ජාතික බැඩ්මින්ටන් තරගාවලියෙන් නිලූක ඉවතට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-02

ජාතික බැඩ්මින්ටන් තරගාවලියෙන් නිලූක ඉවතට

කාන්තා හා පිරිමි අවසන් පූර්ව තරග අද

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලබන 66 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ඊයේ පැවැති පිරිමි විවෘත අවසන් පූර්ව තරග වටයේදී ආබාධයකට ලක්වූ සුපිරි ක්‍රීඩක නිලූක කරුණාරත්න තරගාවලියෙන් ඉවත්වීය. මෙවර තරගාවලියේ පළමු වටයේ සිටම අතෙහි ආබාධයක් සහිතව ක්‍රීඩා කළ නිලූක දෙවැනි වටයේදි ජයග්‍රහණය අත්කර ගත්තේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමිනි.

කෙසේ වෙතත් ඊයේ බුවනෙක ගුණතිලක සමග පැවැති අර්ධ අවසන් පූර්ව වටයේදි එම ආබාධ තත්ත්වය නැවත උත්සන්න වීම හේතුවෙන් ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. ඔහු ඉවත්වනවිට එම තරගයෙන් ඉදිරියෙන් පසුවූ බුවනෙක ගුණතිලකට ජයග්‍රහණය හිමිවිය.

ඒකල තරගයෙන් ඉවත්වූ නිලූකට ඊයේ පැවැති පිරිමි යුගල සහ මිශ්‍ර යුගල තරග සඳහා සහභාගි වීමේ අවස්ථාවත් ගිලිහී යෑමෙන් එම තරගවලින් ප්‍රතිවාදී කණ්ඩායම්වලට ජයග්‍රහණය හිමිවිය.

මේ අතර පිරිමි විවෘත ඒකල තරගයේ පළමු අර්ධ අවසන් පූර්ව වටයේදී ජය ලැබූ පසුගිය වසරේ වත්මන් ජාතික බැඩ්මින්ටන් ශූර දිනුක කරුණාරත්න අද බුවනෙක ගුණතිලක සමග අවසන් පූර්ව තරගයට එක්වෙයි.

පිරිමි විවෘත තරග අංශයේ තුන්වැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ලැබූ තවත් කරුණාරත්න සොයුරකු වන දිලූක කරුණාරත්න අද සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගය ජයගත් රන්තුෂ්ක සසිඳු කරුණාතිලක සමග තරග බිමට පිවිසෙයි.

මේ අතර ඊයේ පැවැති කාන්තා විවෘත අර්ධ අවසන් පූර්ව තරග ජයගත් වත්මන් ජාතික ශූරිය වන තිළිණි හෙන්දහේවා අද හසාරා විජේරත්න සමග තරග බිමට එක්වෙයි. කාවින්දි සිරිමාන්නගේ සහ දිලිනි ඩයස් අතර දෙවැනි අවසන් පූර්ව තරගයත් අද පැවැත්වෙයි. පසුගිය වසරේ අනුශූරිය බවට පත්වූ යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දිනූ හසිනි අම්බලන්ගොඩගේ සහ හිටපු ජාතික ශූරියක වන චන්ද්‍රිකා ද සිල්වා දෙවැනි වටයේදීම පරාජයට පත්වීම කැපී පෙනේ.

ෆවුස් මොහොමඩ්

Post Bottom Ad

Pages