ඕනෑම තරගයක් ජයගත හැකි දක්ෂ ක්‍රීඩිකාවන් අපට සිටිනවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-01

ඕනෑම තරගයක් ජයගත හැකි දක්ෂ ක්‍රීඩිකාවන් අපට සිටිනවා

Author(s): 
ෆවුස් මොහොමඩ්

ශ්‍රේණිගත කිරීම් යනු අංකයක් පමණක් බවත්, ඕනෑම තරගයක් ජයගැනීමට හැකියාව ඇති දක්ෂ ක්‍රීඩිකාවන් පිරිසක් කණ්ඩායමේ සිටින බවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු කියයි.

ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම රටවල් 10ක සහභාගිත්වයෙන් ලබන මස 9 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී ආරම්භ වන 6 වැනි අයි.සී.සී. කාන්තා විස්සයි20 තරගාවලියට සහභාගි වීම සඳහා ඊයේ දිවයිනෙන් පිටත්ව යාමට පෙර ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදි ශ්‍රී ලංකා පිලේ නායිකාව මේ අදහස් පළ කළේය.

‘මෙය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වටිනා තරගාවලියක්. තරගයෙන් තරගය ජයග්‍රහණය කරමින් ඉදිරියට යාමට බලාපොරොත්තු වෙනවා. ඉන්දියාව සමග පසුගියදා පැවැති තරගාවලියේදී අපේ ක්‍රීඩිකාවන් දක්ෂතා අතරට පැමිණීම ලෝක කුසලාන තරගාවලියට විශාල ශක්තියක් වේවි. ලොකු විශ්වාසයක් තියෙනවා මේ තරගාවලිය සාර්ථකව නිමා කරන්න හැකියාවක් අපිට තිබෙනවා කියලා. ඕනෑම තරගයක් ජයග්‍රහණය කරන්න පුළුවන් තරම් දක්ෂ ක්‍රීඩිකාවන් පිරිසක් අපිට ඉන්නවා. නමුත් එදා දවසේ ක්‍රීඩා කරන විලාශය අනුව තමයි ජයග්‍රහණය තීරණය වෙන්නේ. ශ්‍රේණිගත කිරීම් කියන්නේ අංකයක් විතරයි. ඒ නිසා ඒ ගැන හිතන්නේ නෑ. ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා.‘ ඇය සඳහන් කළාය.

මෙවර තරගාවලියේ දි ‘ඒ‘ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මස 11 වැනිදා එංගලන්ත පිල සමග සිය පළමු තරගයට එක්වෙයි.

‘මම එංගලන්ත ප්‍රාන්ත තරගවලට ක්‍රිඩා කරලා තියෙන නිසා එයාලගේ උපක්‍රම හා දක්ෂතා ගැන හොඳ වැටහීමක් තියෙනවා. එකත් අපේ කණ්ඩායමට ප්‍රයෝජනවත් වේවි තරගාවලියේ පළවැනි තරගය ඉතා වැදගත්. එය ජයගැනීම ඉතිරි තරගවලට අපේ ක්‍රීඩිකාවන්ට ලොකු මානසික ශක්තියක් වේවි. එංගලන්තය කාන්තා තරග බිමේ ඉදිරියෙන් පසුවෙන කණ්ඩායමක් වුණත් අපිට දස්කම් දැක්වීමට හැකිවුනොත් ඔවුන් පරාජය කරන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා.‘ ඇය කීවාය.

මීට පෙර පසුගිය වසරේදි කොදෙව් දූපත් සංචාරයක නිරතවු ශ්‍රී ලංකා කාන්තා පිල එහිදී කිසිදු තරගයක් ජයගැනීමට සමත් නොවිය. එසේ වුවත් මෙවර පෙරළිකාර දස්කම් දැක්වීමට හැකිවනු ඇතැයි චමරි විශ්වාසය පළ කළාය.

‘අපි මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සංචාරය කළා. නමුත් එවර අපිට ක්‍රීඩා කරන්න ලැබුණේ දඟ පන්දුවට වාසිදායක තණතීරුවලයි. දෙරටක් අතර පැවැත්වෙන තරගවලදී අදාළ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුදුසු විදිහටයි තණතීරු සකස් වෙන්නේ. නමුත් මෙය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරගාවලියක් නිසා ඔවුන්ට අවශ්‍ය පරිදි තණතීරු සකස් වේවි. බොහෝ විට පිතිහරඹයට සුදුසු තණතීරු සකස් වේවි කියා විශ්වාස කරනවා. මොකද විස්සයි20 තරග කියන්නේ පිතිහරඹය මූලික කරගත් තරග. ක්‍රීඩාලෝලින් ඒ තරග නරඹන්න පැමිණෙන්නේ පිතිහරඹය බලන්නයි. ඒ නිසා ලොකුම අභියෝගය තියෙන්නේ අපේ පන්දු යවන්නියන්ටයි. අපේ කණ්ඩායමේ පළපුරුදු පන්දු යවන්නියන් සිටිනවා.‘ චමරි කියා සිටියාය.

ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන්නියන් 4ක් ඇතුළත් වන අතර ඉන් 2ක් තුන්ඉරියව් ක්‍රීඩිකාවෝ වෙති. මීට අමතරව දඟ පන්දු යවන්නියන් 5දෙනකු කණ්ඩායමට එක්වී සිටිති.

නායිකා චමරි අතපත්තු සමග ශෂිකලා සිරිවර්ධන, යසෝධා මෙන්ඩිස්, හසිනි පෙරේරා, අමා කාංචනා, රෙබේකා වැන්ඩෝට්, දිලානි මනෝදරා, ඉෂානි ලොකුසූරිය, නිලක්ෂි ද සිල්වා, ශ්‍රීපාලී වීරක්කොඩි, උදේශිකා ප්‍රබෝධනී, සුගන්ධිකා කුමාරි, කවීෂා දිල්හාරි, ඕෂධී රණසිංහ සමග ඉනූෂි ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වෙති.

 

Post Bottom Ad

Pages