ප්‍රවින් තම්බේගෙන් කඩුලු ත්‍රිත්වයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-24

ප්‍රවින් තම්බේගෙන් කඩුලු ත්‍රිත්වයක්

ප්‍රවින් තම්බේ කඩුලු ත්‍රිත්වයක් දවාගනිමින් පන්දුවෙන් දැක්වූ දස්කම් සමගින් නායක ෂේන් වොට්සන් සහ ඇන්ටන් ඩෙවිච්ගේ පිති හරඹයන් හේතුවෙන් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන දහයයි10 ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගයෙන් කේරළ කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 9ක ජයක් අත්කර ගැනීමට සින්ධිස් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමු පන්දුවට පහරදුන් ‍ඔයින් මෝගන්ගේ නායකත්වයෙන් යුත් කේරළ පිල කඩුලු 7ක් දැවී ලකුණු 103ක් රැස්කළ අතර එම ඉලක්කය ඕවර 7.4කදී සපුරා ගැනීමට සින්ධිස් පිලට හැකි විය.

ෂේන් වොට්සන් පන්දු 24කදී නොදැවී ලකුණු 50ක් රැස්කළේ හතරේ සහ හයේ පහර 4 බැගින් එල්ල කරමිනි. ඇන්ටන් ඩෙවිච් පන්දු 20කින් ලකුණු 49ක් ඉනිමට එක් කළේය.

වේන් පානෙල් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමගින් පන්දු 24කින් ලකුණු 59ක් රැස්කරමින් පළමුව පන්දුවට පහරදුන් කේරළ ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. සොහෙල් තන්වීර් පන්දු 14කින් ලකුණු 23ක් රැස්කළ අතර කණ්ඩායමේ කඩුලු රකින්නා වන උපුල් තරංගට ලබාගත හැකිවූයේ ලකුණු 4ක් පමණි.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ප්‍රවින් තම්බේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවෙන් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ලකුණු ලබාගැනීමට පෙර දවාගත් අතර අවසන් පන්දු තුනෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් විය. ඔහුට ගොදුරු වූයේ කේරළ පිලේ නායක ඔයින් මෝගන්, කිරන් පොලාඩ් සහ ෆැබියන් ඇලන්ය. ඉනිමේ බිඳ වැටුණු කඩුලු 7න් 6ක් දවාගැනීමට තම්බේ සමත් වූයේ ලකුණු 15ක් පමණක් ලබාදෙමිනි. ඉසුරු උදාන ඕවර 2කදී ලකුණු 32කට කඩුල්ලක් දවා ගත්තේය.

මේ අතර තරගාවලියේ තෙවැනි තරගයේදී බෙන්ගාල් ටයිගර්ස් පිල හමුවේ නොදර්න් වොරියස් පිල ලකුණු 36කින් පරාජයට පත්වු අතර පස්වැනි තරගයෙන් මරතා ඇරබියන්ස් පිල ලකුණු 43කින් පරාජය කිරීමට පන්ජාබ් ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

තෙවැනි තරගයේදී ලකුණු 4කට කඩුලු 4ක් දවාගත් අමිර් යමින් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

Post Bottom Ad

Pages