කේන්තිය මට්ටු කරන හෙළ වෙදකමේ විස්මය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-17

කේන්තිය මට්ටු කරන හෙළ වෙදකමේ විස්මය




“කේන්ති යාම” යනු ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව සෑම අයෙකුටම අවස්ථානුකූලව ඇතිවන මානසික තත්වයකි. නමුත් කිසිවෙකුට සාමාන්‍ය මට්ටමෙන් ඔබ්බට ගොස් “කේන්තිය” මතු වන්නේ නම් එය රෝගී තත්වයක් ලෙස සැළකිය යුතුය. ඒ අනුව “කේන්තිය” ඇති වීම සඳහා අදාළ පුද්ගලයාට බලපාන මූලිකම හේතුව සොයාගැනීමට කටයුතු කිරීම වැදගත්ය. ඒ සඳහා අවස්ථාව ඇත්තේ බාහිරව වෙසෙන වෛද්‍යවරයෙකුට වඩා කේන්ති යන පුද්ගලයාගේ සමීපතමයින් වෙතය.

නිතර කේන්ති යන්නේ නම් “හරහට පොල්ලක් බැඳගෙන- ළිඳට පනින ලෙස” අතීතයේදී වැඩිහිටියන් කියනු අප අසා තිබේ. නැතහොත් කොහිල දඬු කටු පිටින් කන්නට දිය යුතු බවද කතාවට කියනු අසා තිබේ. එහෙත් අද වන තුරු “කේන්තිය” නිසා කොහිල කටු පිටින් කෑ අයෙකුවත්, හරහට පොල්ලක් බැඳගෙන ළිඳේ පැන්න අයෙකුවත් දැක හමුවී නැතත් කේන්තිය නිසා දිවි නසා ගත් අය ගැනත්, අනෙකෙකුගේ දිවි නැසූ අය ගැනත්, හදිසි ආඝාතයන්ට, අංහභාග තත්වයන්ට, වෙනත් අනතුරු වලට පත්වූ අය ගැනත් බොහෝ කතා අසා තිබේ.

මෙවැනි භයානක තත්වයන්ට මං පෑදිය හැකි නිසාවෙන්, සමාජයේ අප සමඟ වෙසෙන පුද්ගලයින්ට “කේන්තිය” වැනි රෝග තත්වයන් පවතී නම් ඔහුව හෝ ඇයව නිසි ප්‍රතිකාර සඳහා යොමු කරවීම අපගේ වගකීමක් ලෙස සිතන්නට හුරු පුරුදු විය යුතුය.

“කේන්තිය” නිසා අවශේෂ රෝග ගණනාවක් ඇතිවිය හැකි අතර, තමන්ට පවතින වෙනත් රෝග තත්වයන් නිධන්ගතව පැවැතීම හෝ බාහිර සමාජයට හෙළි කිරීමෙන් වැළකී දරා සිටීමෙන්ද කේන්තිය ඇතිවිය හැකිය.

අධික කේන්තිය නිසා මුළින්ම ඇතිවන්නේ මානසික ආතතියයි. තමන්ගේ සාමාන්‍ය වැඩකටයුතු අඩාලවීම එහි ප්‍රතිඵලයයි. ඉන්පසුව ක්‍රමයෙන් සුව නොවන හිසරදය, අම්ල පිත්තය, මලබද්ධය, අජිර්ණ වැනි තත්වයන්ද, හදිසි ආඝාත අංශභාග තත්වයන්ද, හෘදයාබාධ ද පාලනය කර ගත නොහැකි අධික කේන්තිය හේතුවෙන් පුද්ගලයෙකුට වැළඳිය හැකිය. එවැනි අවස්ථාවක වෛද්‍ය ප්‍රතිකර ලබාදිය යුත්තේ කේන්ති යාම වෙනුවෙන් මිසෙක, පසුව පල කරන රෝග ලක්ෂණයන්ට නොවේ. නමුත් කේන්තිය නිසා ආඝාත, අංශභාග හෝ හෘදයාබාධ තත්වයන් පළමු රෝග ලක්ෂණය ලෙස මතුවූ අවස්ථාවක දී නම් රෝගියාගේ ඉදිරි ජීවන තත්වයම කඩා වැටීමකට ලක්වීමට ඉඩ තිබේ.

භගන්දරා තත්වයන්, මලබද්ධය, අම්ලපිත්තය, හර්නියා තත්වයන්, දත් කැක්කුම්, හිසරදය වැනි රෝග තත්වයන් දිගින් දිගටම පවතින රෝගියෙකුට අධිකව කේන්ති යා හැකිය. මෙවන් අවස්ථාවක කේන්තියට හේතුවන රෝග ලක්ෂණයන්ට ප්‍රතිකාර කළ යුතුය. එවිට අධික ලෙස කේන්තියාම වළක්වා ගත හැකිය.

දවසකට පැය හයක් වත් ලැබිය යුතු නින්ද නොලැබීම, රාත්‍රියේ ලබන නින්ද වෙනුවට දහවල නිදා රාත්‍රියේ වැඩ කරන්නට සිදුවීම, අධික ලෙස වෙහෙස වී වැඩකරන්නට සිදුවීම, නිතරම අවවාද, අපවාද, චෝදනා ආදියට ලක් වන්නට සිදුවීම, අපහසු ඇඳුම් අඳින්නට සිදුවීම, මළමුත්‍ර වේගයන්, කුසගිනි දරන්නට සිදුවීම, රුචි නොවන සංගීත ඛණ්ඩ, රූප ආදිය නිරන්තරව විඳින්නට ලැබීම වැනි කාරණා මත කේන්තිය ඇතිවිය හැකිය. පෙර දැක්වූ තත්වයන්ට අමතරව කේන්තිය ඇතිවීම කෙරෙහි ප්‍රධානවශයෙන් බලපාන්නේ මානසික ආතතිය සහ පීඩාවය. එහෙත් යමෙකුගේ හැසිරීම් හෙවත් විහරණ තත්වයන්, ආහාරපාන ආදියද කේන්තිය ඇතිවීම කෙරෙහි බලපාන්නට ඉඩ තිබේ.

දිරවීමට අධික වේලාවක් ගතවන බර ආහාර නිතර ගැනීම ද වාත කෝපය ඇති කරවන පිශ්ඨය අධික ආහාර වර්ගද ගැනීමෙන් කේන්ති යාමේ තත්වයන් පුද්ගලයෙකු තුළ මතුවිය හැකිය. එසේම අධික ලෙස දුරු මිරිස් වර්ග යෙදූ ආහාර, අධික ලෙස උණුසුම් සහ ශිතකල ආහාර වර්ග ආදියද කේන්තියාම, මානසික ආතතිය සහ ආවේගය ඇති කරන ආහාර ලෙස සැළකිය හැකිය. තවද කිරිපිටි වැනි කෘතිම පාන වර්ග නිරන්තර භාවිතා කිරීමද කේන්තිය වැනි රෝග තත්වයන් ඇතිවීමට බලපෑම් කරයි. කිරිපිටිවල පවතින අධික මේදය බොහෝ දෙනෙකුට දිරවීමේ අපහසුතා ඇති කරන අතර එමගින් මානසික ආතතිය ඇතිවීමේ හැකියාව වැඩිය. ඒ වෙනුවට වඩාත් සුදුසු වන්නේ එළකිරිය. කඩල, කොස්, මඤ්ඤොක්කා වැනි අල වර්ග නිතර කෙන්ති යන පුද්ගලයින් සඳහා සුදුසු නොවේ.

කේන්තිය සඳහා ප්‍රතිකාරයක් ලෙසද, අවදානමෙන් මිදීම සඳහා නීරෝගී පුද්ගලයින්ට ද වඩාත් සුදුසු වන්නේ කෙඳි සහිත ආහාරයන්ය. කොහිල දඬු, කෙසෙල්මුව, පුහුල්, කුරක්කන්, එළවළු වර්ග, කෙසෙල් වැනි පලතුරු ආදියේ කෙඳි සහිත භාවය හෙවත් තන්තුමය ගතිය වැඩිය. ඉදුණු සීනි කැකිරි, ආනමාළු කෙසෙල් පුහුල් ආදිය පළතුරක් ලෙස හෝ කැමැති ආකාරයකින් ආහාරයට ගැනිමද, කේන්තිය ඇතුළු මානසික ආතතින් පලවා හැරීමට සමත්ය.

දේශිය වෙදකමේදී කේන්තිය පාලනය කිරීම සඳහා වඩාත් සුදුසු ආහාර ලෙස දක්වන්නේ කැඳ වර්ගයන්ය. හාතාවාරිය කැඳ, වැටකෙයියා දළු සහ ගොබ යෙදූ කැඳ, කිතුල් ගොබ කැඳ සහ පොල් ගොබ කැඳ නිතර කේන්ති යන රෝගීන් සඳහා වඩාත් සුදුසු කැඳ වර්ගයන්ය. කේන්තිය රෝගයක් ලෙස ඇති අයටත්, එවැනි අවදානමකින් මිදීමට අපේක්ෂා කරන අයටත් මොනරකුඩුම්බිය, හීන්බෝවිටියා, කොහිල දළු ආදියද කැඳ ලෙසත්, මැල්ලුම් ලෙසත්, සම්බෝල ලෙසත් ආහාරයට ගත හැකි ය.

නිතර කේන්ති යන රෝගීන් සඳහා ඇටිකෙහෙල් ආහාරයට ගැනීමත්, ඇටි කෙහෙල් යුෂ පානය කිරීමත් ඉතාමත් සුදුසුය. ඉදුණු ඇටි කෙහෙල් ගෙඩි ගෙන, ඒවා සිහින්ව කපා, ඇට ඉවත් කර යාන්ත්‍රිකව හෝ අතින් මිරිකා සීනි සහ වතුර පමණට යොදා ගැනීමෙන් ඇටිකෙහෙල් යුෂ පානයක් ලෙස සකසා ගත හැකිය. රණවරා, පිටවක්කා, ඉරමුසු, ලුණුවිල තනි තනිව තම්බා පානයක් ලෙස නිතර භාවිතා කිරීම මඟින් කේන්තිය පාලනය සඳහා මානසික උත්තේජනයන් ලබාදේ.

දැනටමත් “කේන්ති යාමේ” රෝගීන් සඳහා අනිවාර්යය අවශ්‍යතාවයක් ලෙසද, එවැනි රෝගයන් වළක්වා ගැනීමේ අරමුණෙන් පසුවන්නන් අවදානමෙන් මිදීම උදෙසාද, සිය දෛනික කටයුතු වලදී නිසි විහරණයන් පවත්වා ගැනීම වැදගත්ය. වඩාත් වැදගත්ම පුරුද්ද විය යුත්තේ නිසි ලෙස නිදා ගැනිමය. දෛනිකව රාත්‍රියට පැය හයක්වත් අඛණ්ඩව නිදා ගැනීම මගින් මානසික ආතතිය, වෙහෙස පළවා හැර නව දවසකට ප්‍රබෝධයෙන් මුහුණ දීමට සෑම පුද්ගලයෙකුටම අවස්ථාව ලැබේ.

නිදාගැනීමේදී අපහසුවකින් තොර සැහැල්ලු ඇඳුමක් ඇඟලා සිටීමත්, වැටකෙයියා පත්‍ර වලින් සකසා ගත් ස්වභාවික පැදුරක් භාවිතා කිරිමත්, ඉඹුල් පුළුන් යෙදූ නිසි උස සහිත කොට්ටයක් භාවිතා කිරීමත් මගින් සුව නින්දක් ලබාගත හැකි බව පැරණි පොත පතේ සඳහන්ය. අපේ පැරැණියන් නිතර හඬන කුඩා දරුවන් නැළවීම සහ නිදිකිරීම සඳහා වැටකෙයියා පැදුරුත්, ඉඹුල් පුළුන් කොට්ටත් භාවිතා කර තිබේ. ඒ කුඩා දරුවන්ගේ මානසික සුවතාවය ගැන නිසි දැක්මක් සහ අවබෝධයක් ඔවුනට තිබූ නිසාය.

නමුත් අද දවසේ භාවිතා කරන කෘතිම මෙට්ට ආදිය සැපපහසුවක් ලෙස මවා පෑවද, ඇත්ත වශයෙන්ම ඒවාගෙන් ලැබෙන සහනයට වඩා, නොදැනෙන- නොසිතන අපහසුවක් මනසට දැනෙන බව කිව යුතුය. කොට්ට, ඇතිරිලි, පොරෝනා ගැනද තත්වය එසේමය. එක් එක් රටවලින් ආනයනය කළ මෙම උපාංග ඒ රටවලට ගැළපුණද, ඝර්ම කලාපීය රටක් වන අපට වඩා සුදුසු දේ අවබෝධයෙන් තෝරාගත යුතුය.

දවසේ හවස්වරුව හෝ උදේ වරුවේ පැයක පමණ කාලයක්වත්, පරිසරය විඳීම, පොතක් පතක් කියවීම, තමන් කැමැති සංගීතයක් රසවිඳීම, හිතවත් මිතුරන් සමඟ ගතකිරිම මඟින් වෙනත් කටයුතු නිසා ඇතිවන අහිතකර මානසික තත්වයන් සමනය කර ගත හැකි වනු ඇත. මේ ගැන අතීතයේදී උනන්දු නොවූ බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලද ස්වභාවිකත්වයට ලංවීමේ වැදගත්කම වර්තමානයේදී මතුකොට දක්වනු පෙනේ.

ගලායන ජලයෙන් ඇසෙන හඬට කන්දීමෙන්, විසිතුරු මසුන් ඇතිකිරීමෙන්, විශේෂිත ගෘහාශ්‍රිත පැළ වර්ග වැවීමෙන් මානසික සහනය උපරිමයෙන් ළඟා කර ගත හැකි බව බටහිර වෛද්‍ය මතවලදී ඉහළින්ම පිළිගැනේ. ස්වභාවිකත්වයට ආගන්තුක නොවන අපේ රටේ වැසියන්ට, ගෙමිදුලට බසින්නට හැකි නම් අසන්නට, දකින්නට, විඳින්නට ලැබෙන දෑ බොහෝය. නූතනයේ ජනප්‍රිය මුහුණුපොත වැනි සමාජ ජාලාවන් පවා නිසි ලෙස යොදාගන්නේ නම් මානසික ආතතියෙන් මිදිය හැකිය. එහෙත් එය ඇබ්බැහි වීමක් නොවිය යුතුය.

ආගම කුමක් වූවද තමන්ට හැකි අයුරින් මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමට හිතකර වන භාවනාවක යදිය හැකි නම් කේන්තිය පාලනය සඳහා එය වැදගත්ය. අභ්‍යාසයක් ලෙස දෛනිකව නින්දට පෙර හෝ පසු මෙසේ කළ හැකි නම් එය වඩා වැදගත්ය. බෞද්ධයන් ලෙස පුරුදු පුහුණු වී ඇති සරලම භාවනාව වන මෛත්‍රී භාවනාවම වුවද මානසික සුවය ලබාගැනීම සඳහා වැදගත් වනු ඇත.

එයට අමතරව බෝගසක්, නුග ගසක්, මී ගසක්, කුඹුක් ගසක් වැනි විශාල ගසක් යට වැඩි වේලාවක් ගත කරමින් නිදහසේ සිටින්නට හැකි නම් එයද මනසට සහනයක් ලබා දෙන යහපත් අභ්‍යාසයක් වනු ඇත. පැරැන්නන් මේ තත්වය පුද පූජා සමග සම්බන්ධ කර ප්‍රතිකර්ම නිර්මාණය කළ අතර ඔබට කැමැතිනම් බෝධිපූජාවක්, දේවපූජාවක් සිදුකරන්නට මෙවැනි ගසක් තෝරාගත හැකි නම් එය වැදගත් වේ.

නිතර කේන්ති යාම සඳහා ඖෂධ වශයෙන් භාවිතා කළ හැකි බොහෝ වට්ටෝරු දේශිය වෙද පොත් වල සහ කවි පන්ති වල ඇතුළත්ව තිබේ.

ඒ අතරින් හිස ගැල්විය හැකි හිසකුඩිච්චියක් ගැන විස්තර පහත පරිදිය. සැවැන්දරා කුඩු, සුදුහඳුන් කුඩු, ඉරමුසු සමාන ප්‍රමාණයෙන් ගෙන එළඟිතෙළෙන් අනා හිසේ ගැල්වීම මෙම රෝගයට නියත පිළියම් දෙන ප්‍රතිකාරයකි. මෙම වට්ටෝරුව දිනපතා නෑමට පෙර පැයක පමණ කාලයක් හිසේ ගල්වා සිටීම මගින් කේන්තිය ඇතිකරන මානසික තත්වයන්ගෙන් මිදීමේ හැකියාව ලැබෙනු ඇත.

එසේම නෑමට යොදාගත හැකි ඖෂධීය වට්ටෝරුවක් ලෙස පහත වට්ටෝරුව දැක්විය හැක. සතකුප්ප, විශ්ණුක්‍රාන්තිය, ලොත්සුඹුල්, සුදු හඳුන්, වදමල්, ඉගිනි ඇට, බැබිල සම පමණ ගෙන ලිපේ තබා තම්බාගත යුතුය. ඉන්පසු නිවෙන්නට හැර නාන ජලය සමග මිශ්‍රකර ස්නානය මගින් හිතේ ඇතිවන කේන්තිය පළවා හැරීමට ප්‍රතිකාරයක් ලෙස සැළකේ. කේන්ති යාම මඟින් පුද්ගලයෙකුට ඇති කරන හානිය අති මහත්ය.

කේන්ති ගත් විට ශරීරය වැහැරී ගොස් වයසට වඩා වැඩිමහළු පෙනීමක් ඇතිවීම ගැන දෙමාපියන් අපව බය කළ හැටි තවමත් මතකය. කේන්ති ගැනීමෙන් අත්විය හැකි බොහෝ අවදානම් ගැන පෙර සඳහන් කළෙමු. මේ නිසා නිසි මානසික අභ්‍යාසයකින් කේන්තිය පාලනය කරගත යුතුව ඇත. එය ඔබේත්, ඔබ අවට සමාජයේත් අනිවාර්ය පොදු යහපතට හේතු වේ.
silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages