සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-23

සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල

Author(s): 
ෆවුස් මොහොමඩ්

පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් ඉහළට ඔසවා තබන දැවැන්ත මෙහෙයුමක තවත් පියවරක්

 ශ්‍රී ලංකාවේ නොම්මර එකේ ජාතික සති අන්ත ඉංග්‍රීසි පුවත්පත ‘සන්ඩේ ඔබ්සර්වර්’ සමග මෙරට නොම්මර එකේ ජංගම දුරකතන ජාලය ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් එකමුතුවෙන් පාසල් ක්‍රිකට් තරග බිමේ නොම්මර එකේ ක්‍රිකට් තරු තෝරන ‘සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා‘ සම්මාන උළෙලේ 41 වැනි පියවරේ ඇරැඹුම සටහන් වෙයි.

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඉමහත් උනන්දුවෙන් හා ආසාවෙන් යුතුව බලා සිටින මේ සම්මාන උළෙල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දොරටුවට තට්ටු කිරීමට ලැබෙන කදිම අවස්ථාවකි. දශක 4ක් පුරා ජාතික කණ්ඩායමට කුසලතා සපිරි ක්‍රීඩකයන් හඳුන්වා දෙන ‘සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මාන උළෙලට මෙවරත් මොබිටෙල් දායකත්වය ලැබෙන්නේ අඛණ්ඩව 12 වැනි වරටය.

වසර 1978/79 වකවානුවේ ආරම්භ කළ පළමු හා ගෞරවාන්විත ඔබ්සර්වර් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල එදා මෙදා තුර බිහිකළ විශිෂ්ට තරු මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ජයගෙන හමාරය. ඉන් ඇතැම් ක්‍රීඩකයන් වර්තමානයේදිත් ක්‍රිකට් පිටිය දීප්තිමත් කරමින් සිටී.

ඒ අතර ඉදිරියෙන්ම පසුවන්නේ ශ්‍රී ලංකා පිලේ වත්මන් නායක දිනේෂ් චන්දිමාල්ය. කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස් ජාතික කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයෝ වෙති. ජාතික ක්‍රිකට් පිලේ එළිපත්තේ සිටින චරිත් අසලංක පසුගියදා එංගලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට නම් කළ අතර හෙට අනිද්දා ජාතික පිලේ දීප්තිමත් තරුවක් බවට පත්වනු නිසැකය.

ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා මංගල කුසලානය අතට ගත් රන්ජන් මඩුගල්ලේ වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන තීරක වරයා ලෙස ජාත්‍යන්තර කීර්තිය දිනා සිටින්නේ වසර ගණනාවක් ජාතික පිලේ විශිෂ්ට දස්කම් දැක්වීමෙන් පසුවය. අවසන් වරට පසුගිය වසරේදී ‘සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානයෙන් පිදුම් ලැබුවේ ත්‍රිත්ව විදුහලේ හසිත බෝයගොඩය.

එදා මෙදා තුර මේ උත්කර්ෂවත් සම්මානයෙන් පිදුම් ලැබූ ක්‍රීඩකයන් අතරින් දෙවතාවක්ම ඊට හිමිකම් කීමට සමත්වු විරල ක්‍රීඩකයෝ ද වෙති. පළමු වරට එවැනි භාග්‍යයක් ලැබුවේ 1996 එක්දින ලෝක කුසලානය ශ්‍රී ලංකාවට හිමිකරගැනීමට නායකත්වය ලබාදුන් අර්ජුන රණතුංගය. අනතුරුව රොෂාන් මහනාම, තිලාන් සමරවීර, ළහිරු පීරිස්, භානුක රාජපක්ෂ සහ චරිත් අසලංක එම වාසනාව උදාකර ගත්හ. පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දස්කම් ඇගැයීමට ලක් කරමින් ඔවුන් ඉහළට ඔසවා තැබීමට සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්) දශක 4ක් පුරා සිදුකරන මේ දැවැන්ත මෙහෙයුමට ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම දායකත්වය ලබාදෙන්නේ ජාතික කර්ත්‍යවයක වටිනාකම නිවැරැදිව අවබෝධ කරගනිමිනි. මේ උදාර කාර්යභාරයට උරදෙන තවත් පිරිසක් වන්නේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයයි.

පසුගිය වසරේ සම්මාන උළෙලේදි අනාවරණය කළ වැදගත්ම කාරණාව වූයේ ලබන වසරේ සිට පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ දස්කම් ද ඇගැයිමට ලක් කරමින් සම්මානයට පාත්‍ර කරන බවය. එය මෙරට බාලිකා පාසල් අතර වැඩි උනන්දුවක් හා පිබිදීමක් ඇති කිරීමට ඉවහල් වී තිබේ. ජාතික කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තු, සුපිරි තුන්ඉරියව් ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන වැනි ලෝක පූජිත ක්‍රීඩිකාවන් මෙන් ජාත්‍යන්තර පිටියේ පෙරළිකාර දස්කම් දැක්වීමට සමත් ක්‍රිකට් ක්‍රීඩිකාවෝ රැසක් ඉදිරියේදි බාලිකා ක්‍රිකට් සම්මාන උළෙලෙන් හඳුන්වා දෙනු ඇත.

Post Bottom Ad

Pages