ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරගය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-07

ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරගය

කෝඩුකාර ෆෝක්ස්ගේ පිතිහරඹයෙන් එංගලන්ත පළමු ඉනිම ගොඩ නැගේ

ප්‍රබල මුල්පෙළ පිතිකරුවන් පස්දෙනකුම දිවා ආහාරයට පෙර ලකුණු 103ක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් සමත්වූවත් සිය මංගල ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ බෙන් ෆෝක්ස්ගේ විශිෂ්ට පිතිහරඹය මතින් ඉනිම ගොඩනැගූ සංචාරක එංගලන්ත පිල ඊයේ ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ දෙපිල අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවනවිට සිය පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 321ක් ලබා ගැනීමට සමත්විය. එංගලන්ත ඉනිමේ ගැලවුම්කාරයා බවට පත්වූ ෆෝක්ස් නොදැවී ලකුණු 87ක් ලබා සිටින අතර ජැක් ලීච් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 14කි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සංචාරක එංගලන්ත පිල දිවා ආහාරය සඳහා තරගය නතර කරද්දි ලකුණු 113කට කඩුලු 5ක්ම බිඳ වැටී දැඩි පසුබෑමකට ලක්වී සිටියත්, දිවා ආහාරයෙන් පසුව ජොස් බට්ලර් සමග එක්වූ ‍ෆෝක්ස් ශ්‍රී ලංකා කණ්ඩායම අත තිබූ තරගයේ වාසිය උදුරා ගත්තේ 6 වැනි කඩුල්ලට ලකුණු 61ක සම්බන්ධතාවක් ගොඩ නගමිනි. දිවා ආහාරයට පෙර තරගයේ පාලනය සියතට ගැනීමට සමත්වූ ශ්‍රී ලංකා පිලට තේ පානයට තරගය නතර කරනවිට දවාලීමට හැකිවුයේ ඩිල්රුවන්ගේ තුන්වැනි ගොදුර බවට පත්වූ බට්ලර්ගේ කඩුල්ල පමණි.

ඊයේ උදෑසන වැඩි වේලාවක් යාමට පෙර දඟ පන්දු යවන්නන්ට වාසිදායක තත්ත්වයක් උදා කළ ගාලු තණතීරුවේ ඉතා පරිස්සම් සහගතව පිතිහරඹයේ නිරතවූ මේ කෝඩුකාර එංගලන්ත පිතිකරුවා තේ පානය සඳහා තරගය නතර කරනවිට එංගලන්ත පිලේ ලකුණු පුවරුව 199ක් දක්වා ඇදගෙන ගියේ නොදැවී ලකුණු 49ක් රැස් කරමිනි.

තේ පානයෙන් පසුව සිය මංගල අර්ධ ශතකය වාර්තා කළ ෆෝක්ස් අනතුරුව සෑම් කරන් සමග එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 88ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. එංගලන්ත පිල වැටී සිටි ආගාධයෙන් ගොඩගත් මේ පිතිකරු යුගලය මුළු ලකුණු සංඛ්‍යාව 252 දක්වා ඉහළ දැමූහ. ෆෝක්ස්ට අනගි සහයක් ලබා දුන් කරන් ලකුණු 48ක් රැස් කළ අතර ඊට හතරේ පහරක් සහ හයේ පහර 3ක් ඇතුළත් කරගත්තේය.

අනතුරුව පිටියට පිවිසි ආදිල් රෂීඩ් වේගවත් පිතිහරඹයක නිරතවෙමින් පන්දු 38කදී ලකුණු 35ක් රැස් කළ අතර ෆෝක්ස් සමග එක්ව එංගලන්ත පළමු ඉනිම ලකුණු 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේ 8වැනි කඩුල්ලට ලකුණු 54ක සම්බන්ධතාවක් ද ගොඩ නගමිනි. මුළු ලකුණු සංඛ්‍යාව 306දී රෂීඩ් දැවීගියේ ඩිල්රුවන්ට සිවුවැනි කඩුල්ල අත්කර දෙමිනි.

පසුගිය දින දෙකක් තුළ ගාල්ලට මහ වැසි පතිතවීම නිසා පෙරේදා රාත්‍රිය පුරා මුළුමනින්ම වසා තිබූ ගාලු තණතිල්ලේ වැසි ආවරණ ඊයේ උදෑසනම ඉවත් කළත් තරගය ආරම්භ කරන අවස්ථාව වනවිටත් හිරු රශ්මියක් පෙනෙන්නට නොතිබිණි. කාලගුණයේ වාසිය හා අවාසිය කරපින්නාගෙන තරගයට පිවිසියත් දෙපිලටම ඊයේ දිනය පුරාම කාලගුණයෙන් බාධාවක් සිදු නොවිනි.

එක් වේගපන්දු යවන්නකුත්, දඟ පන්දු යවන්නන් තිදෙනකුත් සමග එංගලන්ත පිතිහරඹ පෙළගැස්මට අභියෝග කළ ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල්ගේ බලාපොරොත්තු එංගලන්ත ඉනිමේ තුන්වැනි ඕවරයේ පිට පිට පන්දු දෙකකදී ඉටුකරමින් මංගල ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ රොරී බර්න්ස් ලකුණු 9කටත්, අනතුරුව මුයින් අලි ලකුණු ලැබීමට පෙරත් දවාලීමට සුරංග ලක්මාල් සමත්වීමත් සමග තරගයේ වාසිය ශ්‍රී ලංකා පිල දෙසට හැරිණි.

සුරංග ලක්මාල් සමග නව පන්දුවෙන් පන්දු යැවීම ආරම්භ කළ දඟ පන්දු යවන ඩිල්රුවන් පෙරේරා ඕවර 3කට පසුව නතර කළ නායක චන්දිමාල් අනික් අන්තයෙන් පන්දු යැවීමට අකිල ධනංජය කැඳවූ අතර ඕවර 12කට පසුව ලක්මාල් වෙනුවට පන්දු යැවීමට රංගන හේරත් කැඳවද්දී ප්‍රේක්ෂකයෝ අත්පොළොසන් දීමට පටන් ගත්හ.

සිය සගයන්ගේ ගරු බුහුමන් මැදින් ඊයේ උදෑසන පිටියට පිවිසි රංගන හේරත් සිය පළමු ඕවර 2දී එතරම් පීඩනයක් එල්ල නොකළත් තුන්වැනි ඕවරයේ පළමු පන්දුවෙන් එංගලන්ත පිලේ නායක ජෝ රූට් දවාලීමට සමත්විය.

කීටන් ජෙනිංගස් සමග තුන්වැනි කඩුල්ලට ලකුණු 62ක සම්බන්ධතාවක් ගොඩනගා සිටි එංගලන්ත පිලේ නායකයාගේ කඩුල්ල බිඳ දැමීමත් සමග ගාල්ල ක්‍රීඩාංගණයේ සිය ටෙස්ට් කඩුලු 100සම්පූර්ණ කරමින් රංගන හේරත් ටෙස්ට් ක්‍රිකට් පොතට තවත් වාර්තාවක් එකතු කරගත්තේය.

අනතුරුව බෙන් ස්ටෝක්ස් සමග එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 98 දක්වා ඉහළ දැමූ කීටන් ජෙනිංග්ස් දවාලීමට ඩිල්රුවන් සමත්විය. කෙසේවෙතත් ඊට පෙර ඔහු ලකුණු 26ක් ලබා සිටියදී දවාලීමට තිබූ අවස්ථාව මඟහැරුණේ අකිල ධනංජයගේ පන්දුවකට දුන් උඩ පන්දුව ස්ලිප් හී සිටි ඇන්ජෙලෝ මැතිව්ස් අතින් ගිලිහීයාම නිසාය.

ඩිල්රුවන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් බෙන් ස්ටෝක්ස් දැවී ගියේ දිවා ආහාරයට ඕවර පහකට පෙරය.

අද තරගයේ දෙවැනි දිනයයි.

ෆවුස් මොහොමඩ් ගාල්ල ක්‍රීඩාංගණයේ සිට...

 

 

Post Bottom Ad

Pages