අවසන් ටෙස්ට් ගැටුමේදී එංගලන්තයෙන් හොඳ ආරම්භයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-24

අවසන් ටෙස්ට් ගැටුමේදී එංගලන්තයෙන් හොඳ ආරම්භයක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර කොළඹ එස්. එස්. සී. පිටියේ ඊයේ ආරම්භවූ තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවීමට ඔන්න මෙන්න තිබියදී ආලෝක තත්ත්වය මදකමින් තරගය නතරවූ අතර එවිට ඕවර් 88.1කදී එංගලන්තය කඩුලු 7කට ලකුණු 312ක් ලබා සිටියේය.

නිමාවට පත්වූ ටෙස්ට් තරග දෙකම ජයගෙන සිටින එංගලන්තය වසර 2009න් පසු එංගලන්තයෙන් පිටත සම්පූර්ණ තරගාවලියක් ජයගෙන නොමැති හෙයින් මේ තරගය ජයගෙන 3-0ක් බවට ජය තහවුරු කරගැනීමේ සිහින දකිමින් සිටී. එබැවින් එම ඉලක්කය වෙත යා හැකි ආරම්භයක් අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනයේ වාර්තා කළ තාවකාලික සැනසිල්ලක් එංගලන්ත ක්‍රීඩකයෝ ලබා සිටින අයුරු දැකගත හැකි විය.

එංගලන්තයේ අංක එක පිතිකරු ජොනී බෙයාස්ටෝගේ ශතකය හා බෙන් ස්ටෝක්ස්ගේ අර්ධ ශතකයෙන් ශක්තිමත්වූ එංගලන්ත පළමු ඉනිමට නායක ජෝ රූට්ගේ ලකුණු 46ක් ඇතුළත්වීම කැපී පෙණුනි. කාසියේ වාසිය දිනාගත් එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර දඟ පන්දු යවන්නන්ට පාරාදීසයක්වූ එස්. එස්. සී. තණතිල්ලේ පළමු කඩුලු දෙක ලකුණු 36කට දවා ගැනීමට ඩිල්රුවන් පෙරේරා හා මලින්ද පුෂ්පකුමාර සමත් වූහ.

පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ ඇතිවූ ගැටලුවක් මත කණ්ඩායමෙන් ඉවත්වූ අකිල ධනංජය වෙනුවෙන් ශ්‍රී ලංකා පිලට එක්වූ ලක්ෂාන් සඳකැන් කඩුලු 4ක් බිඳ හෙලා එංගලන්ත පිලට තර්ජනාත්මක පන්දු යැවීමක නිරත විය.

ඊයේ දිනයේ වීරයා බවට පත්වූ ජොනී බෙයාස්ටෝ තම ටෙස්ට් දිවියේ 6වැනි ශතකය වාර්තා කරමින් ලකුණු 110ක් වාර්තා කළ අතර පන්දු 186කදී හතරේ පහර 9ක් හා හයේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය. බෙයාස්ටෝ මෙවර ටෙස්ට් තරගාවලියේදී මුහුණදුන් පළමු තරගය මෙයවූ අතර දඟ පන්දු යවන්නන් ඉතා හොඳින් තේරුම් ගෙන පහර එල්ල කළද, ලක්ෂාන් සඳකැන්ගේ දඟ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී ඉනිම නිමාවට පත්විය.

බෙයාස්ටෝ සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 99ක සම්බන්ධතාවක් ගොඩනැගූ බෙන් ස්ටෝක්ස් 16වැනි ටෙස්ට් අර්ධ ශතකය සටහන් කරමින් ලකුණු 57ක් වාර්තා කළේය. පන්දු 88කට මුහුණ දෙමින් එංගලන්ත ඉනිමේ ලකුණු වේගය වැඩි කළ ස්ටෝක්ස් හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් එල්ල කළ අතර සඳකැන්ගේ පන්දුවකට ධනංජය ද සිල්වා වෙත උඩ පන්දුවක්දී ක්‍රීඩාගාරයට යද්දී එංගලන්තය ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 235ක් විය.

එංගලන්ත ඉනිමට තවත් ලකුණු 30ක් එක්වෙද්දී සඳකැන් කඩුලු දෙකක් බිඳහෙලාගත් අතර එහිදී බෙයාස්ටෝ හා ජොස් බට්ලර් ගොදුරු බවට පත්වූහ. බට්ලර් පන්දු යැවූ සඳකැන් වෙතටම උඩ පන්දුවක්දී ලකුණු 16කට දැවී ගියේය.

බර්න්ස් ලකුණු 14කට හා ජෙනින්ග්ස් ලකුණු 13කට දැවී යෑමෙන් අනතුරුව තෙවැනි කඩුල්ලට ලකුණු 100ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට නායක රූට් හා බෙයාස්ටෝ සමත් වූහ. අර්ධ ශතකයට ලකුණු 4ක් තිබියදී රූට් දවා ගැනීමට ලක්ෂාන් සඳකැන් සමත්වූ අතර රූට් එල්ල කළ ස්වීප් පහර මිඩි විකට් හී සිටි ධනුෂ්ක ගුණතිලක අතට උඩ පන්දුවක් ලෙස පැමිණීමෙන් නායකයාගේ ඉනිම නිමාවට පත් විය. සිවුවතාවක්ම දැවී යෑමෙන් බේරී සිටි මොයින් අලී නොදැවී ලකුණු 23ක් හා අදීල් රෂීඩ් නොදැවී ලකුණු 13ක් ලබා කඩුල්ලේ රැදී සිටිති.

නිමාවූ ටෙස්ට් තරග දෙකේදී සාර්ථක නොවූ කෞෂාල් සිල්වා වෙනුවට ආරම්භක පිතිකරු ලෙස ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා පිලට එක්ව සිටී.

අද තරගයේ දෙවැනි දිනයයි.

Post Bottom Ad

Pages