කළණ අනාගත ක්‍රිකට් තරුවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-02

කළණ අනාගත ක්‍රිකට් තරුවක්

පුහුණුකරු දිනේෂ්

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ අවුරුදු 19න් පහළ කණ්ඩායමේ වමත් වේගපන්දු යවන්නා වන කළණ පෙරේරා ජාතික ක්‍රිකට් පිලේ කදිම අනාගත ආයෝජනයක් කණ්ඩායමේ පුහුණුකරු දිනේෂ් කුමාරසිංහ මහතා පවසයි. එවැනි ක්‍රීඩකයකු රැක ගැනීමත්, ඔහු ඉතා පරිස්සම් සහගතව ක්‍රීඩා කරවීමත් සිදුකළ යුතුව ඇතැයි ද ඔහු කීවේය.

අන්තර් පාසල් අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ කෑගල්ල සාන්ත මේරි විදුහල් පිල සමග පසුගියදා පැවැති තරගයේ දෙවැනි ඉනිමේදී එක් ලකුණකට කඩුලු 8ක් දවාලමින් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිලේ වමත් වේගපන්දු යවන්නා වන කළණ පෙරේරා තැබූ වාර්තාව පිළිබඳ ‘දිනමිණ’ කළ විමසුමකට පිළිතුරු දෙමින් පුහුණුකරු මේ අදහස් පළ කළේය.

සාන්ත තෝමස් විදුහල් පිටියේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනූ සාන්ත මේරි විදුහල් පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදුන් සාන්ත තෝමස් විදුහල් පිල සිය පළමු ඉනිම සඳහා ඕවර 64.3කදී කඩුලු 8කට ලකුණු 311ක් ලබා ඉනිම අත්හිටවූ අතර සාන්ත මේරි විදුහල් පිල පළමු ඉනිමේදී ඕවර 23ක් ඇතුළත ලකුණු 72කට සීමා කිරීමට සමත් විය. එහිදී ලකුණු 17කට කඩුලු 8ක් දවාලූ කළණ පෙරේරා අනතුරුව සාන්ත මේරි විදුහල් පිලේ දෙවැනි ඉනිම ලකුණු 6කට සීමා කරමින් එක් ලකුණකට යළි කඩුලු 8ක් දවාලමින් ප්‍රතිවාදී පිල ලකුණු 6කට සීමා කර සිය කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 233ක දැවැන්ත ජයග්‍රහණයක් අත්කර දුන්නේය.

සාන්ත මේරි විදුහල් පිලේ දෙවැනි ඉනිමේදී කළණ පෙරේරා දැක්වූ එම දස්කම එතෙක් මෙතෙක් ලෝක පාසල් ක්‍රිකට් තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීම බවත්, එම ඉනිමේදී ප්‍රතිවාදී පිල ලකුණු 6කට දැවීයාම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඕනෑම මට්ටමක තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව බවත් දිනේෂ් කුමාරසිංහ මහතා කියා සිටියේය.

සාන්ත මේරි විදුහල් පිල දෙවැනි ඉනිමේදී රැස් කළ ලකුණු 6න් ලකුණු 4ක්ම අතිරේක ලකුණු වීම කැපී පෙනේ. මේ වනවිට තරග 3කට ක්‍රීඩා කර ඇති සාන්ත තෝමස් විදුහල් පිල ඉන් තරග 2ක් ඉනිමකින් ජයගැනීමට සමත්වී ඇති අතර මාතර සාන්ත සර්වේෂස් විදුහල් පිල සමග පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලැබුවේය.

පුහුණුකාර ධුරයේ වසර 30ක අත්දැකීම් ඇති කුමාරසිංහ මහතා ඉන් වසර 20ක්ම පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ සාන්ත තෝමස් විදුහල් පිලේය. මැලේසියානු ජාතික ක්‍රිකට් පිලේ පුහුණුකරු ලෙසත් කටයුතු කළ ඔහු සාන්ත තෝමස් විදුහලේම ආදි සිසුවෙකි.

ෆවුස් මොහොමඩ්

Post Bottom Ad

Pages