ජාතික ස්නූකර් මේසයට අලුත් ශූරයෙක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-05

ජාතික ස්නූකර් මේසයට අලුත් ශූරයෙක්

Author(s): 
ෆවුස් මොහොමඩ්

දශක දෙකකට ආසන්න කාලයක් පුරා ජාතික ස්නූකර් මේසයේ අණසක පතුරුවාලු ප්‍රවීණ ක්‍රීඩක සුසන්ත බොතේජුගේ ආධිපත්‍ය අභියෝගයකට ලක් කරමින් ඉදිරියට පැමිණි යොවුන් ක්‍රීඩකයන් අතරින් පෙරේදා නිමාවට පත්වූ 66 වැනි ජාතික ස්නූකර් තරගාවලියේදී අලුත් ජාතික ශූරයකු යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ කුසලානය දිනාගත්තේය.

පසුගිය වසරේදි සිය 19 වැනි ජාතික ස්නුකර් කිරුළ දිනූ සුසන්ත අවසන් පූර්ව වටයේදී පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සිවුවැනි වරටත් සුදුසුකම් ලැබූ ඔටර්ස් ක්‍රීඩා සමාජයේ රයන් සෝමරත්න තරග වට 6-1කින් පරාජයට පත් කළ මුවර්ස් ක්‍රීඩා සමාජයේ එම්.එෆ්.එම්.ෆාහිම් මෙවර ජාතික ස්නූකර් ශූරතාවට හිමිකම් කීවේය.

මුවර්ස් ක්‍රීඩා සංගම් ශාලාවේ පැවැති මේ තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු වටය ලකුණු 66-35කින් ජයගැනීමට සෝමරත්න සමත්වූවත් අනතුරුව දෙවැනි වටයේ සිට ඔහුට දැඩි අභියෝගයක් එල්ල කළ ෆාහිම් ලකුණු61-49කින් දෙවැනි වටයත්, ලකුණු 64-30කින් තුන්වැනි වටයත් ජයගනිමින් තරග වට 2-1කින් පෙරමුණ ගත්තේය.

සිවුවැනි වටයේදී යළි තරගයට අවතීර්ණ වීමට ෆාහිම් සමග තියුණු සටනක නිරතවූ සෝමරත්න ලකුණු 67-60කින් එම වටය පරාජයට පත්වූ අතර පස්වැනි වටයේ ජයත් ලකුණු 72-12කින් ජයගනිමින් තරගයේ පාලනය සියතට ගැනීමට ෆාහිම් සමත්විය. අනතුරුව ලකුණු 65-56කින් 6 වැනි වටය ජයගත් ෆාහිම් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගත්තේ ලකුණු 75-26කින් 7 වැනි වටය ජයගනිමිනි.

තරග වට 11කින් සමන්විත අවසන් මහා තරගය වට 7ක් නිමාවට පත්වෙද්දී ෆාහිම්ගේ ජයග්‍රහණය තහවුරු වීමත් සමග නිමාවට පත්විය.

ශ්‍රී ලංකා බිලියඩ් සහ ස්නූකර් සංගමයේ මෙහෙයවීමෙන් පැවැති 66 වැනි ජාතික ස්නූකර් තරගාවලියේ ශූරයාට යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ කුසලානය හිමිවිය.

පසුගිය වසරේ ශූරයා වූ සී එන්ඩ්ලස් පිලේ සුසන්ත බොතේජු අවසන් පූර්ව වටයේදී වට 5-2කින් පරාජය කිරීමට රයන් සෝමරත්න සමත්වූයේ ලකුණු 42-30ක්, 33-48ක්, 39-61ක්, 59-1ක්, 51-50ක්, 68-43ක් සහ 58-32ක් වශයෙනි.

ෆාහිම් අවසන් මහා තරගයට එක්වූයේ අවසන් පූර්ව වටයේදි ලකුණු 66-1ක්, 26-60ක්, 33-75ක්, 60-59ක්, 72-24ක්, 15-63ක්, 87-18ක් සහ 64-10ක් ලෙස සිය ක්‍රීඩා සමාජයේහිම ආෂික් හුසේන් වට 5-3කින් පරදවමිනි.

තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා පැවැති තරගයෙන් ලකුණු 65-2ක් සහ 52-42ක් ලෙස ජයලැබූ සුසන්තට තුන්වැනි තැන හිමිවිය.

Post Bottom Ad

Pages