උපාධි අපේක්ෂකයන් තිදෙනකුගේ දිවි අහිමි කළ පහන්තුඩාව ඇල්ලේ ඛේදවාචකය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-17

උපාධි අපේක්ෂකයන් තිදෙනකුගේ දිවි අහිමි කළ පහන්තුඩාව ඇල්ලේ ඛේදවාචකය





සමන්තා කංකානම්ගේයොවුන් වියේදී ජීවිතයේ සතුට ප්‍රීතිය භුක්තිවිඳිය යුතුය. එහෙත් ඒ ප්‍රීතිමත් අවස්ථාවම තරුණ ඔබේ දිවිය අහිමි කරයි නම් එය අතිශයින් කනගාටුදායක වේ. බෙලිහුල් ඔය විශ්වවිද්‍යාලයේ සිසුන් සත්දෙනකුගෙන් යුත් පිරිසක් සතුට සොයා ගිය ගමනේදී ඉන් තිදෙනකුගේ දිවියේ ඉරණම තින්දු වී තිබිණි.

පහන්තුඩාව ඇල්ල පිහිටා ඇත්තේ අතිශයින් ප්‍රකට සංචාරක කලාපයකය. දෙස්-විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මේ පෙදෙසේ සමනළ වැව, හොර්ටන් තැන්න, හා ලෝකාන්තයේ බෑවුම, බෙලිහුල් ඔය විශ්වවිද්‍යාලය පිහිටා තිබේ. මීදුම සහිත සුන්දර පරිසර සංචාරක සිත ආකර්ෂණය කරගනී.

බෙලිහුල් ඔය තානායම ඉස්මත්තේ බෑවුම් ප්‍රදේශය ඔස්සේ ගලා‍බසින සැඩපහර පහන්තුඩාව ඇල්ල ලෙස ඇදහැලේ. මීටර් 5ක්-6ක් පමණ උසින් යුතුය. මළදොළ සක්‍රීය වීමෙන් අධික බෑවුමෙන් යුතු මේ භූමිය ඔස්සේ විශල ජලකඳක් පහන්තුඩාව දියඇල්ල ඔස්සේ ගලාහැලේ. පහන්තුඩාව වලවේ ගඟේ ජල පෝෂක ප්‍රදේශයකි. එය මැටි පහනක හැඩයෙන් යුත් තටාකයකි. වර්ෂා සමයේ දියසුළි ඇති වීම, ගල්වළවල් හෑරීම හේතුවෙන් මේ තටාකයේ ස්වභාවය වරින් වර වෙනස් වේ. වේගවත් අධික ජලදහරාවකින් යුතු ජලගැලීම්, ආවාට, දිය සුළි, දිය සෙවෙල, ‍මේ දියඇල්ල අවට අනතුරුදායක බව වැඩි කරවයි. මේ ස්ථානය අනතුරු බහුල තැනක් ලෙස දිය ඇලි ගවේෂකයන් රතු නිවේදනයක්ද නිකුත් කර තිබේ.

නවයොවුන් විය පසුකරමින් තාරුණ්‍යයේ දොරකඩට පැමිණෙත්ම සරසවි වරම් දෝතින් තුරුලු කරගත් ඔවුහු ගිනිගහන උතුරුකරයේ සිට සීතකඳුකරයේ සිසිල විඳගන්නට පැමිණියහ. ඒ නව බලාපොරොත්තු ගොන්නක් කැටි කරගනිමිනි. ශ්‍රී ලංකාවේ මැනුම් විද්‍යාව සඳහා උපාධියක් පිරිනමන එකම ආයතනය වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ භූවිඥාපන පීඨය වෙත ඔවුන් පැමිණියේ දෙස්-විදෙස් රැකියා වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති පාඨමාලාවකට තේරීමේ භාග්‍යයට උරුමකම් කියමිනි. දැඩි අවුරශ්මියෙන් පිරුණ උතුරුකරයේ දැනුණු වෙහෙස ඔවුන් හැර ගියේ එකම රෑනක යෞවනයන් හා සමසිතින් දුක-සැප බෙදාගැනීමත් සරසවි දිවිපෙවෙතට අනුගත වීමත් සමගය. ජීවිතයේ දුක හඳුනාගෙන සිටි ඔවුන්ට සරසවිය හුරුපුරුදු තැනක් වන්නට වැඩි දිනක් ගත නොවීය.

ආදරකන්ද ‍ලෙස හඳුන්වන පරෙවියන්ගලත්, හාගල හා පහළ ලෝකාන්තයේ නන්පේරියල් කඳුවළල්ලේ සිහිලෙන් හා මධ්‍යම කඳුකරයේ සිව්දෙසින් ඇදහැලෙනා සුනිල්වන් දිය දහරාත් සමනළ වැවුතලාවත් රක්ෂිත වනතලාවත් ස්වාභාවික පරිසරයේ චමත්කාරය වැඩි කළේය. බෙලිහුල්ඔය සුන්දරත්වය හා සුව පහස සොයා යන්නට ජී සාරංගන්, එස් කෝබිසාන්ත්, එස් තිසාන්ත් ඇතුළු මෙකී කථාවේ නායකයෝද අමතතක නොකළහ.

මේ පිරිස සරසවි සගයන් අතර කාගේත් හොඳහිත දිනා සිටි අය වූ අතර, ශිෂ්‍ය ව්‍යාපාර මඟින් තම අයිතීන් වෙනුවෙන්ද පොදුවේ පෙනීසිටියහ. ක්‍රීඩාවට හපන්කම් පෙන්වූ සාරංගන් විශ්වවිද්‍යාලයීය ටයිකොන්ඩෝ කණ්ඩායමේ නායකයා විය. සෙසු දෙදෙනාද බැඩ්මින්ටන් හා පිහිනුම් ක්‍රීඩාවේ නිරත වූහ. සාරංගන්ගේ පියා නල්ලූර් කෝවිලේ පූජකයකු ලෙස කටයුතු කරන අතර, කෝබිසාන්ත්ගේ පියා පෙදරේරුවෙකි. මේ වන විට ඔහුට ඇවිදින්නට පවා අපහසු අතර මව පිළිකා රෝගි තත්ත්වයේ පසු වෙයි. තිසාන්ත්ගේ පියා ගොවිතැන් කටයුතුවලින් දිවිගෙවයි. සාරංගන්, කෝබිසාන්ත්, තිසාන්ත් මේ පවුල්වල ගැලවුම්කාරයන් ලෙස පවුල ගොඩගන්නට සිටි මුල් පුරුක් වූහ.

ඒ අමිහිරි දවස ඉරිදාවකි. බොහෝ සරසවි සිසුන් ආදර කන්දේ කුඹුක් පැළ රෝපණ වැඩසටනක යෙදී සිටියදී දෛවය ඔවුන් වෙනත් මඟකට යොමු කර තිබණි. මිතුරන් කිහිපදෙනෙක් ගමනට එක් වූහ. පඹහින්නේ සිට ඉහළගලගම ඔස්සේ පහන්තුඩා ඇල්ල බලන්නට ඔවුහු පිටත් වූහ. ඒ ඉකුත් 9 වැනිදා පෙරවරුවේය. ඇල්ල අසලට ගිය මිතුරන් එකිනෙකා දිය නාන්නට පිටන්ගත්තත් එක් අයක දිය නෑමෙන් වැළකී සිටීමට වගබලාගෙන තිබිණි. ඔහු රූගත කරමින්, සේයාරූ ගනිමින් ගොඩ සිටියදී අනෙක් මිතුරෝ දිය නාමින් තුටු වූහ. එක් අයකු ගැඹුරු බේසමක් වැනි කොටසේ පීනමින් සිට ඇත. හෝර්ටන් තැන්නෙන් ඇරඹෙන බෙලිහුල් ඔයේ එක් අවස්ථාවක් වන පහන්තුඩාව එක්වරම රළු විය. ක්ෂණයකින් ඇදී ආ ජල ප්‍රවාහය මිතුරන් සී සී කඩ කරමින් ඔවුන් නතු කරන්නට විය. දිය ගැඹුරේ ඒ මේ අත ගිය සදෙන එකිනෙකා පරයමින් යට යමින් උඩ එන්නට වූහ. ගොඩ සිටි සිසුවාගේ දැනුම් දීම අනුව සෙසු සරසවි සිසුවෝද වහා ක්‍රියාත්මක වූහ. සමනළවැව පොලීසියේ ජීප් රථය යොදාගනිමින් සිසුන් බළන්ගොඩ රෝහල කරා රැගෙන ගියත් දැඩි සත්කාර මැද තිදෙනකු මෙලොවින් සමු ගන්නට වූයේ තවදුරටත් ජීවිතයත් මරණයත් අතර කළ දැඩි සටනක් අබිමුව පරාජය බාර ගනිමිනි.

සිය මිතුරන් අහිමි වීම පිළිබඳ භූවිඥාපන පීඨයේ ආර් ඊ එස් යුගාන් අදහස් දැක්වූයේ මෙලෙසිනි:

“අපි කැම්පස්-එකට ආවේ 2016 පෙබරවාරියේ සිද්ධිය වූ දවසේ උදේ මම හිටියෙ හොස්ටල්-එකේ. රුක්රෝපණ වැඩේ ටිකක් ප්‍රමාද වන නිසා සාරංගන් මට කොල් කරලා 'for a Change of mind. We are going to pahanthuda...' එහෙම කියල පැය බාගයක් යන්න කලින් වතුරෙ ගිලුණ ආරංචිය දැනගන්න ලැබුණා. දමිළ සංස්කෘතික සංගමයේ උපලේකම් වුණෙත් සාරංගන්. මොවුන්ගේ නැති වීම දරාගන්න බෑ..”

භූවිඥාපන පීඨයේ පීඨාධිපති ආචාර්ය ඉන්දික ප්‍රසන්න මහතා:

“විශ්වවිද්‍යාලය අවට ගංගා ඇළ-දොළවල අවදානම් ස්ථාන තියනවා. එවැනි අවදානම් ප්‍රදේශවලට යන කොට අපි සිසුන් දැනුවත් කරනවා. මේ සිද්ධ වෙච්ච දේ ගැන හරිම කණගාටුයි. ඉදිරියේදී මෙවැනි දේ සිදු නොවෙන්න තවදුරටත් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් විශ්වවිද්‍යාලය මගින් කළ යුතුයි...”

සමනළ වැව පොලීසියේ ස්ථානාධිපති පොලිසි පරීක්ෂක ඩබ් කේ බී ලෝරන්ස් මහතා:

“ඇත්තටම මේ ගංගා ඇළ දොළ එක්වරම වෙනස් වෙනවා. මේ පළමු අත්දැකීම නොවෙයි. බෙලිහුල්ඔයේ පහන්තුඩාවේ ජීවිත ගණනක් නැති වෙලා තිබෙනවා. සිසුන් මීට වඩා කල්පනා කළ යුතුයි. තරුණ ජීවිත අකාලයේ විනාශ වීමෙන් වෙන්නේ රටට හානියක්...”

ඉඹුල්පේ ප්‍රදේශීය සභාපති ශ්‍රීලාල් සෙනරත් මහතා:

“කැම්පස්-එකේ දරුවො තුන්දෙනාට කලින් තවදරුවෙක් නැති වුණා. ඒ වෙලවේ අපි තීන්දු කළා මෙතන අනාරක්ෂිත ස්ථානයක් බව. ඉදිරියේදී ටිකට් එකක් නිකුත් කරන ක්‍රමවේදයකට අනුව ආරක්ෂිත පියවර සැලසුම් කර තිබෙනවා. එතැන ජීවිතාරක්ෂක පුහුණුවක් පඇති අයෙක් යොදවා තියන්න ඉදිරි පියවර ගන්නවා. ඒ වගේම ආරක්ෂිත පුවරු සවිකිරීමට පියවර ගන්නවා.

කලින් මේ ස්ථානයේ නැති වූ දරුවාගේ දෙමවුපියන් එම ආරක්ෂිත පුවරු සවි කිරීමට අදාළ මුදල ලබාදීමට සූදානම්. අපි නොබෝ දිනකින් එම කටයුතු කරනවා යි පැවසීය.” සෙල්ෆි ගැසීමට ගොස් පුද්ගලයකු පළමු වරට මියගියේද පහන්තුඩාව ජලාශයේ ගිලීමෙනි. පහන්තුඩාව ජලාශයේ අනතුරට ලක් වූවන් අතුරින් වැඩි පිරිස දෙමළ තරුණයෝය. ඊට හේතු වී ඇත්තේ ආසන්නයේ පිහිටි වතු ගම්මානයේ දෙමළ ජනයා වැඩි වශයෙන් වාසය කිරීමයි‍. ඇල්ල නැරඹීමට පැමිණෙන පිටපළාත්හි ජනයා ගම් වැසියන්ගේ අනුදැනුම මත ජලස්නානයට හා ජල ක්‍රීඩා සඳහා සුදුසු ස්ථාන භාවිත කිරීමට අවධානය යොමු කළ යුතු බව රත්නපුර දිස්ත්‍රික් දිය ඇලි යොවුන් මිතුරෝ සංවිධානයේ දිය ඇලි ගවේෂක අසිත ඉන්දික වීරවර්ධන ප්‍රකාශ කරයි.

බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල සංවර්ධනය කර දී සංචාරක මධ්‍යස්ථානයක් ලෙස සැකැසීම හා පහන්තුඩාව දියඇල්ල නැරඹුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට මෙන්ම මේ ස්ථානය අනතුරුදායක ස්ථානයක්ලෙස නම් කිරීමට ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රාදේශීය සභාව කටයුතු කළ යුතු වේයැයි දියඇලි ගවේෂක අසිත ඉන්දික වීරවර්ධන පවසයි. ශ්‍රී ලංකාවේ දෙස්-විදෙස් ආකර්ෂණය දිනා ඇති ස්ථාන අප නැරඹිය යුතුය. ශ්‍රී ලංකාවේ දියඇලි 340 අතරින් 63ක් අවදානම් සහිතය. ඉන් වැඩි අනතුරු දායක දියඇලි 15කි. ඒ අතරට පහන්තුඩාව දියඇල්ලද අයත්ය.

කනගාටුදායකම තත්ත්වය වන්නේ අපට අහිමිව ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ භූවිඥාපන පීඨයේ තුන් වන වසරේ සිසුන් තිදෙනෙකු වීමය. ඔවුහු හෙට රටට සම්පතක් වීමට සිටී දරුවෝය. මවුපියන්ට පමණක් නොව, ඔවුන් දැන් රටටම අහිමි වී ගොස් අවසන්ය. යාපනයේ පදිංචිව සිටි ගෝපාල් ක්‍රිෂ්ණන් සාරංගන් (25), යාපනය වට්කෝට්ටුහි පදිංචි සරවන් භවන් කෝබිසාන්ත් (23), ෂණිවේල්හි පදිංචි සෙල්වරත්නම් තිසනන් (25) යන තරුණයන් තිදෙනා සමස්ත ශ්‍රී ලාංකේය තරුණ පරපුර වෙත පණිවිඩයක් දී තිබේ.

ඒ, “තරුණ ඔබේ ජවය, ශක්තිය, දැනුම හා හැකියාව හුදු විනෝදය උදෙසා යොදා අනවශ්‍ය අවදානම් බාර නොගන්න” යනුවෙනි‍.

තරුණ ඔබ රටට සම්පතකි. විනෝදය සතුට සොයා සංචාරය කරන්න. එහෙත් ඔබට ඔවුන් තම මරණයත් සමඟ දුන් පණිවිඩය කෙරෙහි අවධානය යොමු කරන්න.

ඡායාරූප - බෙලිහුල්ඔය සමූහ
silumina

Post Bottom Ad

Pages