රංගනට දිය හැකි හොඳම තෑග්ග ටෙස්ට් තරගමාලා ජයයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-06

රංගනට දිය හැකි හොඳම තෑග්ග ටෙස්ට් තරගමාලා ජයයි

ෆවුස් මොහොමඩ් ගාල්ල ක්‍රීඩාංගණයේ සිට...

දශක දෙකකට ආසන්න කාලයක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අද්විතීය මෙහෙවරක් ඉටු කරමින් සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලොව විශිෂ්ටතම වමත් පන්දු යවන්නා වන රංගන හේරත් වෙනුවෙන් අද (6) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරැඹෙන එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණයකින් සැමරීම සිය කණ්ඩායම ලොකුම බලාපොරොත්තු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේය. ගාල්ල ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරග 4කට ක්‍රීඩා කර ඇති සංචාරක එංගලන්ත පිල මෙතෙක් කිසිදු ජයග්‍රහණයක් ලබා නොමැති අතර මීට වසර 6කට පෙර ඔවුන්ගේ අවසන් ශ්‍රී ලංකා සංචාරයේ දී ගාල්ලේ පැවැති ටෙස්ට් තරගය නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක් හිමිකර දෙමිනි.

‘මට වගේම මුළු කණ්ඩායමටම ලොකු කනගාටුවක් දැනෙනවා ඔහු මේ තරගයෙන් පසුව නැවත ක්‍රීඩා නොකිරීම ගැන. රංගන අයියා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශාල සේවයක් කළා. ඒ වගේම පිටියෙන් පිටතදීත් ඔහු ඉතා හොඳ මහත්මයෙක්. මම නායකත්වයට පත්වීමෙන් පසුව ඔහුගෙන් විශාල සහයෝගයක් ලැබුණා. ක්‍රීඩාවෙන් සමුගැනීම වෙනුවෙන් අපිට ඔහු පුදුමයට පත් වෙන විදිහේ සැලසුමක් තියෙනවා. ඒක දැන්ම කියන්න බෑ.’ එංගලන්තයට එරෙහිව අද ඇරැඹෙන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාවේ පළමු ටෙස්ට් තරගය පිළිබඳ ඊයේ ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා පිලේ නායකයා මේ අදහස් පළ කළේය.

ජාත්‍යන්තර ටෙස්ට් තරග ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානයේ පසුවූවත් එංගලන්තය පිල සහ ශ්‍රී ලංකා පිල මේ වනවිට එක සමාන බව ද චන්දිමාල් කීවේය. ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 6 වැනි තැනය.

එංගලන්ත පිල ශ්‍රී ලංකාවේදි ටෙස්ට් තරගමාලාවකට සහභාගි වන්නේ වසර 6කට පසුවය. මීට පෙර අවසන් වතාවට 2011/12 තරගවාරයේ එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේ පැවැති තරග 2කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය. දෙපිල අතර මෙතෙක් ටෙස්ට් තරග 31ක් පවත්වා ඇති අතර ඉන් තරග 12ක් ජයගැනීමට එංගලන්තය සමත්වෙද්දී තරග 8ක ජය ශ්‍රී ලංකාව අත්කර ගත්තේය. ඉතිරි තරග 11ම නිමාවට පත්වුයේ ජයපරාජයෙන් තොරවය.

ශ්‍රී ලංකා කණ්ඩායමට වාසනාවන්ත ක්‍රීඩාංගණයක් වන ගාල්ල ක්‍රීඩාංගණයේ මෙතෙක් පැවැති ටෙස්ට් තරග 31කින් ශ්‍රී ලංකාව තරග 18ක්ම ජයගැනීමට සමත්වූ අතර පරාජයට පත්වූයේ තරග 7ක් පමණි. අවසන් වතාවට දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිල ජයගත්තේ ලකුණු 278කිනි.

පසුගිය දින කිහිපයේ ගාල්ලට දැඩි වර්ෂාවක් ඇද වැටුණු අතර ඊයේ උදෑසනත් වර්ෂාව පතිත වීමෙන් තණතීරුව සම්පූර්ණයෙන් වසා දමා තිබිණි.

ළහිරු කුමාර ගෙදර යවයි

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර කණ්ඩායමේ නිතිරීති කඩකිරිමේ චෝදනාවක් මත කණ්ඩායමෙන් ඉවත් කර තිබේ. ඔහු වෙනුවට වහාම ක්‍රියාත්මක වන පරිදි වේගපන්දු යවන දුෂ්මන්ත චමීර කණ්ඩායමට ඇතුළත් කිරීමට කළමනාකාරීත්වය ඊයේ පස්වරු තීරණය කළේය.

දශක දෙකක කාලයක් පුරා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමෙන් සිය ජීවිතයට බොහෝ දේ අත්කර ගත් බැවින් කිසිදු පසුතැවිල්ලකින් තොරව ක්‍රීඩාවෙන් සතුටින් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ විශිෂ්ට දඟ පන්දු යවන්නා රංගන හේරත් ඊයේ ගාලු ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළේය.

ඕනෑම ක්‍රීඩකයකුට මෙවැනි තීරණයක් ගැනීම තරමක් වේදනාකාරී බැවින් එම වේදනාව තමාටත් එලෙසම දැනුණු බවත් 40 හැවිරිදි මේ සුපිරි වමත් දඟ පන්දු යවන්නා සඳහන් කළේය. එසේ වුවත් ඕනෑම ක්‍රීඩකයකුට ක්‍රීඩාවෙන් සමුගැනීමේ අවස්ථාවක් එළැඹෙන බවත්, තමා මේ සමුගන්නේ නිවැරදි මොහොතේදි බවත් ඔහුගේ අදහස වී තිබේ.

එතෙක් මෙතෙක් ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභින් අතර 10 වැනි ස්ථානයේ පසුවන හේරත් අද සිය අවසන් ටෙස්ට් තරගයට එක්වන්නේ ‍තරග 92කදී කඩුලු 430ක් දවාලීමේ වාර්තාවත් අතැතිවය. ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභියා වන මුත්තයියා මුරලිදරන්ගෙන් පසුව එවැනි දස්කමක් පැ දෙවැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා වන රංගන ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාලූ වමත් පන්දු යවන්නා ලෙසත් වාර්තා පොතට එක්වී සිටී.

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වාර්තා රැසකට හිමිකම් කියන රංගන හේරත් අද ඇරැඹෙන ටෙස්ට් තරගයේදි තවත් වාර්තාවක් අභියස සිටී. ඔහු දැනට ගාලු ක්‍රීඩාංගණයේ සහභාගි වු ටෙස්ට් තරග 18කදී කඩුලු 99ක් දවාගෙන සිටින අතර එකම ක්‍රීඩාංගණයක ටෙස්ට් කඩුලු සියයක් ලැබූ ලොව තුන්වැනි පන්දු යවන්නා වීමට අවශ්‍යවී ඇත්තේ එක් කඩුල්ලක් පමණි. මුත්තයියා මුරලිදරන් ගාල්ල,එස්.එස්.සී. හා මහනුවර දී ටෙස්ට් කඩුලු සියය බැගින් දවාලමින් එම වාර්තාවේ පෙරමුණේ පසුවන අතර එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් ලොඩ්ස් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් කඩුලු සියය සම්පූර්ණ කරමින් එම වාර්තාවේ දෙවැනි ස්ථානයේ පසුවෙයි.

සිය ක්‍රිකට් ජීවිතයට මඟ පෙන්වූ සහ අත්වැල සැපයූ සියළුදෙනාට ස්තූතිය පුදකළ රංගන හේරත් සිය මියගිය මාපියන් සිහිපත් කිරීමේදී බෙහෙවින් හැඟුම්බර විය.

Post Bottom Ad

Pages