මතභේදාත්මක ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාපන්දු සම්මේලනයෙන් ඇමැතිට ලිපියක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-02

මතභේදාත්මක ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාපන්දු සම්මේලනයෙන් ඇමැතිට ලිපියක්

ආසියානු පාපන්දු සම්මේලනයේ මතභේදාත්මක ව්‍යවස්ථා සංශෝධනයට දකුණු ආසියාවේ රටවල් සියල්ලම ඡන්දය ප්‍රකාශ කළ බවත්, ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් මෙරට පාපන්දු ක්‍රීඩාවට කිසිදු අගතියක් සිදු නොවන බවත් පැහැදිලි කොට ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා වෙත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ලිපියක් යොමු කරයි.

ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහොත් ක්‍රීඩා ඇමැතිවරයා අතුරු කමිටුවක් පත් කිරීමට සූදානමින් ඇති බවට පළවූ වාර්තා අසත්‍ය බව පාපන්දු සම්මේලනයේ අහසවී ඇත. එබැවින් මේ ඡන්ද විමසීමේදී සෞදි අරාබියා, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කොරියාව හා උස්බෙකිස්තානය විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමත් ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල් 42ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමත් වූ අයුරු පැහැදිලි කිරීම ලිපිය මගින් අරමුණු කොට ඇත.

ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක සභාවට හා අනු කමිටුවල තනතුරු පිරවීමේදී මෙතෙක් අනුගමනය ක්‍රමය වෙනුවට සාමාජිකත්වය දරන ඕනෑම රටකට ඉදිරිපත්වීමේ අවස්ථා සලසාදීම නව ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදුවිය. ව්‍යවස්ථා සංශෝධනය අනුව සාමාජික රටවල් 3ක යෝජනා ස්ථීරත්වයෙන් ඕනෑම රටක අයෙකු තනතුරු සඳහා නම් කිරීමේ අවස්ථාව හිමිවන අතර එම නම්කරන පුද්ගලයන් එම රටේ පාපන්දු ක්‍රීඩා කිරීම හෝ අදාළ රටේ පාපන්දු පරිපාලනයට සම්බන්ධවීම අනිවාර්ය නොවේ.

නව ව්‍යවස්ථා සංශෝධනයෙන් ආසියානු පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය දරණ රටවලට සම්මේලනයේ තනතුරු අහිමිවී යෑමේ අවධානමක් මතුවන බවට චෝදනා ගොණුවී තිබිණි. දකුණු ආසියාවෙන් මේ වනවිට ආසියානු පාපන්දු සම්මේලනයේ තනතුරු හිමිව නැත්තේ ශ්‍රී ලංකාවට හා නේපලයට පමණක්වන අතර මේ ව්‍යවස්ථා සංශෝධනයත් සමග එම රටවල් දෙකට ඉදිරියේදී තනතුරු ලබා ගැනීමේ අවස්ථා ඉතා අවමවී ඇතැයි ද පැවැසේ.

ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති බහරේන් ජාතික ෂෙයික් සල්මන් මහතා ලබන වසරේ පැවැත්වෙන ආසියානු පාපන්දු සමුළුවේ සභාපති ධුරයට යළිත් තරග වැදීමට අපේක්‍ෂාවෙන් පසුවන බවත් මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔහුට පක්ෂපාතී කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමේ අවස්ථා උදාවී ඇති බවත් සෞදි අරාබියා, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කොරියාව හා උස්බෙකිස්තානය වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන් රටවල චෝදනාවවී තිබේ.

කෙසේ වුවද එම ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ තමන් විසින්ම ලිපිය සකසා අද දිනයේ ක්‍රීඩා ඇමැතිවරයා වෙත සත්‍ය කරුණු යොමු කිරීමට සූදානම් බව පාපන්දු සභාපති අනුර ද සිල්වා මහතා අප කළ විමසීමකදී පැවැසීය.

“ක්‍රීඩා ඇමැතිතුමා පාපන්දු සම්මේලනයට කිව්වේ හරි දේ කරන ලෙසයි. ඉතින් අපි ආසියානු පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථා සංශෝධනයේදී නිවැරදි දේ කළා. රටටත් පාපන්දුවටත් නිවැරදි දේ කිරීම අපේ වගකීමක්. ආසියානු පාපන්දු සම්මේලන රැස්වීමේදී අප ඒ වගකීම නිසි ලෙස ඉටු කළා” අනුර ද සිල්වා මහතා පැවැසීය.

“මේ ව්‍යවස්ථා සංශෝධනයට ආසියාවේ බහුතරය කැමැති වුණා. මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් කිසිදු රටකට අගතියන් වෙන්නේ නෑ. ඉන්දියාව ඇතුළු දකුණු ආසියාවේ සියලු රටවල් පක්ෂව ඡන්දය දුන්නා. එහෙම ඡන්දය දෙන්නේ අපගේ කළාපයටවත් අපටවත් ප්‍රශ්නයක් ඇති නොවන නිසයි. ඒ විශ්වාසය ඉන්දියාව ඇතුළු දකුණු ආසියා කළාපයේ රටවල් සියල්ලටම තිබුණා”

“පක්ෂව ඡන්දය දීමෙන් අගතියක් වනවා යැයි ඇතැම් අය කියනවා. නමුත් ඇත්ත කතාව විරුද්ධ වූවානම් අගතියක් වන බවයි. ආසියානු පාපන්දු සම්මේලනයේ නිලධාරීන් හැමදේම නීති රීති අනුව සිදු කොට අපට විශාල අවාසියක් වෙන එක දැන් නැවතී තිබෙනවා. ඇමැතිතුමා සත්‍ය තේරුම් ගනීවි” පාපන්දු සභාපති අනුර ද සිල්වා මහතා පැවැසීය.

ප්‍රින්ස් ගුණසේකර

 

Post Bottom Ad

Pages