ත්‍රාසය, භීතිය පිරි දුෂ්කර ගමනකින් පසු ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනට... - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-10

ත්‍රාසය, භීතිය පිරි දුෂ්කර ගමනකින් පසු ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනට...




කොළඹ කොටුවේ සිට බදුල්ල බලා යෑමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය ළඟාවීමට නියමිත වේදිකාව එකම හිස් ගොඩකි. දෙවැනි පන්තියේ ප්‍රවේශපත් ගත් සගයන් මගීන් සමඟ පොරබැදුවේ අසුනක් ලබා ගැනීමේ පරම චේතනාවෙනි. ඒ මේ අත දිව ගියත් අවසානයේ සිදුවූයේ 3 වැනි පන්තියේ හිටගෙන යෑමට ය.

‍උඩරට මගේ 61 වැනි නැවතුම ගමනේ පළමු අදියරයි. නිදි වර්ජිතව එකම ඉරියව්වෙන් පැය 10 විනාඩි 44 ගෙවා ගමනාන්තයට ළඟා වනවිට අපි හොඳ හැටි හෙම්බත් වී සිටියෙමු.‍

එය නමින් ‘ග්‍රේට් වෙස්ටර්න්’ දුම්රිය ස්ථානයයි. පිහිටා ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වටගොඩ හා රදැල්ල දුම්රිය ස්ථාන දෙකට අතර මැදිවය. මුහුදු මට්ටමේ සිට මීටර් 1464ක් උසකින් පිහිටි ග්‍රේට් වෙස්ටර්න් වතුයාය හෙක්ටයාර් 628ක් පුරා විහිදී පවතී. දුම්රිය ස්ථානය හා ඊට පසු පසුන් විරාජමානව නැගී සිටින, මුදුන් 3 කින් සමන්විත කඳු වැටිය හඳුන්වන්නේ ද වතුයායේ නමිනි. මෙය අපේ රටෙ අලංකාර දුම්රිය ස්ථාන අතරින් සුවිශේෂී බවක් උසුලයි. එසේම උඩරට මාර්ගයේ දැකිය හැකි වේදිකා 2 ක් ඇති එකම නැවතුම ද මෙයයි.‍ සංඥා පුවරු 2 ක් ඇති මුත් එකිනෙක යා කරන මගී පාලමක් නම් පෙනෙන්නට නැත.

හරිත තණ බිස්සේ අරුණලු කිරණින් දිලිසෙන පිනිකැට මවන මන බන්ධන සොබා සිරිය ගතේ තෙහෙට්ටුව උදුරා ගත්තේ අපටත් ‍නොදැනීමය. ‍මීදුමින් නිරුවත් වූ කඳු පන්තිය ඉතා පැහැදිලිය. හෝර්ටන්තැන්න, සප්ත කන්‍යා කඳු වැටිය හා ශ්‍රී පාදය දුම්රිය වේදිකාව ඉදිරියේ පෙළ ගැසෙන්නේ පැහැබර දවසක අරුමය කියන්නට මෙනි. තදින් වැලඳ ගන්නා සීතලක් නම් නැත.

අපගේ ඉලක්කය දුම්රිය ස්ථානය පසුබිමේ දර්ශනය වන මුහුදු මට්ටමේ සිට මීටර් 2212 උස කන්ද තරණය කිරීමයි. ග්‍රේට් වෙස්ටර්න් කඳු පන්තිය කලින් වැජඹුණේ 6 වැනි ස්ථානයේය.

නිල පිළිගැනීමකට ලක් නොවී කාලාන්තරයක් කල් ගෙව‍ූ අග්‍රා බෝපත් හෙවත් කුඩහගල පෝලිම පනිමින් හතර වැනි ස්ථානයේ නතර වුණේ ග්‍රේට් වෙස්ටර්න් එක අඩියක් පහළට ඇද දමමිනි.

උදෑසන තේ උගුරක රස බැලුවේ මග පෙන්වන්නකු ලෙස ප්‍රකට මෝගන්ගේ නිවෙසිනි. කෑම බීම අඩුම කුඩුම මලුවල බර කරට ගත්, එක් කාන්තාවක් ඇතුළුව 17 දෙනකුගෙන් සමන්විත කණ්ඩායම 7 වැනි උසම ක්ද තරණයට පළමු අඩිය තැබුවේ හරියටම උදෑසන 8.10ටය.

දුම්රිය ස්ථානයේ සිට ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනට ඇති දුර ආසන්න වශයෙන් කිලෝමීටර් පහ මාරකට ආසන්නය. රදැල්ල දෙසට දුම්රිය මග දිගේ පය එසැවූයේ යකඩ පාලම හමුවන තෙක්ය. පාලම පෙනෙන මානයේ යන මග වම් පසින් ඉහළට දිවෙන පඩි පෙළකි. හරියටම කඳු නැගීම ආරම්භ වන්නේ මෙතැන් සිටය.

විඩාබර ගතිය අබිබවා කුසගින්න හිස එසවමින් සිටී. රැගෙන ආ බත් මුල් එක දෙක ලිහා ගනිමින් අපි තරගයට මෙන් පඩි මත වාඩි වුණෙමු. මෙම පඩි පෙළ ඉහළින් අවසන් වන්නේ පත්තිනි කෝවිලක් අසලිනි. වසර 70කට වඩා පැරැණි කෝවිල බොහෝ අනුහස් පිරි එකකි. භාර හාර වූ විට ලැබෙන ප්‍රතිඵල ඉහළ ය‍‍. එබැවින් ප්‍රදේශවාසීන් අතර ඇත්තේ තද බැඳීමකි. ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ දරුඵල පමා වීමේ භාර වලටය. රේල් පාරේ සිට කෝවිල දක්වා ඇති පඩි පෙළ වටා ද ගෙතී ඇත්තේ අපූරු කතාවකි. මීදුම් බෑම නිසා වනයේ අතරමං වූ ගැමියකු ගමට යාමට රේල් පාර තෙක් යාමට මග සොයාගෙන ඇත්තේ පත්තිනි මෑණියන්ගේ පිහිටෙනි. එයට කෘතගුණ සැලකීමට රේල් පාරට ගොඩවූ ස්ථානයේ සිට කෝවිල දක්වා මෙය තනා ඇත්තේ ඔහු විසිනි. මේ වතුයායේ එකල විසූ විදේශීය යුවළක් ද පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලබා ඇති බව ද කියැවේ.

ගමනේ ඉතිරි අදියර පටන් ගන්නේ කෝවිලට වම් පසින් ඇති දිය පාර අභියසිනි. ආරම්භය පෙරාතුව සුපුරුදු ලෙසින් දේව මෑණියන්ගේ ආශිර්වාද ලබා ගත්තෙමු.‍ ඉහළ සිට ගලා එන දිය පාර දිගේ ලිස්සන ගල් මත අඩිය තැබුවේ පරිස්සමිනි. වන පඳුරු මැදින් දිවෙන මග පැහැදිලි වුවත් දෙපස අතු පීරාගෙන යාමට සිදුවේ. ක්‍රමයෙන් ඉහළට ඇදෙන මාවත අංශක හැටක පමණ ඇලයක් සහිතය. තැන තැන තියුණු බවින් පිරි තෘණ පඳුරු ය. තෙත නැතත් ලිස්සන සුළු ගතිය වැඩිය. රැගෙන ආ කඹ මලුවලින් එළියට ආවේ මේ දුෂ්කර ‍මොහොතේදීය. අඩ හෝරාවකට ආසන්න කාලයකදී තැනිතලා බිමකට පැමි‍ණියෙමු.

සිහින් දිය පාරක ශබ්දය පැහැදිලි ලෙසම දෙසවන් සොයා එයි. තුරුපත් අතර සැඟවී ගල් කීපයක් මතින් පෙරී පෙන පිඬු නංවමින් ගලා එන කුඩා දිය සීරාව අඩි 2 – 3 වඩා පළල නැත. නැවුම් බවින් පිරි ජලය අධික සීතලෙන් යුක්තය. මෙය ගමනේ හමුවන දෙවැනි හා අවසන් දිය කඩිත්තයි. හිස් වූ වතුර බෝතල පිරී ගි‍ෙය් තරගයට මෙනි.

නැවතත් ගමන ඇරැඹුණේ ගල් මතට බර දෙමිනි. දිරා ගිය ගස් කඳන් උඩින් යටින් රිංගා යාමත් වන සංචාරයේ හමුවන සුපුරුදු බාධකයන්ය. තෙත් කලාපීය කඳුකර වනාන්තරයේ සොබා දසුන් නෙත් සිත් වසඟ කරයි. සිසිල් සෞම්‍යය ගතිය ගත පුරා දුවන්නේ දැනෙන සනීපය කියන්නට වචන අහිමි කරමිනි. ජෛව විවිධත්වයෙන් පොහොසත් වන බිමේ ස්තර 3ට අයත් ශාක පද්ධති දැකිය හැකි ය. ඉහළ ස්ථරයේ ශක්තිමත් වියන වනයේ ඇතුළත ගුප්ත අඳුරු බව වැඩි කරයි. ලද ඉඩකින් රිංගා එන හිරු කිරණ පහළ බිම් ස්තරයේ කොළ මත අප‍ූරු රටා මවන්නේ ස්වභාව ධර්මයේ චමත්කාරය කියා පාන්නටය. ගස් බදාගත් පාසි මත දිලිසෙන පිනි මුතුකැට මෙනි. උඩවැඩියා විශේෂ ගණනාවක් ද අතරින් පතර දැකිය හැකි ය.

කොළ දිවියා හා වල් ‍ඌරා නිත්‍ය පදිංචි කරුවෝයි. කූඩැල්ලන් නම් දකින්නවත් නැති තරම් ය. මුළු පරිසරය පුරාම ඇත්තේ දැඩි නිහඬ බවකි. කුරුලු විශේෂ කීපයක් දුටු නමුත් ‍අන් හැසිරුණේ ගොලුවන් බීරන් සේ ය. තැන්නේ කෙටි ගමනකින් පසු අප ආවේ පර්වත කීපයක් වට ව‍ූ හිස් බිමකට ය. සුළු බැල්මට කඳවුරු බිමකට යොදාගත් සෙයක් පෙනේ. පැය කීපයක් එක හැල්මේ ආ ගමනට පළමු විරාමය තැබූ කණ්ඩායම, රැගෙන ආ බිස්කට් කීපයක රස බලන්නට යුහුසුලු විය.

රූස්ස මහ වනයේ ගමන තවම ඉවර නැත. වෙනස් වන පරිසරයේ වියන් යටින් යා යුත්තේ දෙකට තුනට නැමි නැමී ය‍‍. ඝන තුරු වියනේ හිඩැස් අතරින් ගමනාන්තයේ මුදුන පෙනේ. යාමට ඇති ඉදිරි මග පෙනෙන විට හිතට දැනෙන චකිතය නහර පුරා දිව යන්නේ විදුලි සැරයක් සේය. නිහඬතාවට බාධා කරමින් කෑ කෝ ගසන රැහැයියන්ගේ හඬ දෙසවන් හිරිවට්ටයි. දැන් දැන් ගමනේ දුෂ්කර ස්වරූපය අභියෝගාත්මකය. පය එසැවෙන විට දණහිස් පපුවේ වදින්නේ නැග්මේ තරම කියා පෑමටය. ගස් අතු මත එල්ලී සගයකුගේ තල්ලුවෙන් ඉහළට නැගීමත් අපූරු අත්දැකීමකි. පරිසරය වෙනස් වූ බව ඉහළට ළංවී ඇති බවට ඉගියකි. උස රූස්ස ගස් වෙනුවට ඇත්තේ මිටි වූ කුරු ගස්ය. ඒ තුරු හිඩැස් අතරින් කිලෝමීටර් ගණනක් ඈත සොඳුරු දසුන් පෙනී නොපෙනී යයි. ඈත කඳු වලල්ල වටා කැරකී අප ගමන ආරම්භ කළ යකඩ පාලම මතින් ඇදී ආ උඩරට මැණිකේ, පොඩි මැණිකේට ප්‍රථමයෙන් දුම්රිය ස්ථානයට ළඟා වීමට සැරසෙන්නීය.

ඉදිරියේ ඇති පියවර කිහිපය ත්‍රාසය භීතිය පිරි අත්දැකීමක් ලබාදීමට සූදානමින් සිටින සෙයකි. පය තැබිය යුත්තේ කඳු වැටිය අගිස්සෙනි. වම් පසින් අඩි දහස ඉක්මවූ භයංකාර ප්‍රපාතාකාර බෑවුමකි. පහළ නෙත ගැටෙන වාරයක් ගණනේ දෙපා පන නැති යන සෙයක් දැනේ. අප දෑස් පළමු බැලුම් ගලට ගොඩවීමට සූදානම්ය. මේ වනවිට හරියටම පැය 5 ක කාලයක් ගෙවී ගොසිනි.

අප දැන් සිටින්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 2054 උසකිනි‍. අංශක 180 ක පුළුල් පරාසයක් පුරා විහිදෙන අතිශය රමණීය දසුන් පෙරහර දෙපා දවන වේදනාව දියකර දමයි. තවමත් අප ගමනේ අවසානයට ළඟා වී නොමැත. දකුණු පයින් මහ ඝන වනයෙන් ඉහළට එසැවී ඇත්තේ කඳු වැටියේ උසම මුදුනය.

වනාන්තරයේ ආදිපත්‍ය සොඳුරු ලෙස තමන් අණසකට ගැනීමට නීල්, සුදු වන මල් සමත් වී ඇති සෙයකි. සීතා පේර ගස් පිරී තිබුණේ පල බරිනි.

තද දම් පැහැති කුඩා ගෙඩි සහිත කුරු ශාක පද්ධති තැනින් තැන දැකිය හැකි ය. වර්ණ වත් පත්‍ර සහිත කුරු ශාක ගල් පිළිම සේය. සෙලවීමට තල්ලුවක් දීමට තරම්වත් සුළඟක් හමන්නේ නැත. මන බන්ධන සොබා සිරිය අප තවත් වෙලා රඳවා ගන්නට දැඩි උත්සාහයක යෙදෙයි. පහළට එබුණු අප දුටුවේ පොඩි මැණිකේ, දුම්රිය ස්ථානය පසුකරමින් ගමන් අරඹා ඇති බවකි. රාත්‍රී තැපැල් දුම්රියේ පමාව අතිශය සොඳුරු දසුනත මිහිර අත්විඳීමේ අවස්ථාව අහිමි කර තිබුණි. සිතින් ඊට දොස් නගමින් දකුණු පසින් පහළට වැටී ඇති මග ඔස්සේ යළි ගමන් ඇරැඹුවෙමු.

ශාක වෙනස් වුවත් එකිනෙකා අතර අන්‍යොන්‍ය සබඳතා ගොඩනඟා ගනිමින් අඩි 3 – 4 වඩා උස් නොවූ අලංකාර යටි වියන් තනා අපව පිළිගන්නට පෙර මග බලා සිටී. ටික දුරක් පහළට ඇදී ආ මඟ එක වරම ඉද්ද ගැසුවා සේ ඉහළට ඇදී යයි. දණ ගාගෙන, හති දමමින් ආ දුෂ්කර කෙටි ගමනකින් පසු මුහුදු මට්ටමේ සිට මීටර් 2201 උස (අපගේ මැනුම් මීටරයේ සටහන් වූ පරිදි) මුදුනට ළඟා වන විට දහවල් 1.26 සටහන් වී තිබුණි. හතර අතට විහිදී ගිය අඩි පාරවල් අප අන්ද මන්ද කළේ මංමුළා කරමිනි. මුදුනේ සිට වම් පසින් පහළට වැටී ඇති මග අවසන් වන්නේ දෙවැනි බැලුම්ගල අසලිනි. කෙළින් ඉදිරියට ගිය විට තරමක් විශාල එළි මහනක් සහිත ගල්තලාවකි. එය 3 වැනි බැලුම් ගලය. දකුණේ මඟ මහ ඝන වනයට මඟ පෙන්වයි.

දුෂ්කර බාධක විඳගෙන කන්දක් මුදුනට ළඟා වූ විට හිතට දැනෙන ගැම්ම විස්තර කිරීමට වචන මදිය. නිතර පෙනෙන උස් ව‍ූ ගොඩනැගිලි වෙනුවට ඇත්තේ හරිත වර්ණ, නිලට නිලේ අහස සිඹින කඳු පංතිය, ඝෝෂාකාරී හඬට වඩා දැඩි නිහඬතාවකි.

කුරුලු ඇසකින් දැකිය හැකි දර්ශන පථය අංශක 180 කි‍. ගල මුදුනේ සිට පහළ බැලූ විට තණ බිස්සක සිටගන්නා සේ හැ‍ඟේ. අපිළිවෙළට තෘණ පොළොවේ කුරුටු ගෑවා සේ ඒ මේ අත විහිදෙන මං මාවත්ය. වැලි කැට ගොඩක් සේ තැන තැන කුඩා නිවාස, නගරය, ඉදහිට දුවන වාහන කූඹියකුගේ ගමන් විලාසය මතකයට කැන්දයි. හරිත තීරුවේ සිට රදැල්ල, උඩ රදැල්ල මතින් සැතපුම් සිය ගණනක් ඈත අනන්තය සොයා යන නොහික්මුණු සැහැල්ලු හිතට නැවතීමේ සීමාවක් නැති තරම් ය.

පාළු වී ගිය හුදෙකලා දුම්රිය ස්ථානය පැහැදිලිව දැනගත හැක්කේ මෙතැන් සිට පමණි. ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ සිට නැරඹිය හැකි සොඳුරු දසුන මේ වනවිටත් අපට අහිමි වී ගොසිනි. කොළඹින් හා බදුල්ලෙන් ගමන් අරඹන උඩරට මැණිකේ හා පොඩි මැණිකේ දැයේ දිගු ගමනේ දී එකිනෙකා මුහුණට මුහුණ හමුවන සොඳුරු මොහොත ඉහළ සිට දැකිය හැකි වීම මෙහි ඇති විශේෂත්වයකි.

විඳගත් සොඳුරු දසුන් එකින් එක වසා ගනිමින් හතර වටින් මීදුම් ගලා එන්නේ රස වින්දා ඇති කියන්න මෙනි. බියකරු බවත් ආරූඪ කරමින් මීදුම් කැටිවලට මුවා වෙමින් සිටින්නේ ගැබ්බර වැහි වලාකුළු ය. වැස්සක් ළඟ බව ඉවෙන් මෙන් දැනුණු බැවින් සට සට ගා ඇද හැලෙන තුහීන වැස්සේ තෙමෙමින් රැගෙන ආ පාන් පෙත්තක රස බැලීමට සූදානම් වූවා පමණි. ඉවසීම පුපුරා ගිය බර දරා ගත නොහැකි වැහි වලා එක්වරම අත්හැරියේ අපව දැඩි අපහසුතාවට ඇද දමමිනි.

රැගෙන ආ සියල්ල මලුවලට ඔබාගත් කණ්ඩායම යළි ගමන් ඇරැඹුවේ 2.37ට ය. ඉහළින් ගලා එන ජල පහර යා යුතු මඟ යට කරගෙන දෙගොඩ තළා යයි. පරිස්සමට තබන අඩිය නවතින්නේ තවත් අඩි කීපයක් පහළට ගොසිනි. ආ මඟ එකම මඩ ගොහොරුවකි. එක් සගයකු වට කීපයක් කැරැකී ගොස් නැවතුණේ උදව්වට අල්ලා ගත් ගසත් සමඟිනි.

වර්ෂාව එන්න එන්නම දරුණු ය. මුළු වන පෙතම එකම අඳුරු ගුහාවකි. හිසේ සිට ගලා එන වැහි වතුර දැන් පිහාටු මතින් රූටා යන්නේ දෑස්වල දැවිල්ල ඇති කරමිනි. තෙත බරට පහත් වූ තුරු පත් පීරා ආ අපට මග වැරැදි බව වැටහෙන විට කෙටිදුරක් පැමිණ අවසන් ය. නවමු අත්දැකීමත් එකතු කරන් පැරැණි සංඥා ක්‍රමයේ පිහිටෙන් සෙසු සගයන්ට එකතු වුණෙමු. අපේක්ෂා නොකළ මහ වැස්ස අප සොයා ආ ආශිර්වාදයක් සේ හැ‍ඟේ. හෝරා තුනකට ආසන්න කාලයක් පෙර අත් නොවිඳි අත්දැකීම් තුරුලු කරන් කෝවිල අසලින් එළියට ආවේ පුහුණුවක් අවසන් කළ කොමාන්ඩෝ භටයන් මෙන් මඩ ගාගෙනය.

ඡායාරූප - සම්පත් රාජපක්ෂ

සුදත් ධනුෂ්ක
silumina

Post Bottom Ad

Pages