අඳුරු අහසට රිදී රේඛාවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-03

අඳුරු අහසට රිදී රේඛාවක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය මාලක රණතිලක

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යය ධූරයට පත් කිරීම ඔස්සේ මෙරට දේශපාලනය තීරණාත්මක මංසන්ධියක් වෙත දැන් එළඹ තිබේ. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ඔවුන් හා සන්ධාන ගතව සිටින පක්ෂ, පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාව ආරක්ෂා කර ගැනීම පිණිස කටයුතු කරමින් සිටියදී, ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජානතා නිදහස් සන්ධානය බහුතරය දිනා ගැනීම පිණිස කටයුතු කරමින් සිටින අතර පාර්ලිමේන්තුව නොවැම්බර් මස 16 දින දක්වා කල් දමනු ලැබ තිබේ. ව්‍යවස්ථාවට අනුකූලව විධායක ජනපති සතුව පවතින බලතල උපයෝගී කර ගනිමින් සිදුවූ මෙම ක්‍රියාවලිය ජනතාවට තරමක් ආගන්තුක වුවද වසර 2015 ජනවාරි මස සිදුවූ බල පෙරළියත් සමඟ සිදුවූයේද මෙයට තරමක් සාමන දෙයකි. මේ වනවිට එක්සත් ජාතික පෙරමුණට ඔවුන්ගේ මන්ත්‍රී සංඛ්‍යාව රැක ගැනීම බරපතළ ගැටලුවක් බවට පත්ව තිබෙන්නේ ජනපති හා අගමැති මහින්ද කෙරෙහි විශ්වාසය තබමින් ඔවුන්ගේ මන්ත්‍රී පිරිස් ඔවුන් අතහැර යාමට පටන් ගෙන තිබීම නිසාය.

යහපාලනයෙන් සිදු වූ හානිය

වසර තුනක කාලය තුළ යහ පාලන ආණ්ඩුව තුළින් රටට සිදුවූ සේවයට වඩා හානිය වැඩිය. ජනපති ජාතිය අමතා කළ කතාවෙන්ද එය පැහැදිලි වෙයි. වසර 2015 ජනපතිවරණ පරාජයෙන් පසුද මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියතාවය අඩු වීමක් සිදු නොවිණි. එවැනි තත්ත්වයක් දේශපාලනඥයෙකුට හිමි වන්නේ ඉතා කලාතුරකිනි. ත්‍රස්තවාදය පරාජය කරමින් රටට සාමය ගෙන ඒම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ජනතාව තුළ පැවැති ගෞරවනීය හැඟීම මෙම තත්ත්වයට ප්‍රබල ලෙස බලපෑවේය. වංචාව, දූෂණය පිටු දැකීම මූලික කර ගනිමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩු පාලන සමයේ සිදුවූ මහ බැංකුවේ බැඳුම්කර වංචාව පිළිබඳ ජනතාව තුළ පැවතුණේ දැඩි අප්‍රසාදයකි. එම වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවන් ආරක්ෂා කරන්නට හිටපු අගමැති ප්‍රමුඛ එජාපයේ ඉදිරි පෙළ පුද්ගලයින් කටයුතු කිරීම පැහැදිලිව දක්නට ලැබුණ තත්ත්වයකි. රජයේ මාධ්‍යය පවා එම අවස්ථාවේ කටයුතු කළේ, මෙම පිරිස් ආරක්ෂා කරන්නටය. මෙහිදී වංචාවක් සිදුව නොමැති බව රටට කියා පෑමට එජාප නායකයින් හා රජයේ මාධ්‍යය නිරන්තරව උත්සාහ කළේය. දේශීය සම්පත් විදේශ රටවලට විකිණීම සම්බන්ධයෙන්ද යහ පාලන ආණ්ඩුවට එල්ල වූයේ ප්‍රබල විවේචනයකි.

මෙම පසුබිම තුළ ජනපති මෛත්‍රී විසින් මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කිරීම බල පෙරළියක් ලෙස අප නොදැකිය යුතුය. එය ඇත්තෙන්ම මෙරට ආනගතය පිළිබඳ ගත්තාවූ තීරණාත්මක තීරණයකි. යහපාලන ආණ්ඩුව ආර්ථික,දේශපාලනික හා සංස්කෘතික යන සියලු අංශ වලින් ආසාර්ථක වූවකි. ඊට උදාහරණ ඕනෑ තරම් තිබේ. එම ආණ්ඩුව ගතවූ වසර තුනකට මදක් වැඩි කාලය තුළ ආර්ථික ප්‍රතිපත්ති හයක් රටට ඉදිරිපත් කළේය. දළ දේශීය නිෂ්පාදනය බිඳ වැටීම ඔස්සේ ජනතාවගේ ජීවන තත්ත්වය පහළට ඇදී වැටිණි. උද්ධමනය,සේවා නියුක්තිය,ණය සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර ඒවා පාලනය කරන්නට කිසිදු විධිමත් වැඩපිළිවෙළක් ඔවුනට තිබුණේ නැත. දේශීය ආර්ථිකය මුළු මනින්ම බිඳ වැටීම පිණිස කරුණු කාරණා පෙළ ගැසීමත් සමඟ සමාජ ප්‍රශ්න උග්‍ර විය.

තමන් මහත් විශ්වාසයක් තබා බලයට පත්කළ ආණ්ඩුව තුළින් අපේක්ෂා කළ අරමුණු ඉටු නොවීම නිසා ජනතාව නිරන්තරව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යහපාලන ආණ්ඩුව සන්සන්දනය කරන්නට වූහ. ඒ සෑම අවස්ථාවකම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉදිරියෙන් සිටින බව ඔවුන්ට පෙනී ගිය අතර ජනතාව එය පිළිඹිබු කළේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදීය. එක්සත් ජාතික පක්ෂයට පමණක් නොව ඔවුන් හා සන්ධාන ගතව සිටි ශ්‍රීලංකා නිදහස් පක්ෂයටද ජනතාව එහිදී පැවසුවේ ඔවුන් ඒකාබද්ධව ගෙනයන වැඩපිළිවෙළ තමන් පිළිනොගන්නා බවයි.

ජනපති හා හිටපු ජනපති මහින්ද පසුගිය කාලයේ සිටියේ දේශපාලනකින වශයෙන් විරසකවය.

මෛත්‍රී - මහින්ද සුසංයෝගය

ඔවුන් යළි එක්කාසු කිරීමට සමත්වූයේ රනිල්ගේ හිතුවක්කාරී දේශපාලන තීන්දුය. එය ජනතාවගේ පැත්තෙන් බැලූ කල රටට සිදුවූ යහපතකි. මෛත්‍රී යනු අවංක දේශපාලනඥයෙකි. මහින්ද යනු ජනතා ආකර්ෂණය සහිත වැඩක් කළ හැකි නායකයෙකි. මොවුන් දෙදෙනාගේ සුසංයෝගය අඳුරු අකාසයට රිදී රේඛාවක් පෑයුවාක් බඳු වන්නේ ඒ නිසාය.

යහපාලන ආණ්ඩුව බලයට පැමිණෙන විට මෙරට සමස්ත ණය ඇමරිකානු ඩොලර් බිලියන 7. 5 කි. අද එය ඇමරිකානු ඩොලර් බිලියන 11. 5 කි. වසර හතරකටත් අඩු කාලයක් තුළ යහපාලන ආණ්ඩුව ඩොලර් බිලියන 4 ක පමණ අමතර ණය ලබා ගෙන තිබේ. නමුත් ජනතාවගේ ජීවන බර වැඩිවන සෑම අවස්ථාකම ඔවුන් පැවසුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ණය ගෙවීමට ඇති බැවින් සහන දිය නොහැකි බවයි. ණය උගුලෙන් රට බේරා ගැනීමට පැමිණි පිරිස් කළේ, තව තවත් රට ණය උගුලේ සිර කිරීමය. දේශීය වශයෙන් ආදායම් උපදවා ණය ගෙවීම වෙනුවට රනිල් උත්සාහ කළේ දේශීය සම්පත් විකුණා ණය ගෙවීමටය. රටේ සම්පත් විකිණීම සඳහා ඔහු තීන්දු තීරණ ගනු ලැබුවේ තමන් වටා සිටින කල්ලිය පමණක් සම්බන්ධ කර ගනිමිනි. අද රනිල් අගමැති කරන්නට උත්සහ කරන එජාපයේ බොහෝ පිරිස් රනිල්ගේ නායකත්වයට අවංකවම කැමැති නැති බව රටම දන්නා කරුණකි. එජාපයේ බොහෝ අයගේ හෘද සාක්ෂිය එය දන්නේය.

අගමැති ධූරයෙන් රනිල් ඉවත් කිරීම සම්බන්ධව ඔහු වටා සිටින පිරිසට හැර ජනතාවට ගැටලුවක් නැත. ජනපති තීන්දුවෙන් පසු රටේ ජනතාව රතිඤ්ඤා දල්වා කිරිබත් පිස සතුටු වූයේ ඔවුන් එම තීන්දුව අගය කළ නිසාය. රනිල්ලාගේ වුවමනාව මත පාක්ෂිකයින් කිහිප දෙනෙකු පාරට බැස්සත් ඔවුන් තුළද රනිල් අගමැති කිරීමේ අවංක වුවමනාවක් පෙනෙන්නට නැත. එහෙත් මහින්ද අගමැති කීරීම පිළිබඳ ඔවුන් තුළ ඇත්තේ සතුට මුසුවූ රටේ අනාගතය පිළිබඳ යහපත් අපේක්ෂාවකි. පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ බව කියූ වංචා,දූෂණ හා ඝාතන පිළිබඳ මහ ඉහළින් කතා කරමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒමට පොරොන්දු දෙමින් බලයට පැමිණි යහ පාලන ආණ්ඩුවට වංචා දූෂණ චෝදනා රැසක් එල්ල විය. එපමණක් නොව රටේ විධායක ජනපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳවද හෙළිදරුව් විය. දැනට වාර්තා වෙමින් තිබෙන තොරතුරු අනුව ඊට රජයේ ඇමැතිවරුන්ගේ සම්බන්ධයක් ඇති බවද කිය වෙයි. හොරු අල්ලන්නට ආ පිරිස් සොරකම් කිරීමත් ඝාතකයින් ඇල්ලීමට පැමිණි පිරිස් ඝාතන සැළසුම් කිරීමත් හෙළි වීමෙන් යහ පාලන ආණ්ඩුව ජනතා ඔඩොක්කුවෙන් පහළට ඇද වැටිණි.

මහින්ද ආණ්ඩුවේ ප්‍රබලයින්ට නොයෙක් චෝදනා එල්ල කළත් ඒවා කිසිවක් නීතය ඉදිරියේ ඔප්පු කිරීමට ඔවුන් අපොහොසත් වීම තුළින් ගම්‍ය වන්නේ ඒවා හුදු දේශපානික පළිගැනීම් මිස වෙනත් කාරණාවක් නොවන බවයි. මෙම චෝදනා අසත්‍ය බව තහවුරු වන්නට වන්නට මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කණ්ඩායමේ ජනප්‍රියත්වය ඉහළ ගියේය. රනිල්ට ලැබුණු බලය තහවුරු කරගෙන රටට ගැලපෙන යහපත් පාලනයක් ගෙන යන්නට බැරි බව අවස්ථා කිහිපයකදී ඔහු රටට ඔප්පු කර තිබේ. ඔහු අසාර්ථක නායකයකු බව කියන්නට වෙනත් කාරණා අවශ්‍ය නොවන්නේ එබැවිනි.

අවදානමට ලක්වන එජාප නායකත්වය

වත්මන් දේශපාලනික තත්ත්වයත් සමඟ යළි අගමැති වීම කෙසේ වෙතත් රනිල්ට එජාප නායකත්වයද අහිමි වන පසු බිමක් නිර්මාණය වෙමින් තිබේ. මේ නිසා අගමැති සිහිනය පසෙක තබා රනිල් කළ යුත්තේ ඒ පිළිබඳ උනන්දු වීමය. ජනපති ධූරයට මෛත්‍රීපාල සිරිසේන මහතා පත් වීමත් සමඟ එවකට අගමැති ධූරයේ කටයුතු කළ දි. මු ජයරත්න මහතා ධූරයෙන් ඉවත් කර රනිල් පත් වූයේ ක්ෂණික දේශපාලන තීන්දුවකිනි. එදා රනිල් ඒ සම්බන්ධයෙන් කටක් නොඇරියේ තමන්ට බලය ලැබුණ නිසාය. එවැනිම තීන්දුවකින් තමන්ට බලය අහිමි වන විට දැන් රනිල්ට ප්‍රජාතන්ත්‍රවාදය සිහියට නැඟී ඇත. මෙය රනිල්ට නොතෙරුණාට ජනතාව හොඳින් තේරුම් ගනිති.

ජනපති මෛත්‍රී හා අගමැති මහින්දට ඉදිරියේදී කළ යුතු බොහෝ දේ තිබේ. එය පහසු කටයුත්තක් නොවන්නේ පසුගිය වසර තුන තුළ රට බොහෝ ආපස්සට ගමන් ගෙන තිබෙන බැවිනි. එක් පැත්තකින් ජනපති හා අගමැති දැන් මුහුණදී සිටින්නේ අභියෝගයකටය. දේශපාලන ස්ථාවරත්වක් රටේ කඩිනමින් ඇතිවිය යුතුව තිබේ. විදේශ ආයෝජකයින් පමණක් නොව සංචාරකයින්ද අස්ථාවර දේශපාලන තත්ත්වයක් රටක තිබියදී එම රටට ඇතුළු වීමට රුචිකමක් දක්වන්නේ නැත. හැකි ඉක්මනින් මැතිවරණයක් වෙත ගොස් ස්ථාවර රජයක් ගොඩ නැගීම සඳහා මෙම සුසංයෝගයට හැකියාව තිබෙන අතර රටේ අනාගතය පැත්තෙන් කල්පනා කිරීමේදීද සුබවාදී තීන්දුව වන්නේ එයයි.

සටහන - අසේල කුරුළුවංශ

Post Bottom Ad

Pages