනීමට තරග විනිසුරුවන් තීරණය කළේ අලි විසින් යවනු ලැබු දෙවැනි පන්දුවට නිරෝෂන් දික්වැල්ල එල්ල කළ ස්වීප් පහරින් පන්දුව ෂෝර්ට් ලෙග් කලාපයේ සිටි රොරී බර්න්ස්ගේ හිසෙහි පසුපස පෙදෙසේ වැදීමෙන් ඔහු බිම ඇද වැටීම හේතුවෙනි. කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව පසුව වාර්තා විය.

ලකුණු 136කදී පිතිකරුවන් 6 දෙනකුටම නැවත ක්‍රීඩාගාරයේ අසුන් ගැනීමට සැලැස්වූ එංගලන්ත පිලේ පන්දු යවන්නන්ට චකිතයකින් තොරව මුහුණ දුන් ඩිල්රුවන් පෙරේරා ඉතා අගනා ලකුණු 21ක් රැස් කිරීමට සමත්විය. දික්වැල්ල සමග එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 36ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඩිල්රුවන් ඒ අතරතුර සිය ‍ටෙස්ට් තරග දිවියේ ලකුණු දහස සම්පූර්ණ කරමින් ටෙස්ට් ලකුණු දහසක් සහ කඩුලු සියයක් දවාලූ සිවුවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්විය. ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 4ම බිඳ වැටුණේ ලකුණු 32ක් ඇතුළතදීය.

පෙරේදා තරගය නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 321ක් ලබා සිටි එංගලන්ත පිලේ පළමු ඉනිම ඊයේ උදෑසන ඕවර 6ක් ඇතුළත නිමා කිරීමට ඩිල්රුවන් පෙරේරා සහ සුරංග ලක්මාල් සමත්වුහ. ජැක් ලීච්ගේ කඩුල්ල දවාගැනීමත් සමග කඩුලු 5 සම්පූර්ණ කළ ඩිල්රුවන් පෙරේරා සිය ටෙස්ට් තරග දිවියේ ඉනිමක කඩුලු 5ක් දවාලූ 7 වැනි අවස්ථාව ලෙස එය සටහන් කරගත්තේය.

එංගලන්ත ඉනිමේ අවසන් කඩුල්ල ලෙස බෙන් ෆෝක්ස් දැවී ගියේ සිය මංගල ටෙස්ට් ඉනිමේ දී අනගි ශතකයක් වාර්තා කිරීමෙන් පසුවය. කණ්ඩායමේ කඩුලු රකින්නා වන 25 හැවිරිදි මේ දකුණත් පිතිකරුවා අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කරමින් වාර්තා රැසකට හිමිකම් කීමට සමත්විය. එංගලන්තය වෙනුවෙන් මංගල ටෙස්ට් ඉනිමේදී ශතකයක් රැස් කළ දෙවැනි කඩුලු රකින්නා ලෙසත්, එවැනි දස්කමක් පැ ලොව 5 වැනි කඩුලු රකින්නා ලෙසත් ඔහු වාර්තාපොතට එක්විය.

ඊට පෙර එංගලන්තය වෙනුවෙන් එවැනි දස්කමක් පෑවේ 2007 වසරේ ලෝඩ්ස් පිටියේදී ශතකයක් රැස් කළ කඩුලු රකින පිතිකරු මැට් ප්‍රියර්ය. ෆෝක්ස් ඊයේ වාර්තා කළ ශතකය ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී මංගල ටෙස්ට් තරගයේ ශතකයක් රැස් කළ පස්වැනි අවස්ථාව ලෙසත් වාර්තාපොතට එක්විය.

අද තරගයේ තෙවැනි දිනයයි.

සුද්දෙක් නිරුවතින් පිටිය මැදින් දුවයි

ශ්‍රී ලංකා පිල සහ සංචාරක එංගලන්ත පිල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ පස්වරු ශ්‍රී ලංකා පළමු ඉනිම නිමාවට පත්වීමෙන් පසුව බ්‍රිතාන්‍ය ජාතික ක්‍රීඩාලෝලියකු පිටිය මැදින් දිව ගිය අයුරු.

Post Bottom Ad

Pages