පෝලිමේ යන අපේකම - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-20

පෝලිමේ යන අපේකම

පෝලිම අපට නුපුරුදු යැයි කිව නොහැකි ය. ඉල්ලුමට සරිලන සැපයුමක් ඉක්මණින් සැපයිය නොහැකි තැනක එවැන්නක් ඇතිවීම ස්වභාවික ය. ඉදින් දුප්පත් රටක පෝලිම් යනු ස්වභාවික සංසිද්ධියකි. එවැනි පෝලිමක ඉඳීමේ භාග්‍යය පසු ගිය දිනක මට ලැබිණි.

ඒ බල්ලකු විසින් සපා කනු ලැබ ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මහරෝහලට ගෙනගිය මගේ පුතා වෙනුවෙනි. ජල භීතිකා ප්‍රතිකාර ඒකකය තියෙන්නේ 20 කාමරයේ ය. ලොකු අපහසුවක් නැතිව වෛද්‍යවරයා මුණ ගැසීමට අපට ඉඩ ලැබුණු අතර ඔහුගේ උපදෙස් අනුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරන්නට සිදු වූ බැවින් අංක 6 කවුන්ටරය වෙත ගොස් ලියාපදිංචි කරගත යුතු විය. එතැන තරමක දිගු පෝලිමක් විය. ඒ පෝලිම නිසි ලෙස කළමනාකරණය කිරීමට කැපවුණු සේවක මහතකු නිසා කිසිවකුට පහසුවෙන් පෝලිම කඩා ගෙන යෑමට ද ඉඩක් නොවිණි. පෝලිම දික්වෙන බොහෝ තැනක පෝලිම කඩාගෙන යෑමට කැස කවන මිනිසුන්ගේ අඩුවක් නැති රටක එය ද ඉමහත් ඉස්පාසුවක් වූ බව කිව යුතු ය.

අපට පෝලිම් තිබුණ ද පෝලිම් සංස්කෘතියක් නැත. ඒ කියන්නේ අපේ වාරය එනතුරු රැඳී සිටීමට තරම් ඉවසීමක්, ශික්ෂණයක්, අපට නැති බව ය. ඒ නිසා ම පෝලීම් පවත්වාගෙන යෑමට බාහිර කෙනකුගේ උපකාරය අපට අවශ්‍ය ව තිබේ. අඟලක් ගාණේ රථවාහන පොලිසියේ නිලධාරීන් රැඳවන්නේ ද ඒ නිසා ය. එසේ කළේ නැත්නම් කිසිවකුටත් වාහනය ධාවනය කළ නොහැකි තත්වයක් උදාවන්නේ ය. ඉදිරියෙන් එන වාහන හරස්කරමින් පෝලිම් කඩා ගෙන ඉදිරියට යන්නට දඟලන අය දකින්නට ලැබෙන්නේ ය.

වෙනත් ආකාරයකින් කිවහොත් අප අනෙකා ගැන සංවේදි නැති බව ය. අනෙකාගේ අයිතීන් සම්බන්ධයෙන් අප අපවම නිර්වින්දනය කර ගෙන ඇති බව ය. ඒවා අපට දැනෙන්නේ නැති බව ය. ඒ ගැන අපේ තැකීමක් නැති බව ය. අපේ වාරය එන තෙක් බලා සිටින්නට අප සූදානම් නැති බව ය. අනෙකාගේ වාරය උදුරාගැනීමට ඉඩක් ඇත්නම් අප ඊට පසුබට නොවන බව ය.

දැන් නැවතත් ඔබව කැඳවාගෙන යන්නේ මා සිටි පෝලිමට ය. ඒ පෝලිම ඉදිරියට ගියේ හෙමිනි. පරීක්ෂා කර බැලූවිට පෙනුණේ සෞඛ්‍ය සේවකයින් පෝලිමෙන් පිට සිට තමන්ගේ නෑදෑ හිතවතුන් වෙනුවෙන් ලියා පදිංචිය කර ගන්නා බව ය. කකුල් කෙඩෙත්තුව හැදෙනෙතුරු පෝලිමේ සිටිනා මිනිසුන්ගේ වාරය උදුරාගන්නා බව ය. එතැන ක්‍රියාත්මක වුණේ “අපේකම“ ය.

අපේකම

ඒ කියන්නේ අප, පිට අයට අසංවේදී මුත්, අපේ අයට අතිශයින් සංවේදී බව ය. ඒ සංවේදී බව විසින් සෙසු මිනිසුන්ට ඇති සංවේදිබව අප විසින් නිර්වින්දනයකට ලක් කරගෙන ඇති බව ය. පෝලිමෙන් පිටින් අවුත් ලියාපදිංචිය කර ගන්නා අය තමන්ගේ රාජකාරියෙන් ඒ මොහොතේ ඉවත් ව පැමිණ ඇත. ඒ රෝගීන්ට අසංවේදී වෙමින් තමන්ගේ හිතවතාට පිහිට වනු පිණිස ය. පිට අයට අසංවේදී වීම තමන්ගේ අයට සුවිශේෂී ලෙස සංවේදී වීම සමග එකට බැඳී තිබේ.

සෞඛ්‍ය සේවකයන් විසින් කළ යුතු ව ඇත්තේ හැමට ඉක්මණින් ලියාපදිංචිය කර ගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීම ය. එය සිදු කළ හැකි එක් ආකාරයක් නම් ලියාපදිංචිය අදාළ ඒකකයට බාර දීම ය. එකිනෙකට සම්බන්ධ පරිගණක ජාලයක් මගින් එම දත්ත මධ්‍යගතව ලබා දිය හැකි යටිතල පහසුකම් නිර්මාණය කර දීම ය. එසේ කළේ නම් අංක 20 කාමරයේ ම ඒ කටයුත්ත කර ගත හැකි ව තිබුණි. අනෙක් ආකාරය කාර්යය බහුල වේලාවන් සඳහා කවුළු කීපයක් එකතු කොට පෝලිමේ සිටින කාලය අඩු කිරිම ය.

එහෙත් මේ පෝලිම සෞඛ්‍ය සේවකයන්ට වරප්‍රසාදයක් ව තිබෙන්නේ ය. සෙසු අයට නැති දෙයක් - පෝලිමේ නොසිට ලියාපදිංචිය කරගැනීමේ හැකියාව- තමන් වෙනුවෙන් පමණක් නොව තම හිතවතුන් වෙනුවෙන් ලබා ගැනීමට ද එයින් හැකි වන නිසා ය. තම හිතවතුන් වෙනුවෙන් එවැන්නක් කිරිමට හැකි වීමේ සතුට පෝලිම නැති කිරීමෙන් අහිමි වන්නේ ය. එයින් ඔවුන්ට ලැබෙන්නා වූ බල පරාක්‍රමය නැතිව යන්නේ ය. ඒ නිසා ඔවුන්ගේ පැත්තෙන් පෝලිම ඉවත් කිරීමට හෝ අවම කිරීමට උත්තේජනයක් ඉල්ලුමක් ඇති වන්නේ නැත.

ඇතැම් තැනක පෝලිම් පවත්වාගෙන යන්නේ ඊටත් එහා ගියා වූ ආර්ථික අරමුණු ඇතිව ය. ඒ මුදල් ගෙන පෝලිමේ ඉදිරියට යෑමට, එසේත් නැතිනම් පෝලිමේ නොසිට යමක් කර ගැනීමට, ගෙවන්නාට අවස්ථාවක් ලබා දීමට, ඒ මගින් ආයතනයේ සේවකයන්ට හැකි වන නිසා ය. ඒ හරහා ධන ඉල්ලමක් පෑදෙන නිසා ය.

ආයතනයේ අය මේ පෝලිම්වලට විසඳුමක් දිමට ඉදිරිපත් නොවන කල සේවා ලාභින්ට කළ හැක්කේ හීන් කෙඳිරියක් නැගීම පමණකි.

ආයතන තියෙන්නේ ආයතනවල ඉන්නා අයට ය කියා සිතමින් පෝලිමේ ඉන්නා විට ඉදිරියෙන් සිටි තැනැත්තා සමග කතාවකට පැටලිමට මට අවස්ථාවක් ලැබිණි. ඔහු ද පැමිණ සිටියේ වාට්ටුවකට ඇතුළු වනු පිණිස ලියාපදිංචි වන්නට ය. ඒ හදවත් රෝගයකට ස්ටෙන්ට් එකක් දමා ගැනීමට ය. වෙනදා ලක්ෂ පහක ආසන්න මුදලට ගත යුතු ස්ටෙන්ට් ඒ වන විට රෝගින් ට නොමිලේ ලබා දෙමින් තිබුණි. ජනතාව පැත්තෙන් එය සැලකියයුතු සහනයක් වේදැයි මම විමසිමි. එය එසේ ම යැයි කී ඔහු එකම ගැටලුව ඒ සඳහා සති මාස ගණනක් පෝලිමේ සිටීමට සිදු වීම යැයි කීවේ ය. තමා ද එසේ සිටියේ යැයි කී ඔහු දැන් පැමිණියේ ස්ටෙන්ට් ඇතැයි යන රෝහලෙන් ලැබුණු පණිවුඩයකට අනුවය. රෝහල් පද්ධතිය එසේ ජනතාවට සංවේදි වීම සම්බන්ධයෙන් සතුටට පත්වෙමින් මා එම සතුට බෙදා ගත් විට ඔහු කීවේ ඒ තොරතුරු ලැබුණේ රෝහලෙන් නොව තමා දන්නා හඳුනන සෞඛ්‍ය අමාත්‍යංශයේ හිතවතෙකුගෙන් බව ය. දැන් නැවතත් අපට මුල් පෝලිම් ගැටලුව නැවත වෙනත් අයුරකින් මුණ ගැසේ. ඒ පෝලිම පැත්තක තිබිය දී මේ පද්ධතිය තුළ හිතවතුන්ගේ වුවමනා මුලින් ඉටු කර ගැනීමට ඉඩ පවතින බව ය. ඒ කියන්නේ “අපේකම“ භෞතික පෝලිම්වල පමණක් නොව සෑම තැනකම, සෑම පෝලිමක ම, රජයන බව ය.

මෙය රෝහල්වලට හෝ සෞඛ්‍ය අමාත්‍යංශයට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවේ. අපේ ආයතන සියල්ලක් ම අරක්ගෙන ඇති ප්‍රශ්නයකි. මෙය අපේ හර පද්ධතිය හා බැඳුනකි. ඒ “අපේකම“ ට සැලකිමේ ආචාර ධර්මය නිසා ය. ඒ සාර ධර්මය නිසා ය.

තමන්ගේ කොටස

අපේ මිනිසුන් සම්බන්ධයෙන් සංවේදී විම හොඳ ය. එහෙත් ඒ වෙනුවෙන් සෙසු මිනිසුන්ට අසංවේදී වීම හොඳ නැත. සාර ධර්මය අසාර වන්නේ එතැන දී ය.

කරවල කල් තබා ගැනීමට මැලතීන් දමන කරවල මුදලාලි තමන්ටත් තම හිතවතුන්ටත් මැලතීන් නොදමන ලද කරවල වෙන් කර තබන්නේ ය. එළවළු මුදලාලි ද පොලොස්වලට හාපික් දැමීමට , එළවළුවලට කෘමි නාශක ගැසීමට පෙර, තමන්ට හා තම හිතවතුන්ට අයිති කොටස වෙන් කර තබන්නේ ය.

මාළු මුදලාලි ෆෝමලීන් දැමීමට පෙර ද පලතුරු මුදලාලි කාබයිඩ් ගැසීමට ද පෙර තමන්ගේ කොටස හිතවතුන්ගේ කොටස වෙන් කර තබා ගන්නේ ය. ඊට පසුව කරවල මුදලාලි පිරිසිදු කරවල සමග කෘමිනාශක ගැසූ එළවළු ද කාබයිඩ් ගැසූ පලතුරු ද අනුභවයෙන් ලෙඩ වෙන්නේ ය. ඉතිරි මුදලාලිලාට ද සිදු වන්නේ ඒ සංගෙඩියම ය. හිතුවේ තමනුත් තම හිතෛෂීනුත් බේරා සෙසු අය බිල්ලට දෙන්නට ය. වුණේ සියල්ලන්ට ම වහ කෑමට ය.

අපේකම විවිධ ස්වරූප ගන්නේ ය. අපේ ගමේ කෙනෙක්, මාත් එක්ක ඉගෙන ගත් කෙනෙක්, අපේ බැච් එකේ එකෙක් එකියක්, අපේ ආගමේ, අපේ ජාතියේ, අපේ කුලයේ, අපේ ආයතනයේ, අපේ ඉස්කොලේ කෙනෙක්, අපේ නෑදෑයෙක්, අපේ යාළුවෙක්, අපේ පක්ෂයේ කෙනෙක් වශයෙන් ඉන්නා මේ හැමෝම “අපේ“ මිනිසුන් ය.

දරුණු විපාක

අවසාන විශ්ලේෂණයේ දී සිදු වන්නේ හැන්ද ඇති අය තමනුත් බෙදාගෙන, තමන්ගේ මිනිසුන්ටත්, බෙදා ගැනීම ය. මේ බෙදිල්ලෙන් වැඩියෙන් ම කොන් වන්නේ සුළුතරයේ මිනිසුන් ය. බලය නැති මිනිසුන් ය. කිසිවක් කර ගැනීමට බැරි මිනිසුන් ය. සැබෑ ලෙස ම අතදියයුතු ව තිබෙන මිනිසුන් ය.

රටක කැරලි මතුවන්නේ මෙසේ කොන්කරනු ලබන මිනිසුන් නිසා ය. අපේ රටේ කැරලිවලට සම්බන්ධ වූ අය අර අප ඉහත කී “අපේකම“ විසින් ප්‍රධාන ධාරාවෙන් අයින් කරනු ලැබ තිබූ මිනිසුන් ය. එය එසේ වුව ද කැරලිවල ප්‍රතිවිපාක විඳින්නට වන්නේ කාටත් පොදුවේ ය.

මේ බෙදිල්ලෙන් ඊළගට පීඩා විඳින්නේ සුදුස්සන් ය. අපේ නොවන සුදුස්සන් ය. දිගුකාලීනව එයින් සිදුවන්නේ වඩා හොඳින් අපට සේවය සැලසිය හැකිව තිබූ මිනිසුන්ට අප විසින් පස්ස හැර වීම ය. ඒ උන් අපේ නොවන නිසා ය.

අවසානයේ අපට සිදු වන්නේ බාග උගතුන්ගෙන් ලැබෙන ග්‍රාම්‍ය උත්තරවලින් හා විසඳුම්වලින් සෑහීමකට පත්වීමට ය. අපේ නොවන සෙසු මිනිසුන් සම්බන්ධයෙන් අප දක්වන අසංවේදිත්වයේ පාපයට කරගැසීමට ය. එයින් කියන්නේ අවසාන වශයෙන් පීඩාවට පත්වන්නේ අප ම බව ය.

මේ පීඩාවට අමතර ව තව පීඩනයකට ද මේ නිසා අප ලක් වේ. ඒ අප මෙන්ම අනෙකා ද අපේකම හිතේ දරාගෙන අපට කොයි වෙලේ හෝ කෙළවාවි දැයි බියෙන් සැකෙන් ජීවත් වීමට සිදුවිමය ය.

අපේකමේ නිස්සාරත්වය

මක් නිසා ද යත් අප කරන දෙය උන්ට ද කළ හැකි බව අපට දැනෙන නිසා ය. කරවල මුදලාලි කරන දේ එළවළු මුදලාලි ද කරනු ඇතැයි කරවල මුදලාලිට දැනෙන නිසා ය. ඒ හැඟීමත් සමග ජිවත් වන්නට සිදු වන්නේ ම සැකයෙනි. කොයි වෙලේ අනෙකා විසින් අපේ දේ අහිමි කරනු ඇත්දැයි යන සැකයෙනි. කරවල ,මාළු,එළවළු ,පලතුරු මුදලාලිලා ගැන සැකයෙනි. අපේ නොවන අනෙකා ගැන සැකයෙනි.

ඒ කියන්නේ මේ නපුර භූමරංගයක් ව අප හඹා පැමිණිය හැකි බව ය.

රෝහලේ හිතවතා නැති වූ දවසට පෝලිමේ වේලෙමින් සෙසු රෝහල් සේවකයන්ගේ හිතවතුන් වරප්‍රසාද ලබන හැටි බලා හූල්ලන්නට වෙන්නේ ද අපට ම ය.

මේ සියල්ලෙන් පෙනෙන්නේ මේ “අපේකම“ අප අගාධයකට රැගෙන යන බව ය. “අපේකම“ විසින් ඇති කර ඇති මේ සීමා මායිම් කඩා බිඳ දමමින් අප ලෝකයාට සංවේදී විය යුතු බව ය. එකිනෙකා මත යැපීමට සිදු ව ඇති ලෝකයක “අපේ කම“ අතිශයින් නොවැදගත් වනවා පමණක් නොව භයානක ද විය හැකි බව ය. එය සාර ධර්මයක් ලෙස පෙනෙන අසාර ධර්මයක් බව ය.

බුදුන් වහන්සේ සියලු සත්ත්වයා වෙත මෛත්‍රීය කරන්නට කිවේ මේ “අපේ කමේ“ නිස්සාරත්වය දැනගෙන ය. පිඩු සිඟා වඩින්නේ නැතිව මාලිගයට පැමිණ දන් වළඳන්නැයි කියමින් තමන් ශාක්‍ය වංශයට බැඳ තබන්නට පියාණන් වූ ශුද්ධෝදන රජතුමන් ගත් උත්සාහය පිළිකෙව් කළේ ඒ බව දැන ගෙන ය. තමන්ගේ ශාසනය සියලු ජාති ආගම් කුලවලින් පැමිණෙන අයට විවෘත කළේ ද ඒ අය කොහෙන් පැමිණය ද සියළු දෙනා සම බවත් එකම මූදට වෙනස් ගංගාවලින් ගලා එන ජලය මූදේ එකක් වනවා සේ ශාසනය තුළ සෑම දෙනා සමතැන් ලබන බවත් කියමින් සියළු භේද දුරලෑවේ ඒ බව දැන ය. රජකුමරුන් මෙන් ම චණ්ඩාලයන් ද එකම සසුනේ මහන කරමින් එකම වරප්‍රසාද ලබා දුන්නේ ඒ බව දැන ය.

අනෙකාට සංවේදී වීම

සෙසු ශාස්තෘන්වරුන්ට ද ගරු කරන ලෙස බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට උපදෙස් දුන්නේ විවිධත්වයට සංවේදී විමට දිරි දීමට ය. මිනිස් සන්තානයේ අපේකම විසින් බඳින්නාවූ වැට කඩුලු හරහා එන අනවශ්‍ය කළකෝලාහලවලට වැට බැඳීමට ය. උන් හා අප ලෙස ඇති වෙන් කිරීම විසින් මතු කරන සතුරුභාවය ඉවත් කර දැමීමට ය.

අපේකම, අපේ පැවැත්ම වෙනුවෙන් ඇති සහජ බැම්මකි. එය අමතරව වගා කළ යුත්තක් නොවේ. ඉගැන්විය යුත්තක් නොවේ. අප වගා කළ යුතුව ඇත්තේ එහි ප්‍රතිපක්ෂය ය. ඒ අනෙකාට, අපේ නොවන අනෙකාට, සංවේදි වීමේ ගුණය ය. ඒ සාර ධර්මය ය. පෝලිමකට ගරු කිරීම ද ඊට ඇතුළත් ය. තමන්ගේ කෙනකුට පෝලිමේ සක්කයක් ගැසීමට ඉඩ නොදීම පවා ඊට ඇතුළත් ය. තමන්ගේ වාරය එළඹෙනතුරු ඉවසිලි සහගතව බලා සිටීම ඊට ඇතුළත් ය. එසේ ඉන්නා අතරතුර තමන්ට වඩා දුර්වල කෙනකු දුටුවහොත්, තමන්ගේ වාරය ඔහුට ඇයට පරිත්‍යාග කොට, පසු පසට පියවරක් ගැනීම ඊට ඇතුළත් ය. අනුන්ගේ ධාවන පථයට බලහත්කාරයෙන් ඇතුළු නොවීමට තරම් ශික්ෂනයක් ඇතිව වාහන පැදවීම ඊට ඇතුළත් ය. එසේ වාහන පදවන අතර ගිලන් රථයකට ඉඩ දීමට වාහනය ඉවතට ගැනීම ඊට ඇතුළත් ය. තමන්ගේ කුණු අනුන්ගේ පරිශ්‍රයකට නිදහස් නොකිරීමට වග බලා ගැනීම ඊට ඇතුළත් ය. ඒ කුණු පරිසරයට හානියක් නොවන සේ ඉවත් කර දැමීම ද ඊට ඇතුළත් ය.

අවාසනාවකට පාසල ද පන්සල ද පල්ලිය ද යන මිනිසුන්ගේ ශික්ෂනය ඇති කිරීමට වගකිවයුතු ආයතන නියැළී ඉන්නේ “අපේ කම“ ඉස්මතු කිරිමට ය. අනෙකාට අසංවේදී වීමට ය. ඔහුව ඇයව රැවීමට ය. ඔහු ඇය පිළිබඳ සැකයෙන් බලන්නට ය. අනෙකා ආණ්ඩු මට්ටු කරන්නට ය. උන් පෝලිමෙන් එලවා දමන්නට ය. උන්ට හිමි තැන උදුරා ගැනීමට ය. අපේ අවාසනාව ඇත්තේ ද එතැන ය.

Post Bottom Ad

Pages