ශ්‍රී ලංකා පිතිකරුවෝ එංගලන්ත දඟ පන්දුවට දණ නමති - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-19

ශ්‍රී ලංකා පිතිකරුවෝ එංගලන්ත දඟ පන්දුවට දණ නමති

Author(s): 
ෆවුස් මොහොමඩ්

ජැක් ලීච් ප්‍රමුඛ එංගලන්ත දඟපන්දු යවන්නන් හමුවේ දණ නැමූ ශ්‍රී ලංකා පිලේ පිතිකරුවෝ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ඊයේ නිමාවට පත්වූ දෙපිල අතර දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 57ක පරාජයක් උරුම කරගනිමින් වසර 17කට පසුව ශ්‍රී ලංකා භූමියේදි ටෙස්ට් තරගමාලාවකින් පරාජයට පත්වූහ. තරගය නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිම ලකුණු 243කට සීමා කරමිනි.

ඊයේ උදෑසන කඩුලු 3ක් අතැතිව ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 75ක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 3ම ඕවර අටකුත්, පන්දු 4කදී බිඳ දැමූ සංචාරක එංගලන්ත පිල තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 2-0කින් පෙරමුණ ගනිමින් 2012 වසරෙන් පසුව ආසියානු භූමියේදී පළමු ටෙස්ට් තරගමාලා ජයග්‍රහණයත් වාර්තා කරගත්තේය. එංගලන්ත පිලේ නායක සුපිරි පිතිකරු ඇලෙස්ටෙයාර් කුක් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව ඔවුන් සහභාගි වූ පළමු ටෙස්ට් තරගමාලාව ද මෙය වූ අතර පල්ලෙකැලේ පිටියේ දී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළ පළමු අවස්ථාව ද මෙය විය.

දඟපන්දු යවන්නන්ගේ කෙළිබිමක් බවට පත් වූ පල්ලෙකැලේ පිටියේ දී අයහපත් කාලගුණය නිසා පෙරේදා තරගය නතර කරනවිට කඩුලු 7ක් දැවී ලකුණු 226ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 3ම ඊයේ උදෑසන බිඳ වැටුණේ මිනිත්තු 32ක් ඇතුළතදීය. ඊයේ දිනයේ ශ්‍රී ලංකා පිලේ එකම බලාපොරොත්තුව බවට පත්ව සිටි නිරෝෂන් දික්වැල්ලත්, නායක සුරංග ලක්මාලුත් එකම ඕවරයකදී දවාගත් මුයින් අලී එංගලන්ත පිලේ ජයග්‍රහණය ඉක්මන් කළ අතර අවසන් කඩුල්ල ලෙස මාලින්ද පුෂ්පකුමාර දවාගත් ජැක් ලීච් ටෙස්ට් තරග බිමේ සිය මංගල කඩුලු 5 සම්පූර්ණ කර ගත්තේය.

වසර 2001දී ශ්‍රී ලංකාවේ පැවැති තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 2-1කින් ජයගැනීමෙන් පසුව මෙතෙක් අවස්ථා 3කදී මෙරට සංචාරය කළ එංගලන්ත පිල ටෙස්ට් තරගමාලා 3කට ක්‍රීඩා කළ අතර ඉන් 2ක්ම පරාජයට පත්විය. ඉතිරි තරගමාලාව නිමාවට පත්වූයේ ජයපරාජයෙන් තොරවය.

පෙරේදා උදෑසන එංගලන්ත දෙවැනි ඉනිමට තවත් ලකුණු 22ක් එකතුවෙද්දී දෙවැනි නව පන්දුව ගත් විගසම ඩිල්රුවන් පෙරේරා විසින් යවන ලද පළමු පන්දුවේදීම නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 301ක ඉලක්කයක් ලබාදෙමිනි.

දින දෙකක් පුරා පිතිහරඹයේ යෙදීමේ අභියෝගයත් කරපින්නාගෙන දෙවැනි ඉනිම ඇරැඹුවත් ලකුණු අහේනියකට ගොදුරු වී සිටි කෞෂාල් සිල්වාත්, ධනංජය සිල්වා හා කුසල් මෙන්ඩිස්වත් පිට පිට ඕවර 3කදී ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ ජැක් ලීච් වේලාසනින්ම ශ්‍රී ලංකා පිලේ බොටුව සිර කර දැමුවේ පළමු කඩුලු 3ම ලකුණු 26ක් ඇතුළත බිඳ දමමිනි.

එහෙත් දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට සිවුවැනි කඩුල්ලට ලකුණු 67ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 93 දක්වා ඉහළ දැමූ දිමුත් කරුණාරත්න සහ ඇන්ජෙලෝ මැතිව්ස් බලාපොරොත්තු ඉහළට ඔසවා තැබූහ. මේ තරගයේ පිට පිට දෙවැනි අර්ධ ශතකයක් වාර්තා කර සිටි කරුණාරත්නත්, ගාලු තරගයේදී ඉනිම් 2දීම අර්ධ ශතක රැස් කළ ඇන්ජෙලෝත් එංගලන්ත පිලේ දඟ පන්දු යවන්නන්ට ඉතා පරිස්සමින් මුහුණු දෙමින් සිවුවැනි කඩුල්ලට ගොඩනැගූ සම්බන්ධතාව දිවා ආහාරයෙන් පසුව තවත් ලකුණු 10ක් එක්වෙද්දී බිඳ වැටුණේ ඉතා අවාසනාවන්ත ලෙස කරුණාරත්න දැවීයාමෙනි.

ඉතා හොඳින් පන්දුවට පහරදෙමින් සිටි කරුණාරත්න ලකුණු 57ක් රැස් කරමින් සිටියදී ආදිල් රෂීඩ්ගේ පන්දුවකට ස්වීප් පහරික් එල්ල කළේය. ඒ මොහොතේ ෂෝර්ට් ලෙග් කලාපයේ සිටි කීටන් ජෙනිංග්ස් තමා දෙසට වේගයෙන් පැමිණි පන්දුව ඩැහැ ගැනීමට උත්සාහ කළ අතර එය ඔහුගේ අතෙහි වැදී කඩුලු රකින බෙන් ෆෝක්ස් උඩපන්දුවක් ලෙස රැක ගත්තේය.

ශ්‍රී ලංකා පිලේ ඉරණම අතට ගත් මැතිව්ස් මේ තරගමාලාවේ තුන්වැනි අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 75කිනි. කණ්ඩායමේ ජයග්‍රහණය රඳා පවතින්නේ තමා කඩුල්ලේ රැඳී සිටින තුරු බව අවබෝධ කරගත් ඔහු පස්වැනි කඩුල්ලට රොෂේන් සිල්වා සමග ලකුණු 73ක් එකතු කරමින් ක්‍රම ක්‍රමයෙන් ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන යාමට පටන් ගත්තේ එංගලන්තයට පීඩනය වැඩි කරමිනි. එහෙත් මුළු ලකුණු සංඛ්‍යාව 176 දී විනිසුරු තීරණ යළි විමසීමේ ක්‍රමවේදයෙන් ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රොෂේන් දවාගත් එංගලන්ත පිල තේ පානයට පෙර ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙක් ආපසු හරවා යැව්වේය.

තේ පානයෙන් පසුව යැවූ පළමු ඕවරයේ තුන්වැනි පන්දුවෙන්ම මැතිව්ස් ලකුණු 88කට දවාලූ එංගලන්තය තරගයේ වාසිය එහෙම පිටින්ම උදුරා ගත්තේය. ශ්‍රී ලංකා පිලේ එකම බලාපොරොත්තුව වූ මැතිව්ස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීමට මුයීන් අලී සමත්වීමෙන් පසුව එංගලන්ත පිලේ ක්‍රීඩකයන් තරගයට අවතීර්ණ වූයේ නව පණක් ලැබුවා සේය. තේ පානයෙන් පසුව තරගය උඩුයටිකුරු කළ එංගලන්ත පිල මැතිව්ස්ගෙන් පසු පැමිණි ඩිල්රුවන් පෙරේරාත් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැව්වේ ඕවර 3කුත්, පන්දු 2ක් ඇතුළතදීය.

සටන්කාමී ශතකයකින් සිය දෙවැනි ඉනිම වර්ණවත් කළ එංගලන්ත පිලේ නායක ජෝ රූට් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.

දෙපිල අතර තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය ලබන 23වැනිදා එස්.එස්.සී. පිටියේදී ආරම්භ වේ.

 

Post Bottom Ad

Pages