විඳවීම් පවා විටෙක සුන්දරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-03

විඳවීම් පවා විටෙක සුන්දරයි

මිහිරි ප්‍රියංගනි යාපා

මිහිරි ප්‍රියංගනි යාපා නම් වූ ඇය 2017 යෞවන සම්මාන උලෙළේ හා 2018 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය ලෙස සම්මාන ලබන්නීය. නාට්‍ය හා රංග කලාව පිළිබඳ උපාධිධාරිනියක වන මිහිරි ලාංකේය වේදිකාව, ගුවන් විදුලි, ටෙලි නාට්‍ය හා සිනමාව වෙනුවෙන් ස්වකීය හැකියා දායාද කළ තරුණ කලාකාරියකි.

 කුඩා කල සිට කලාවට තිබූ ළැදියාවද මේ හැබැ වෙලා තියෙන්නේ?

මම ඉගෙන ගත්තේ බදුල්ල මධ්‍ය මහා විදයාලයේ. ඉස්කොලෙදී මාව නාට්‍යයකට ගන්නවා කිව්වත් එදාට ඉස්කොලෙ යන්නෙත් නැහැ. කවදාවත් රඟපාලත් නැහැ. ඉස්කෝලෙන් පිට වුණාට පස්සේ පළාත් නාට්‍ය උලෙළ වල පෙන්වපු නාට්‍යවල රඟපෑවා.

 පුංචි කාලේ තිබුණු හීනය?

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කරන කාලේ අදහස තිබුණේ ගුවන් හමුදාවට යන්න. කොහොමත් ඒ කාලේ මම දඟ කොලු චරිතයක්. පිරිමි ළමයෙක් යාළු වෙන්න අහන්නත් බයයි. කොහොම ප්‍රතිචාර ලැබෙයිද කියලා විශ්වාස නැති නිසා.

 පාසැල් වේදිකාවට ගොඩ නොවූ ඔබ උසස් පෙළට නාට්‍ය හා රංග කලාව තෝරා ගන්නවා?

ඊට හේතුව අපේ පාසලේ නාට්‍ය හා රංග කලාව උගන්වපු විමල් තිලකරත්න ගුරුතුමා. ඔහු සුවිශේෂී ලක්ෂණ තිබූ ගුරුවරයෙක්. ළමයි එක්ක කුලුපඟ මිත්‍රයෙක් වගෙයි කටයුතු කළේ. ඔන්න ඔය නිසාම නාට්‍ය හා රංග කලාව හදාරන්න මට කැමැත්තක් ඇති වෙනවා.

 ප්‍රසිද්ධ වේදිකාට මං තැනෙන්නේ කොහොමද ?

ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වෙන්නෙ විශ්ව විද්‍යාලයේදී. නාට්‍ය හා රංග කලාව විෂයක් විදිහට හදාරන්නයි මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුළු වෙන්නේ.

 රංගන ශිල්පිනියක් වීම ගැන ගෙදරින් අකමැත්තක් තිබුණේ නැද්ද?

නැහැ. අප්පච්චි පාසල් යන කාලේ නාට්‍ය කරලා තිබුණා. ඒ නිසා මව්පියන්ගේ කිසිම අකමැත්තක් තිබුණේ නැහැ. මේ ගමනට ඔවුන් ලොකු පිටිවහලක් වුණා.

 ප්‍රසිද්ධ වේදිකාව ජයගන්න පන්නරය ලැබෙන්නේ කොහොමද ?

මම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට එන්නෙ 2005 දී. ඒ කාලෙත් නිළියක් වෙන අදහසක් තිබුණේ නැහැ. තව දෙවල් අධ්‍යයනය කරන්න උනන්දුවක් ඇති වුණා. ඒ දවස්වල කොළඹ කොහේ හරි නාට්‍යක් පෙන්වනවා. නිතරම නාට්‍ය බලන්න තරම් ආර්ථික මට්ටමක් තිබුණෙ නැහැ. වේදිකා නාට්‍යක් බලන්න රුපියල් තුන්සියයික් හොයා ගන්න බැරි වුණාම රුපියල් සියයක් අතේ තියන් නාට්‍ය ශාලාවේ දොර ළඟට වෙලා ඉන්නවා. හැමෝම ඇතුළට ගියාට පස්සේ. ටිකට් පරීක්ෂා කරන අය “හා හා ඇතුළට යනවලා“ කියනවා.

 ප්‍රථම රංගනයේ මතකය?

ප්‍රසන්නජිත් අබේසුරිය සර් කොළඹ විශ්ව විද්‍යාලයේ සංස්කෘතික මද්‍යස්ථානයේ නාට්‍ය වැඩමුළුවක් පවත්ව ගෙන ගියා. මම එතැනට යන්නෙත් නාට්‍ය හා රංග කලාව පිළිබඳ හැදැරීමේ ආසාවට. එතැනදි ප්‍රසිද්ධ නාටය්‍යකරුවකු වන ඊ. එම්. ඩී කාර්ලිගෙ “වන තාරාවි“ නාට්‍යයේ සහාය චරිතය රඟපාන්න මට අවස්ථාව ලැබෙනවා. එහි රංගනය වෙනුවෙන් 2006 වසරේ රාජය නාට්‍ය උලෙළේ හොඳම සහය නිළියගේ සම්මානය ලැබෙනවා..

 ඉන් පසු දිගින් දිගටම ඔබේ හැකියාව ඇගැයීමට පත් වෙනවා?

ඔව්. දිගටම මගේ රංගනය ඇගැයිම් හා සම්මානයට පාත්‍ර වෙන්න ගත්තා. ඒ අනුව 2012 රාජ්‍ය කෙටි නාට්‍ය උලෙළේ හොඳම නිළිය. 2015 රාජය නාට්‍ය උලෙළේ ජුරියේ ඇගයිම, 2017යෞවන සම්මානඋලෙළේ හොඳම නිළිය සහ 2018 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය ලෙස සම්මාන හිමි වෙනවා.

 ඔබ වෘත්තිය විදිහට රංගනය තෝරාගෙන නැහැ?

රංගනය වෘත්තිය කර ගන්න කැමැති වුණත් වේදිකාවේ රංගනයෙන් වෘත්තිය පසුබිමක් ගොඩනඟා ගන්න අපහසුයි. ලංකාවේ එහෙම කරන්න පුළුවන් මට්ටමක් නැහැ. මා ගුරුවෘත්තිය තොර ගෙන තියෙනවා . දැනට මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ නාට්‍ය හා රංගකලා ගුරුවරිය විදිහට සේවය කරනවා.

 නිළියක වීම ගැන පසුතැවීමක් තියෙනවාද?

නැහැ. නාට්‍ය ගැන අධ්‍යයනය කරන කෙනකුට වේදිකාව ඉතා වටිනා තැනක්. ඒ නිසා මම ඉතා කැමැත්තනේ රංගනයේ රැඳිලා ඉන්නෙ. ඉන් එහාට යන්න අවස්ථාවක් ලැබෙනවා නම් මම කැමැතියි. චිත්‍රපටයක හො ටෙලි නාට්‍යයක දැනෙන යමක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

 රංගන ශිල්පිනියක් නිර්මාණ තෝරා බේරා ගත යුතුද?

ලංකාව වගේ රටක එසේ කරන්න අපහසුයි. බොහෝ විට මට වේදිකාවේ චරිත ලැබුණේ දැන හැඳුනුම් කම් නිසයි. ජනප්‍රිය ධාරාවේ ටෙලි නාට්‍යවලට දක්ෂකම විතරක් නෙවෙයි රූපයත් බලපානවා. සම්භාව්‍ය ගනයේ නිර්මාණ වලට වේදිකාවේ රඟපාපු අයට චරිත ලැබෙනවා. සම්මානයක් ලැබීම ටෙලි නාට්‍යයක හො චිත්‍රපටයක රඟපාන්න ලැබෙන හේතුවක් වෙන්නෙ නැහැ. අවුරුදු කුමාරිය වගේ වුණා නම් ඔන්න ඒක සුදුසුකම් වෙනවා.. ටෙලි නාට්‍ය වලදි ප්‍රේක්ෂකයො බලාපොරොත්තු වෙන්නෙ ජනප්‍රිය චරිත.

 ජීවිතයේ වැඩිපුරම හිනා වුණු දවස මතකද?

නිළියක් විදිහට නාට්‍යක් කරලා ඒ නාට්‍ය සාර්ථකත්වයට පත් වුණු හැම මොහොතකම ඒ සතුට තිබුණා.

 ඔබ ජීවිතයේ ගරු කරන චරිත?

නිළියක් විදිහට ඉදිරියට එන්න ලොකු සහයක් ලැබුණේ ප්‍රසන්නජිත් අබේසුරිය මහතාගෙන්. මම අද ඉන්න තැනට විශාල පිටිවහලක් වූ ඔහු පිළිබඳ ලොකු ගරුත්වයක් තිබෙනවා. ඔහු අපිට තාත්තා කෙනෙක් වගේ චරිතයක්.

 ආදරය පිළිබඳ ඔබේ අර්ථකතනය?

විටෙක සුන්දරයි විටෙක අසුන්දරයි. තමා එකක්මයි ඒ සුන්දර අසුන්දර බව තීරණය කළ යුත්තේ. විඳවීම් පවා සමහර වෙලාවට සුන්දර වන අවස්ථා තිබෙනවා.

 අද ඔබ විඳින්නේ ඔබ සෙවූ ආදරයද?

පාසල් කාලයේ සහ විශ්ව විද්‍යාල කාලයේ සම්බන්ධතා තිබුණා. දැන් මගේ සැමියා සමග බලද්දි මට හිතෙනවා අර තිබුණු සබඳතා නැති වීම හොඳයි කියලා. ‘ඔයා නිළියක් නිසා කසාද බඳින්න මම කැමැති නැහැ‘ කියන අදහස කීප දෙනෙකුගෙන්ම මම අහලා තියෙනවා. දැන් මම විවාහ වී ඉන්නේ රුවන් මලිත් පීරිස් සමඟයි. ඔහු මේ ක්ෂේත්‍රයටම සම්බන්ධ මාව හොඳින් තේරුම් ගත් කෙනෙක්. ඒ ගැන සතුටුයි.

 ගැහැනියක ලෙස ඔබව රැක ගන්නේ කෙසේද?

විශ්ව විද්‍යාල කාලයේදී ප්‍රසන්නජිත් සර් ගේ අනු දැනුම ඇතිවයි මම බොහෝ නාට්‍ය වලට සම්බන්ධ වුණේ. මේ ක්ෂේත්‍රයේ සමහරු පාචිච්චි වෙනවා, තවත් අය අයතා සබඳතාවලට යොදා ගන්නවා යැයි අහලා තිබුණත් මට එවැනි අත්දැකීම් තිබුණේ නැහැ. එහෙම මට නොවුණේ පොඩි කාලේ ඉඳන් අර තිබුණු පිරිමි ළමයෙක් වගේ ස්වභාවය, මගේ හැසිරීම සහ විවාහ වුණාට පස්සේ මගේ සැමියත් මේ ක්ෂේත්‍රයේම වු නිසා වෙන්න ඇති.

 ඔබ ඔබට පනවා ගත් සීමා තියෙනවාද?

යම් යම් අවස්ථාවලදී සීමා පැනවෙනවා. සාම්ප්‍රධායික අදහස් තියෙනවා. ඒවා කඩා ගෙන යන්න ඕනේ කියලත් වෙලාවකට හිතෙනවා. එය අවස්ථාව අනුවයි තීරණය වෙන්නේ.

 ජීවිතයේ අතපසු වූ දේවල් ගැන පසුතැවීම් තියෙනවාද?

ජීවිතේ මේ වෙනකල් අතපසු වූ අහිමි වූ හෝ කරන්න බැරී වූ දේවල් ගැන පසුතැවීමක් නැහැ. ඒ අතපසු වූ දේවල් හොඳයි කියලා දැන් හිතෙනවා. එහෙම නොවුණා නම් මම අද ඉන්න තැනට එන්න ලැබෙන්නේ නැහැ.

 මිහිරිගේ ජීවිතයේ අමිහිරි අත්දැකීම් ?

උසස් පෙළින් පසු විද්‍යා පිඨ සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලබනවා. මට කැම්පස් යන්න ලකුණු තිබුණු නිසා එහිදි ඉන් ඉවත් කරනවා. එදා ජීවිතයේ උපරිමෙ දුක හිතුණු දවසක්. හැබැයි ඒ හීනය කඩා වැටුණු එක ගැන අද සතුටු වෙනවා. විද්‍යා පීඨ ගියා නම් මම කවදාවත් නිළියක් වෙන්නේ නැහැ.

 ඒ කඩා වැටීම් වලදී ඔබ යළි ගොඩ නැගෙන්නේ කොහොමද?

සමහර අත්දැකීම් ගෙදර අය එක්ක බෙදා ගන්න පුලුවන් කමක් තිබුණේ නැහැ. එහෙම වෙලාවට යාළුවෝ ළඟ ඉඳලා තියෙනවා. අධ්‍යාපනය සහ රංගන කටයුතුවලට අවධානය යොමු කරන කොට ඒ කඩා වැටීම් මඟහැරුනා. මගේ ජීවිතේ මූලිකම දේ මම නිළියක් මම ඇක්ට් කරනවා අනෙක් දේවල් අදාළ නැහැ කියලා හිතනකොට ඒ කාල සීමාවේදී දරා ගන්න පුලුවන්. ආයිත් පසු තැවීමක් දැනෙද්දි රංගනය හා සම්බන්ධදේවලට යොමු වෙද්දි ඒ පසු තැවීම් මඟහරවා ගන්න පහසුයි.

 හෙට දවසේ ඔබේ දැක්ම?

ගැහැනියක්, රංගන ශිල්පිනියක් විදිහට සමාජයට යම් මෙහෙවරක් කරමින් ඉස්සරහට යන්නයි මගේ බලාපොරොත්තුව.

සටහන-ධම්මිකා සුරංජි පතිරන

Post Bottom Ad

Pages