ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය නිසා ලෝකයම මරණය අබියස (වන්ෂොට් දොස්තර) - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-17

ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය නිසා ලෝකයම මරණය අබියස (වන්ෂොට් දොස්තර)




“මගේ කකුලෙ තුවාලයක් තියෙනවා. ඉකිලියේ කුද්දටියකුත් ඇවිත්. හරිම අමාරුයි. මට මොනවා හරි ඇන්ටිබයොටික් එකක් දෙන්නකෝ”

“මම කරල් ටිකක් දෙන්නම්. පැය අටකට සැරයක් ගන්නකෝ. බේත් ටික ඉවර වෙනකම් නොවරදවාම ගන්න. නවත්වන්න එපා.”

මෙම සංව‍ාදය මගේ දෙසවනත වැකුණේ සිනමා පටයක හෝ ටෙලි නාට්‍ය ජවනිකාවකින් නොවේ. මා ඖෂධ කීපයක් මිල දී ගැනීම සඳහා ඖෂධ අලෙවිසැලකට ගොස් සිටියදී ඊ‍ට ගොඩ වැදුණු කෙනෙකු සහ වෙළෙඳ සහායකයකු අතර ඇති වූ සංවාදයකි එය.

එය කන වැකුණු විගස මා තුළ ඇති වුයේ විමතියකි. ඒ කඩයකින් ලොසින්ජර් ඉල්ලන ආකාරයට ඇන්ටිබයොටික් හෙවත් ප්‍රතිජීවක ඖෂධ පහසුවෙන් මිල දී ගැනීම ය. අනෙක් පුදුමය නම්, වෙළෙඳ සහායක ද එකී ඖෂධ කිසිදු වෛද්‍ය නිර්දේශයකින් තොරව සරල කටයුත්තක් සේ සලකා අලෙවි කිරීමය. රෝගියා සහ වෙළෙඳ සහායක අතින් සිදු වන මෙම වරදින් අනිටු ඵල අත් විඳින්නට සිදු වන්නේ ඔවුන්ට පමණක් නොවේ. මුළු මහත් ලෝකයටම ය. එය තවත් විදිහකින් පවසන්නේ නම් 2050 වසර වන විට ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව ඇති වන ප්‍රතිරෝධ ආසාදන හේතුවෙන් ලෝක ජනගහනයෙන් මිලියන 50 ක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු අඟවා ඇත.

මේ පිළිබඳව අනාවරණය කරනු ලැබුවේ ප්‍රතිජීවක ඖෂධ නිසි භාවිතය සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සම්මන්ත්‍රණයක දීය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී මෙය පැවැත්වූයේ නොවැ: 12 සිට නොවැ: 18 ( අද දින) දක්වා ඇති ප්‍රතිජීවක ඖෂධ දැනුවත් කිරීමේ සතිය නිමිත්තෙනි.

ලෝකයට හඳුන්වා දුන් ප්‍රථම ප්‍රතිජීවක ඖෂධය වන්නේ පෙන්සිලින් ය. ඒ 1920 දශකයේදී පමණ ය. පෙන්සිලින් සොයා ගැනීමට පෙර ඇති වූ පළමු වැනි ලෝක යුද්ධයෙන් විශාල සංඛ්‍යාවක් මිය ගිය ද දෙවැනි ලෝක සංග්‍රාමයෙන් එතරම් විශාල ප්‍රමාණයක් මිය නොගියේ ඒ වන විට පෙන්සිලින් ප්‍රතිජීවක ඖෂධය සොයා ගෙන තිබු නිසා ය. ඉන් අනතුරුව ප්‍රතිජීවක ඖෂධ රාශියක් ලෝකයට හඳුන්වා දෙනු ලැබිණි. අතීතයේ මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 50 වී තිබුණ ද වර්තමානයේ එය අවුරුදු 80 දක්වා දීර්ඝ වුයේ ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීමෙන් බොහෝ ලෙඩ රෝග සුවපත් කර ගැනීමට හැකි වූ නිසා ය.

ප්‍රතිජීවක ඖෂධ භාවිත කෙරෙන්නේ බැක්ටීරියා මඟින් වැළ‍ඳෙන රෝගවලට පමණි. වෛරස් මඟින් වැළ‍ඳෙන රෝග සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිත නොකෙරේ. එහෙත් වර්තමානයේ කැස්ස, හෙම්බිරිස්සාවටත් ඉවක් බවක් නැතිව ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීම නිසා ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව ප්‍රතිරෝධ බැක්ටීරියා ඇති වීමෙන් ප්‍රතිජීවක ඖෂධවලින් රෝග පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් හට ගනී. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ “බෙහෙත් අහන්නේ නැතිව යෑම” යනුවෙනි. මෙය අද ලෝකය පුරා බරපතළ ප්‍රශ්නයක් වී තිබේ.

“අද ප්‍රතිජීවක ඖෂධ අවභාවිතයක් සිදු වෙනවා. මෙය වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ දකුණු ආසියානු රටවල්වල. මේ ඖෂධ අවභාවිතයට රෝගීන්, ඖෂධ අලෙවි කරන ෆාමසි වගේම වෛද්‍යවරුනුන් වග කියන්න ඕනෑ. මොකද සමහර වෛද්‍යවරුන් වෛරස් ආසාදනවලටත් ප්‍රතිජීවක ඖෂධ දෙනවා. එවැනි ලෙඩ රෝගවලට ප්‍රතිජීවක ඖෂධ වැඩක් නැහැ. ඒ වගේම වෛද්‍ය නිර්දේශක් නැතිව ප්‍රතිජිවක ඖෂධ අලෙවි කිරීමට නොහැකි වුණත් අද ෆාමසිවලින් එය කරනවා. ඊළඟට රෝගියා කරන වැරදි කීපයක් තිබෙනවා. රෝගියා හිතුමතේට ප්‍රතිජීවක ඖෂධ ගැනීම වරදක්. ප්‍රතිජීවක ඖෂධ ලබා දිය යුත්තේ වෛද්‍යවරයා විසින්. සමහරු වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිජීවක ඖෂධ ඉල්ලා සිටිනවා. ඒ වගේම ප්‍රතිජීවක ඖෂධ නියමිත වේලාවට නියමිත මාත්‍රාවෙන් ලබා ගත යුතුයි. සමහරු ලෙඩේ සනීප වුණා කියලා බෙහෙත් නවත්වනවා. එය වැරදියි. ලෙඩේ සුව වුණත් නිර්දේශ කළ බෙහෙත් ප්‍රමාණය නියමිත විදිහට ගත යුතුයි. ඒ වගේම නියම කළ වෙලාවට ප්‍රතිජීවක ඖෂධ නියමිත ප්‍රමාණයෙන් ම ගන්න ඕනෑ. මෙවැනි හේතූන් නිසා ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය සිද්ධ වෙනවා. එයින් ප්‍රතිජීවක ඖෂධ ලෙඩ රෝගවලට ඔරොත්තු නොදෙන තත්වයක් ඇති වෙනවා. මෙය භයානක තත්වයක්.” යනුවෙන් දීර්ඝ වශයෙන් විස්තර කළේ ජයවර්ධනපුර රෝහලේ ක්ෂුද්‍රජීවි විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ජයතිලක ය.

මෙම භයානක තත්වය තවතවත් තීව්‍ර වන්නේ නව ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය ලෝකයේ ඖෂධ සමාගම් නවතා දමා ඇති බැවිනි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත බෙණරගම පවසන්නේ ලෝකයේ ඖෂධ නිෂ්පාදන සමාගම් වසර 20කින් වත් ලෝකයේ නව ප්‍රතිජීවක ඖෂධ නිපදවා නොමැති බව ය. ඊට හේතුව වසර 25ක් - 30ක් මුළුල්ලේ පර්යේෂණ සහ අත්හදා බැලීම් සිදු කරමින්, කෝටි ගණන් වියදම් කරමින් ඖෂධයක් නිපදවන විට ඊට ප්‍රතිරෝධී බැක්ටීරියා ඇති වීමෙන් ඖෂධය අපතේ යෑමෙන් විශාල නාස්තියක් සිදු වීමයි. අද වන විට ලෝකයේ ඖෂධ නිෂ්පාදන සමාගම් බැක්ටීරියා මඟින් ඇතිවන රෝගවලට එරෙහිව ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කිරීම වෙනුවට බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව,පිළිකාව යනාදී රෝග) සඳහා ඖෂධ නිෂ්පාදනය කිරීමට පෙලඹී ඇත. එමනිසා ප්‍රතිජීවක ඖෂධ ප්‍රයෝජනයට ගත් කාලය අවසන් වෙමින් පවතින බව වෛද්‍ය කුෂ්ලානි ජයතිලක පැවසුවාය.

එහෙත් අපට ප්‍රතිජීවක ඖෂධ අත් හැර දැමිය නොහැකිය. ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන් බද්ධ කිරීම ඇතුළු ශල්‍යකර්ම සඳහා ප්‍රතිජීවක ඖෂධ අත්‍යවශ්‍ය සාධකයකි. නමුදු ප්‍රතිජීවක ඖෂධ හෙම්බිරිස්සාවක් වැනි සුළු ලෙඩකදීත් ගත් විට බරපතළ රෝගයකට ඔරොත්තු නොදෙන තත්වයක් ඇති වේ.

“ඕනෑම කෙනෙකුගේ බඩවැල්වල බැක්ටීරියා ඉන්නවා. එහි ශරීරයට හිතකර බැක්ටීරියා වගේම අහිතකර බැක්ටීරියා වර්ග තිබෙනවා. ඒ වගේම පිටතින් ශරීරය තුළට බැක්ටීරියා ඇතුළු වෙන්න පුළුවන්. අහිතකර බැක්ටීරියාවන්ගෙන් ආසාදන ඇති වුණාම ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනවා. හැබැයි ප්‍රතිජීවක ඖෂධ බාගෙට අරං නැවැත්තුවොත්, නියමිත වේලාවට නොගත්තොත්, හිතුමතේට ගත්තොත් බැක්ටීරියා මැරෙන්නේ නැතිව ප්‍රතිරෝධයක් හදා ගන්නවා. ඒ ප්‍රතිරෝධය තිබෙන බැක්ටීරියා මරන්න සාන්ද්‍රණය වැඩි ප්‍රතිජීවක ඖෂධ දෙන්න සිද්ධ වෙනවා. ඒ ඖෂධ අධික මිලකින් යුක්ත නිසා ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ වගේම රෝගය සුවපත් වෙන්න ගත වන කාලය වැඩියි. සමහර විට රෝහල්ගත වෙන්න සිද්ධ වෙනවා. එය රටකට සුදුසු දෙයක් නෙවෙයි. අද අ‍පේ රටේ ඖෂධවලට කරන වියදමෙන් 13%ක් වියදම් කරන්නේ ප්‍රතිජීවක ඖෂධවලට. අවසානයේදී ප්‍රතිජීවක ඖෂධවලින් රෝග පාලනය කිරීමට නොහැකි තත්වයක් උද්ගත වෙනවා.

එයින් සිද්ධ වෙන්නේ රෝගින් මිය යෑම. 2050 වර්ෂයේ ලෝක ජනගහනයෙන් මිලියන 10 කට ප්‍රතිජීවක ඖෂධවලට රෝග පාලනය කිරීමට නොහැකිව මිය යෑමට සිද්ධ වීම බේදවාචකයක්.” යනුවෙන් පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත බෙණරගම ය.

මේ අනුව ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව හට ගැනෙන ප්‍රතිරෝධිතාව සුළු කොට තැකිය හැකි කාරණයක් නොවේ. එය සිද්ධ වෙන්නේ සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත්කම නිසා විය හැකි වුවත් වෛද්‍යවරුන් මේ පිළිබඳව නොදන්නවා නොවේ. ඔවුහු මේ සම්බන්ධයෙන් හොඳාකාරව ම දනිති. එහෙත් ඉතා සුළු රෝගයකට පවා ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන උගත් වෛද්‍යවරු අපේ රටේ සිටිති. ඇතැම් විට ඔවුන් විසින් එසේ සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ ජනප්‍රියත්වය සහ වෛද්‍යවරුන් අතර ඇති තරගය නිසා විය හැකිය. එහෙත් එවැනි පටු පරමාර්ථ මූලික කරගත් වෛද්‍යවරුන් නිසා අවදානමට ලක් වන්නේ සාමාන්‍ය ජනතාව නොවේද ? “වන්ෂොට්” වෛද්‍යවරුන්ගෙන් අප ප්‍රවේශම් විය යුත්තේ එබැවිනි. ඊට අමතරව වෛද්‍යවරුන්ගේ සුදුසුකම් පිළිබඳව ද සැලකිලිමත් විය යුත්තේ අද රට පුරා සුදුසුකම් නැති වෛද්‍යවරුන් පෞද්ගලික සේවයේ යෙදී සිටින නිසාය. “අපේ සමහර වෛද්‍යවරුන් අනවශ්‍ය විදිහට ප්‍රතිජීවක ඖෂධ දෙන බව අපට වාර්තා වී තිබෙනවා. ඒ අයගෙන් අපි ඇහුවා ඇයි ඒ විදියට කරන්නේ කියලා. ඒ වෛද්‍යවරුන් අපට දීපු උත්තරය වුණේ වෛරස් ආසාදනය සුව වූ පසුව බැක්ටීරියා ආසාදනයක් එන්න පුළුවන්. එය වැළැක්වීමටයි ප්‍රතිජීවක ඖෂධ දෙන්නේ කියලා. රෝගයක් වැළ‍ඳෙන්න පෙර ප්‍රතිජීවක ඖෂධ දීමෙන් ඵලක් නැහැ. බැක්ටීරියා මඟින් රෝගය හැදුණට පසුවයි ඒ බැක්ටීරියා මරන්න ප්‍රතිජීවක ඖෂධ දෙන්නේ. මෙහිදී වෛද්‍යවරුන් ලොකු වැරැද්දක් කරනවා. අනවශ්‍ය විදියට ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් සිද්ධ වෙන හානිය ඉහළයි. කොළඹ විශ්ව විද්‍යාලයේ ඖෂධ වේදය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනි ගලප්පත්ති විස්තර කළාය.

මෙම අවදානමට මුහුණ දී සිටින්නේ මිනිසුන් පමණක් නොවේ. හරකුන්, කුකුළන්, ඌරන්, ඉස්සන්, මත්ස්‍යයින් වැනි සත්ව ගොවිපළවල ඇති කරන සත්වයෝ පවා මෙම අවදානමට මුහුණ දී සිටිති. එනම් සතුන්ට රෝග වැළඳීමට පෙර ප්‍රතිජීවක ඖෂධ ලබා දීම සහ රෝග සුව වූ බව පෙන්වන විට ප්‍රතිජීවක ඖෂධ අතරමග නවතා දැමීමෙන් ප්‍රතිජීවක ඖෂධ කෙරෙහි ප්‍රතිරෝධි බැක්ටීරියා එම සතුන්ගේ ශරීර තුළ හට ගැනීම මෙන් ම සත්ව නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීමට ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන අවස්ථා ඇත.

ඒවා සෑම රටකින්ම ඉවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදෙස් දී තිබේ. අද වන විට ගවයකුගේ කිලෝ එකක මිලිග්‍රෑම් 45ක්ද කුකුළකුගේ කිලෝ එකක මිල ග්‍රෑම් 148ක් ද ඌරකුගේ කිලෝ එකක මිලිග්‍රෑම් 172ක්ද වශයෙන් ප්‍රතිජීවක තැන්පත් වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ.

“සතුන් තුළ තිබෙන ප්‍රති‍රෝධි බැක්ටීරියා සතුන්ගේ මලපහ මඟින් පරිසරයට එකතු වෙනවා. ඒවා ගස්වලට එකතු වෙනවා. ඒ වගේම ගස්වලට යොදන දලීර නාශක වලිනුත් ප්‍රතිරෝධි බැක්ටීරියා ඇති වෙනවා. පරිසරයට එකතු වන ප්‍රතිරෝධි ජලයට එකතු වෙන්න පුළුවන්. මේ නිසා ප්‍රතිජීවක ප්‍රතිරෝධ බැක්ටීරියා ව්‍යාප්තිය චක්‍රයක් ආකාරයට සිද්ධ වෙන බව දක්වන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රතිජීවක ඖෂධ නිසි පිළිවෙළට භාවිත කිරීම ගැන මිනිසුන්ගෙන් විතරක් පටන් අරං හරියන්නේ නැහැ. එය ශාක, සත්ව, ජලය, අවට පරිසරය යන සෑම අංශයකින්ම ආරම්භ කළ යුතුයි.” යනුවෙන් පැවසුවේ පේරාදෙණියේ පශූ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය පාලිකා ප්‍රනාන්දුය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලිකත්වයෙන් One Health C0ncept හඳුන්වා දී තිබෙන්නේ ඊට පිළියමක් වශයෙනි. මීට වෛද්‍යවරුන්, ජනතාව, පශූ වෛද්‍ය, කෘෂිකර්මය, මත්ස්‍ය, පරිසරය යන සෑම අංශයක්ම සම්බන්ධ කරගෙන ජාතික ක්‍රමෝපායන් සැලසුම් කර ඇත. එසේ නොමැතිව ප්‍රතිජීවක ඖෂධ කෙරෙහි ප්‍රතිරෝධයන් ඇති වීමෙන් මතු වන අර්බුදයට මුහුණ දිය නොහැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත බෙණරගමගේ අදහස ය.
silumina

Post Bottom Ad

Pages