ජාතික බොක්සිං ශූරතාවලියේ ආධිපත්‍යය මාස් කණ්ඩායමට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-26

ජාතික බොක්සිං ශූරතාවලියේ ආධිපත්‍යය මාස් කණ්ඩායමට

Author(s): 
ෆවුස් මොහොමඩ්

දක්ෂතම ක්‍රීඩකයා සංජීව: ක්‍රීඩිකාව නදීකා

ජාතික බොක්සිං වළල්ලේ පසුගිය වසර කිහිපය පුරා සිය අණසක පතුරුවාලූ ශ්‍රී ලංකා යුද හමුදා බොක්සිං ක්‍රීඩා සමාජය දෙවැනි තැනට ඇද දමමින් 93 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ සමස්ත ශූරයන් බවට පත්වීමට මාස් ස්ලිම්ලයින් බොක්සිං ක්‍රීඩා සමාජය සමත්විය. කොළඹ රාජකීය විදුහල් බොක්සිං වළල්ලේ පසුගියදා පැවැති මේ තරගාවලියේ කාන්තා සමස්ත ශූරතාව දිනාගනු ලැබුවේ මාස් යුනිචෙලා කණ්ඩායම විසිනි.

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ මෙහෙයවීමෙන් පැවැති ජාතික බොක්සිං ශූරතාවලියේ කිලෝග්‍රෑම් 48 බර පන්තියෙන් තරග වැදුණු මාස් යුනිචෙලා කණ්ඩායමේ නදීකා පුෂ්පකුමාරි පොලිස් ක්‍රීඩා සමාජයේ රසාංගිකා ඉලංගරත්න පරාජය කරමින් රන් පදක්කමටත්, වසරේ ජාතික බොක්සිං ශූරිය බවටත් පත්වූවාය.

මේ අතර කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් තරග වැදුණු යුද හමුදා පිලේ සංජීව නුවන් නාවික හමුදා පිලේ ජී.අයි. බණ්ඩාර පරාජය කරමින් මෙවර තරගාවලියේ ජාතික බොක්සිං ශූරයා බවට පත්විය.

පිරිමි සමස්ත ශූරතාව දිනූ ස්ලිම්ලයින් කණ්ඩායම රන් පදක්කම් 4ක් සහ රිදී පදක්කමක් දිනාගත් අතර අනුශූරතාව දිනූ යුද හමුදා පිල රන් පදක්කම් 3ක් සහ රිදී පදක්කම් 4කට හිමිකම් කීවේය.

කාන්තා සමස්ත ශූරතාව දිනූ මාස් යුනිචෙලා පිල රන් පදක්කම් 6ක් දිනාගැනීමට සමත්විය.

පොලිස් ක්‍රීඩා සමාජයේ කේ.වී.එල්. එරංග සහ එම ක්‍රීඩා සමාජයේ රසාංගිකා ඉලංගරත්න තරගාවලියේ දක්ෂතම පරාජිත ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්හ.

මෙවර ජාතික බොක්සිං ශූරතාවලිය පැවැත්වූයේ ලබන වසරේ මාර්තු මාසයේ නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග අංශය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩික ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ තරගාවලියක් ලෙසටය.

බොක්සිං සංගමයේ හිටපු සභාපති ඕබ්රි පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙවර තරගාවලියට එම සංගමයේ වත්මන් සභාපති ඩයන් ගෝමස් මහතා ඇතුළු අමුත්තන් පිරිසක් එක්වූහ.

Post Bottom Ad

Pages