ලැබ්රෝයි ගෙදර යයි අසන්ත වැඩට එයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-26

ලැබ්රෝයි ගෙදර යයි අසන්ත වැඩට එයි

Author(s): 
ෆවුස් මොහොමඩ්

අසන්ත ද මැල් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා ඊයේ පියවර ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවේ නිර්දේශයට අනුව පත් කළ නව තේරීම් කමිටුවට බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත වික්‍රමරත්න සහ චමින්ද මෙන්ඩිස් මහත්වරු ද ඇතුළත් වෙති. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ද මෙහි සාමාජිකයකු වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක වේගපන්දු යවන්නකු වූ අසන්ත ද මැල් මහතා මීට පෙර 2004 වසරේදී පළමු වරට ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්වී වසර 6ක කාලයක් එම තනතුරෙහි කටයුතු කළ අතර පසුව නැවත 2012දී එම තනතුරට පත්විය.

පසුගිය වසරේ සැප්තැම්බර් මස ජාතික තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත්වූ ග්‍රෙහැම් ලැබ්රෝයි මහතා ඇතුළු තේරීම් කමිටුව ඊයේ දහවල් මුණ ගැසුණු ක්‍රීඩා අමාත්‍යවරයා ඔවුන්ට ස්තූතිය පළකළ බව නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

ලැබ්රෝයි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුවට ගාමිණි වික්‍රමසිංහ, ජේරිල් වවුටර්ස් සහ එරික් උපශාන්ත මහත්වරු ඇතුළත්වී සිටියහ.තේරිම් කමිටු සභාපතිවරයා ලෙස ලැබ්රෝයි මහතා පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ ක්‍රිකට් උපදේශන කමිටුවේ ද සාමාජිකයකු බවට පත්වී සිටියේය.

ශ්‍රී ලංකා පිලේ එළැඹෙන නවසීලන්ත සංචාරය සඳහා කණ්ඩායම නම් කිරීම නව තේරීම් කමිටුවේ පළමු රාජකාරිය වනු ඇත.

Post Bottom Ad

Pages