දිනේෂ් චන්දිමාල්ට තෙවැනි තරගයත් අහිමි වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-22

දිනේෂ් චන්දිමාල්ට තෙවැනි තරගයත් අහිමි වෙයි

ෆවුස් මොහොමඩ්

පාදයේ ආබාධයකට ලක්වී සිටින ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල්ට සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (23) එස්.එස්.සී.පිටියේදී ආරම්භ වන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයටත් අහිමිවිය. ගාල්ල ටෙස්ට් තරගය අතරතුර පාදයේ ආබාධයකට ලක්වීම නිසා චන්දිමාල් පල්ලෙකැලේ පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයට ද ක්‍රීඩා නොකළ අතර පෙරේදා මුහුණ දුන් ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්විය.

ශ්‍රී ලංකා පිල දැනටමත් තරග 2-0කින් ටෙස්ට් තරගමාලාව පරාජයට පත්වී සිටින අතර හෙට ඇරැඹෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී චන්දිමාල් ක්‍රීඩා කරවීමට කණ්ඩායමේ කළමනාකාරිත්වය බලාපොරොත්තුවෙන් පසුවිය. එහෙත් පෙරේදා පැවැති ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් පසුව එම බලාපොරොත්තුව අත්හැරීමට සිදුවී තිබිණි.

ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව චන්දිමාල්ගේ ආබාධ තත්ත්වය සම්පුර්ණයෙන් සුවවීමට තවත් සතියක කාලයක් ගත වනු ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව නැවත වරක් සුරංග ලක්මාල් හෙට තරගයේදි ශ්‍රී ලංකා පිල මෙහෙයවීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

දිනේෂ් චන්දිමාල් වෙනුවට පල්ලෙකැලේ තරගයට එක්වූ මැදපෙළ පිතිකරු රොෂේන් සිල්වා ‍එම තරගයේ ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිමේදි වැඩිම ලකුණුලාභියා බවට පත්වූයේ ලකුණු 85ක් රැස් කරමිනි. ඔහු එම තරගයේ දෙවැනි ඉනිමේදි ලකුණු 37ක් ලබාගත්තේය.

හෙට ඇරැඹෙන තුන්වැනි ටෙස්ට් තරගයේදි චන්දිමාල් වෙනුවට වමත් ආරම්භක පිතිකරුවකු වන ධනුෂ්ක ගුණතිලක සංචිතයට එක්වී සිටී. ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතයට එක්වූ චරිත් අසලංක තුන්වැනි තරගය සඳහා වන සංචිතයට ඇතුළත් වී නොමැත.

ටෙස්ට් තරග 5කට ක්‍රීඩා කර ඇති ධනුෂ්ක එහිදී අර්ධ ශතක දෙකක් සමග ලකුණු 259ක් රැස් කර තිබේ. මේ වසරේ ජූලි මස එස්.එස්.සී. පිටියේදී දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගයට සහභාගි වූ ධනුෂ්ක ගුණතිලක එහිදී ඉනිම් 2දීම අර්ධ ශතක වාර්තා කළේය. අනතුරුව ආසියානු කුසලාන තරගාවලියට ඔහු එක්වූවත් ආබාධයක් හේතුවෙන් නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමට සිදුවී තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages