එංගලන්තය සමඟ පුහුණු තරගයේදී පැතුම් නිශ්ශංකගේ හිසට පන්දුව වැදී රෝහල් ගත කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-01

එංගලන්තය සමඟ පුහුණු තරගයේදී පැතුම් නිශ්ශංකගේ හිසට පන්දුව වැදී රෝහල් ගත කරයි

එංගලන්තය හා ශ්‍රී ලංකා ක්‍රිකට් අායතන කණ්ඩායම අතර එන්. සී. සී. පිටියේ පැවැති දෙදින පුහුණු ක්‍රිකට් තරගය අතරතුර 20 හැවිරිදි පැතුම් නිශ්ශංකගේ හිසට පන්දුවක් වැදී ඔහු රෝහල් ගත කෙරුණි.

පිට දඟ පන්දු යවන නිශාන් පීරිස් එවූ පන්දුවකට ජෝස් බට්ලර් පුල් පහරක් එල්ල කිරීමේදී ‘ෂෝට් ලෙග්‘ හී සිටි පතුම් නිශ්ශංකගේ හිසට පන්දුව වැදී ඇත. ඔහු හිස් වැස්මක් පැළද සිටියද, පන්දුව වැදුණු වහාම හිස අල්ලා බිමට වැටී ඇත.

සිද්ධිය වූ වහාම එංගලන්ත කණ්ඩායමේ වෛද්‍ය වූ මොයිස් මෝගල් මහතා ක්‍රීඩා පිටියට පැමිණ පැතුම් නිශ්ශංක පරීක්ෂාවකට ලක්කොට ස්කෑන් පරීක්ෂණයකට යොමු කරන ලෙස දැනුම්දී ඇත. එහෙත් විනාඩි 20 ක් පමණ කාලයක් ගිලන් රියක් නොමැතිව සිට ඇතැයි වාර්තාවේ.

"ඔහු පන්දුව වැදුණාම යම් කම්පනයකට පත්ව තිබෙනවා. කිසිදු ලේ ගැලීමක් හෝ පිටතින් තුවාල සිදුවීමක් වී නෑ. ඔහු MRI ස්කෑන් පරීක්ෂණයකට යොමු කර තිබෙනවා" යනුවෙන් ක්‍රිකට් අායතන කණ්ඩායමේ පුහුණුකරු අවිෂ්ක ගුණවර්ධන පැවසීය.

දකුණත් පිතිකරුවෙකු වන පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් පිල නියෝජනය කර ඇති අතර, මේ වන විට පළමු පෙළ තරග 14 ක් හා පළමු පෙළ එක්දින හා විස්සයි 20 තරග ක්‍රීඩා කොට ඇත. මේ සිදුවීමත් සමග තරගය විනාඩි කිහිපයක් නැවැත්වීමට විනිසුරුවෝ තීරණය කළහ.

මේ පුහුණු තරගය ඊයේ ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ඊයේ කඩුලු 7ක් දැවී ලකුණු 365ක් රැස් කළේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු 392කට පිළිතුරු ලෙසිනි.

රොරී බර්න්ස්-කීටක් ජෙනිංග්ස්ගේ එංගලන්ත ඉනිමේ ආරම්භක සබඳතාව ලකුණු 38කට සීමා කිරීමට ෂෙහාන් මධුසංක සමත් වූයේ ලකුණු 13ක් ලබාසිටි ජෙනිංග්ස්ගේ කඩුල්ල බිඳ දමමිනි.

ලකුණු 77දී දෙවැනි කඩුල්ල ලෙස බර්නස් දුවද්දී දවා ගැනීමට සදීර සමරවික්‍රමට හැකිවිය. පන්දු 79කට මුහුණදුන් ඔහු හතරේ පහර 9ක් සමගින් ලකුණු 47ක් රැස් කළේය.

නායක ජෝ රූට් සමගින් එක්ව ලකුණු 35ක සබඳතාවක් ගොඩනැගූ ජෝ ඩෙන්ලි (25) ළහිරු කුමාරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් තෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර ශතකය රැස් කිරීමෙන් අනතුරුව රූට් අනෙක් පිතිකරුවන්ට අවස්ථාව දෙමින් පිටියෙන් ඉවත්ව ගියේය. පන්දු 117ක් වැයවූ ඔහුගේ ශතකයට හතරේ පහර 13ක් ඇතුළත් විය.

රූට් පිටියෙන් ඉවත්වීමෙන් පසු පිතිකරුවන් තිදෙනකු දවා ගැනීමට නිශාන් පීරිස් සමත් විය. ඇන්ජලෝ මැතිව්ස්ගේ උඩ පන්දු රැකීම හමුවේ බෙන් ස්ටොක්ස් ලකුණු 31කටත්, ජොස් බට්ලර් ලකුණු 44කටත් දැවී ගියහ.

පීරිස්ගේ තෙවැනි කඩුල්ල ලෙස මනෝජ් සරත්චන්ද්‍රගේ පන්දු රැකීම හමුවේ මොයින් අලී ලකුණු 60කට දැවී ගියේය. පන්දු 75කට මුහුණදුන් අලී හතරේ පහර 6ක් සහ හයේ පහරක් ඉනිමට එක්කර ගත්තේය.

තරගය නතර කරනවිට ඔලී පොපේ ලකුණු 18ක් සහ බෙන් ෆොකස් ලකුණු 16ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

ක්‍රිකට් ආයතන පිල සහ එංගලන්තය අතර දෙවැනි සහ අවසන් දෙදින පුහුණු තරගය අද (1) සී.සී.සී ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. එම තරගය සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමට ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුක්තව කෞෂාල් සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, රොෂේන් සිල්වා, මනෝජ් සරත්චන්ද්‍ර, අෂාන් ප්‍රියංජන, ශෙහාන් මධුසංඛ, ජෙෆ්රි වැන්ඩේසේ, නිෂාන් පීරිස්, ළහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර ඇතුළත් වෙති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල පළමු ඉනිම - 392/9 (ඕවර 89.5) ඉනිම අත්හිටුවන ලදි. කෞෂාල් සිල්වා 62, සදීර සමරවික්‍රම 58, අශාන් ප්‍රියංජන් 50, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 59 (මොයින් අලී 64/2)

එංගලන්ත පිල පළමු ඉනිම - 365/7 (ඕවර 90) ජෝ රූට් 100, මොයින් අලී 60 (නිශාන් පීරිස් 108/3)

 

Post Bottom Ad

Pages