මම තනතුරට ඇවිත් තවම මාස දහයයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-19

මම තනතුරට ඇවිත් තවම මාස දහයයි

Author(s): 
ෆවුස් මොහොමඩ්

පුහුණුකරු හතුරුසිංහ නිදහසට කරුණු කියයි

ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස වැඩ කිරීමට පටන් ගෙන තවම මාස දහයක් පමණක් බැවින් ඉදිරියේදී කණ්ඩායමේ දක්ෂතා ඉස්මතු කරමින් සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට හැකිවනු ඇතැයි චන්දික හතුරුසිංහ කියයි. ඊයේ එංගලන්තය හමුවේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදි දෙවැනි ටෙස්ට් තරගය පරාජයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සඳහන් කළේ ක්‍රම ක්‍රමයෙන් කණ්ඩායම තුළ වෙනස්කම් රැසක් කරමින් සිටින බවකි.

‘මම වැඩ පටන් අරං තාම මාස දහයයි. අපි මේ වනවිට සෑහෙන දුරට කණ්ඩායමේ වෙනස්කම් සිදුකරගෙන යනවා. ඉදිරියේදී ජයමාවතට ප්‍රවිශ්ඨ වීමට හැකිවේවි. අනික මේ තරගමාලාව අපි මේ අවුරුද්දේ පැරදුණු පළමු ටෙස්ට් මාලාවයි. ඊට කළින් අපි විශිෂ්ට අයුරින් දකුණු අප්‍රිකාව පරාජය කළා.’ ඔහු කීවේය.

බංග්ලාදේශ පිලේ හිටපු ප්‍රධාන පුහුණුකරු වු චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස රාජකාරිය ආරම්භ කරමින් පසුගිය ජනවාරියේ බංග්ලාදේශ සංචාරයට එක්වූ අතර එහිදී ශ්‍රී ලංකාව තරග 1-0කින් ටෙස්ට් තරගමාලාව ජයගත්තේය. අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් දූපත් සංචාරයේ දී තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව නිමා කරගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය. පසුගියදා නිමාවට පත්වූ දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේ පැවැති ටෙස්ට් තරගමාලාව 2-0කින් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

‘තීරණ ගැනීමේදි අවස්ථා කිහිපයක් අපිට වැරැදුණා.’ ඊයේ නිමාවට පත්වූ දෙවැනි ටෙස්ට් තරගය පිළිබඳ හතුරුසිංහ එසේ කීවේය.

‘සමහර වැරැදි අපිට ලෙහෙසියෙන්ම හදාගන්න තිබුණු ඒවා. අපි එංගලන්ත පළමු ඉනිමේදි ලකුණු වැඩිපුර දුන්නා. තරග 2දීම ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් වේලාසනින්ම දවාගන්න සමත්වුණත් අගපෙලට ඒ පීඩනය දමන්න අපිට හැකිවුණේ නෑ.’ ඔහු කීවේය.

‘තණතීරුව නම් දෙපිලේම දඟ පන්දු යවන්නන්ට වාසිදායකවයි තිබුණේ. නමුත් ඉක්මනින්ම ඊට අනුගත වුණේ එංගලන්තයේ පන්දු යවන්නන්. අපිට රංගන හේරත්ගේ අඩුපාඩුවත් තදින්ම දැනුණා. පන්දු රැකීම ගත්තම අපේ ක්‍රීඩකයන් කාලෙක ඉඳලා දුර්වලතා පෙන්නුම් කරනවා. තරග මුහුණුවර තුනේදිම එය සිදුවෙනවා.’ හතුරුසිංහ සඳහන් කළේය.

‘මේ වගේ තණතීරුවල සෙල්ලම් කරන්න ලෙහෙසි නෑ. කුසල් මෙන්ඩිස් ලකුණු අතරේ නොමැති වීම ගැන කියනවානම් ඇත්තටම ඔහු මේ වසරේදි ටෙස්ට් ලකුණු 600කට වඩා රැස් කළ පිතිකරුවෙක්. ඒ අතින් ඔහු ඉන්නේ අනික් පිතිකරුවන් සමග බලද්දි තුන්වැනි තැන වගේ. මේ තරගමාලාවේදි තමයි ඔහු අසාර්ථක වුණේ.’

‘මේ තරගය ජයගන්න අපිට හොඳ අවස්ථාවක් තිබුණා. ඒවා හදාගෙන ගියොත් ඉස්සරහට අපිට තරග දිනන්න ලොකු අවස්ථාවක් තියෙනවා. කොහොමවුණත් පුහුණුකරු විදිහට තරගයේ පරාජයේ වගකීම මටත් පැවැරෙනවා.’ ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages