විස්සයි20 කාන්තා ක්‍රිකට් කිරුළ ඔස්ට්‍රේලියාවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-26

විස්සයි20 කාන්තා ක්‍රිකට් කිරුළ ඔස්ට්‍රේලියාවට

අයි.සී.සී. විස්සයි20 කාන්තා ක්‍රිකට් කුසලාන තරග ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම වන ඔස්ට්‍රේලියාව පෙරේදා නිමාවට පත්වූ 6 වැනි තරගාවලියේ අවසන් මහා තරගයෙන් එංගලන්තය කඩුලු 8කින් පරාජය කරමින් සිවුවැනි වරටත් විස්සයි20 කාන්තා ලෝක කුසලානය දිනාගැනීමට සමත්විය.

අයි.සී.සී. විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කළ 2009 වසරේදී එංගලන්තය කුසලානය දිනාගත් අතර අනතුරුව 2010, 2012 සහ 2014 කුසලාන ත්‍රිත්වයම දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

පසුගිය තරගාවලියේ ශූරතාව දිනූ මෙවර සත්කාරක රට බවට පත්වූ බටහිර ඉන්දීය කොදෙව් පිල අවසන් පූර්ව වටයේදී පරාජයට පත් කළ ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කළේ පන්දු 29ක්ම ඉතිරිව තිබියදීය.

ඇන්ටිගුවා හී ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 19කුත්, පන්දු 4කදී ලකුණු 105කට සීමා කළ ඔස්ට්‍රේලියාව මේ පහසු ජයග්‍රහණයට හිමිකම් කීවේ ඕවර 15.1කදීය. ඒ සඳහා ඔවුන්ට වැය වූයේ කඩුලු 2ක් පමණි.

එංගලන්ත ඉනිම සුණුවිසුණු කළ ඔස්ට්‍රේලියානු පිලේ 21 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩිකා ඈෂ්ලි ගාර්ඩ්නර් සිය වමත් දඟ පන්දුවෙන් එංගලන්ත පිලේ පිතිකාරිනියන් තිදෙනකුම ක්‍රීඩාගාරයට හරවා යැවූ අතර ඔස්ට්‍රේලියානු ඉනිමේදී නොදැවී ලකුණු 33ක් රැස් කළේ පන්දු 26කදීය. ඊට හතරේ පහරක් සහ හයේ පහර 3ක් ඇතුළත්විය. ඇයට අනගි සහයක් ලබාදුන් නායිකා මෙග් ලැනින් නොදැවී ලකුණු 28ක් රැස් කළාය.

එංගලන්ත ඉනිමේ පළමු කඩුලු 3ම ලකුණු 41ක් ඇතුළත බිඳ වැටුණු අතර ආරම්භක පිතිකාරිනිය ඩැනියෙල් වේට් සහ නායිකා හීදර් නයිට් හැරෙන්නට කිසිදු පිතිකාරිනියක ලකුණු 10 සීමාව පසු කළේ නැත. තරගයේ වීරයා සම්මානය ගාර්ඩ්නර් දිනාගත් අතර තරගාවලියේ වීරයා සම්මානය දිනාගනු ලැබුවේ ඔස්ට්‍රේලියානු පිලේ කඩුලු රකින ආරම්භක පිතිකාරිනිය ඇලීසා හීලි විසිනි. ජයග්‍රාහී ඔස්ට්‍රේලියානු පිලට කුසලානය පිරිනමනු ලැබුවේ ශ්‍රීමත් විවියන් රිචඩ්ස් විසිනි.

Post Bottom Ad

Pages