රෝග ප්‍රතිකාරය පිළිබඳ බෞද්ධ විග්‍රහය - විනය පිටකයේ භේසජ්ජක්ඛන්ධකය ඇසුරෙන් කරන විග්‍රහයකි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-08

රෝග ප්‍රතිකාරය පිළිබඳ බෞද්ධ විග්‍රහය - විනය පිටකයේ භේසජ්ජක්ඛන්ධකය ඇසුරෙන් කරන විග්‍රහයකි




දිල්ශාන් මනෝජ් රාජපක්ෂ

කථිකාචාර්ය, බෞද්ධ දර්ශනය අධ්‍යයන අංශය,

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය



බුදුරදුන් පුද්ගලයාගේ මෙලොව පරලොව ආත්ම විමුක්තිය පිණිස ඉවහල් වන සියලු දේ දනියි. එබැවින් පාළි සාහිත්‍යය තුළ බුදුරදහු භෙසජ්ජගුරු, සල්ලකත්ත (ශල්‍ය වෛද්‍යවරයා) හා භිසක්ක (චිකිත්සකවරයා) යනාදි පර්යායවලින්ද හඳුන්වනු ලැබූහ. ත්‍රිපිටකයේ අන්තර්ගත ප්‍රතිකාර ක්‍රම රැසක් සූත්‍ර පිටකයේද දැකිය හැකි වන අතර, මේ සම්බන්ධ පුළුල් විවරණයක් දැකිය හැකි වන්නේ ත්‍රිපිටකයේ විනය පිටකයේ මහාවග්ගපාළියේ සවන පරිච්ඡේදය වන භේසජ්ජක්ඛන්ධකයෙනි.

අංගුත්තරනිකායේ චතුක්ක නිපාතයේ රෝග සූත්‍රයේදී පුද්ගලයාට වැලඳෙන රෝග වර්ග දෙකක් පිළිබඳ බුදුරදුන් පෙන්වා දී තිබේ:

1. කායික රෝග

2. මානසික රෝග

කායිකව වැලඳෙන රෝගවලට ප්‍රතිකාර කරන ආකාර දෙකකි:

1. කායික වශයෙන් ප්‍රතිකාර කිරීම

2. මානසික වශයෙන් ප්‍රතිකාර කිරීම

කායික රෝගවලට ප්‍රතිකාර කිරීමේදී අනුගමනය කළ හැකි ප්‍රවේශ දෙකක් සැලකිල්ලට ගත හැකි ය.

1. ශරීරයේ ධාතූන්ගේ (පෝෂකයන්ගේ) ඌනතාවක් හෝ ඌනක්‍රියාකාරිත්වයක් වේ නම්, එය යථාර්ථයට ගැනීමෙනි.

2. ශරීරයේ ධාතූන්ගේ (පෝෂකයන්ගේ) අධිකතාවක් හෝ අධික්‍රියාකාරිත්වයක් වේ නම්, එය සමතුලිත කිරීමෙනි.

බුදුරදුන් කායික රෝග සඳහා ප්‍රතිකාර නියම කිරීමේදී භාවිතයට ගත යුතු හා ගත හැකි බෙහෙත් වට්ටෝරු නිර්දේශ කොට ඇත. භේසජ්ජක්ඛන්‍ධකයේදී බුදුරදුන් සරත් කාලයේ කාලගුණ වෙනස්කම්වලට (වැස්සට තෙමීම, මඩ පෑගීම, තද අවුවට නිරාවරණය වීම ආදිය නිසා පිත කුපිත වීමට ලක් ව පීඩාවට) මුහුණ දුන් භික්‍ෂූන් වහන්සේ ආහාර ජීර්ණය නොවීමේ ගැටලුවකට හෙවත් සාරාදිකාබාධයට (ආයුර්වේදයේ එන අම්ලපිත්ත රෝගයට) මුහුණ පා තිබේ. එවිට එම භික්‍ෂූන්ට බෙහෙත් වර්ග පහක් වැළඳීමට නියම කොට ඇත. ඒවා නම්:

1. ගිතෙල්

2. තලතෙල්

3. වෙඬරු

4. මී පැණි

5. උක් හකුරු

රළු ආහාරයක් වන කැඳ-බත් ජීරණය නොවීම නිසා එම භික්ෂූහු ආහාර ප්‍රතික්ෂේප කරන්නට වූහ. කෙටි කලකින් වැහැරීගිය උන් වහන්සේට උක්ත මෘදු ආහාර නිර්දේශ කළ බුදුරදුන් ඒවා උදේ-සවස ආහාරයට ගැනීමට උපදෙස් දී ඇති ආකාරය පෙනේ.

ගිලන් වූ භික්‍ෂූන්හට බුදුරදුන් වසා බෙහෙත් හෙවත් වුරුණු තෙල් අනුදැන වදාරා ඇත. ඒ තෙල් සකස් කරගැනීම පිණිස තෙල් වර්ග කිහිපයක් භාවිත කළ යුතු ආකාරය පෙන්වා දී ඇත:

1. වලස් තෙල්

2. මත්ස්‍යය තෙල්

3. කිඹුල් තෙල්

4. ඌරු තෙල්

5. කොටඵ තෙල්

මේ තෙල් සකසාගෙන පරිහරණය කළ යුතු ආකාරයද දක්වා ඇති අතර, පෙරවරු කාලයේදී පැසවා (උතුරුවා/ කකාරවා) තවත් ඖෂධ සමඟ පෙරවරුවේදීම වැළඳීමටත් සවස් වරුවේ නොවැළඳීමටත් නිර්දේශ කොට ඇත.

ඖෂධ නොවන කිසිවක් පරිසරයේ නැති අතර, ගස්වැල් ඖෂධ ලෙස පරිහරණය කළ යුත්තේ කෙසේද යන්නත්, ශාකයක විවිධ කොටස් කායික රෝග සමනය කොට ස්වස්ථතාව ඇති කිරීම පිණිස යොදාගත හැකි ආකාරය පිළිබඳ බුදුරදුන් සතුව පැවැති ආයූර්වේදීය හසළ ඥානයත් මේ මූලාශ්‍රය අධ්‍යයනයෙන් පෙනේ. බුදුරදුන් භේසජ්ජක්ඛන්‍ධකයේදී ගස්වල මුල් භාවිත කොට ඖෂධ සපයාගැනීමට නිර්දේශ කොට ඇත. එහිදී කහ, ඉඟුරු, වදකහ, හෙළවත කහ, අතිවිධ, කටුකරෝස, සුවඳකොට (වසුන්දරා), වම්මුතු (කලාඳුරු) යනාදිය ගිලන් වූ භික්‍ෂූන්ට නිර්දේශ කොට ඇත.

එසේම කහට ඖෂධ ගිලන් වූ භික්‍ෂූන්ට නිර්දේශ කොට ඇති බව භේසජ්ජක්ඛන්‍ධකයෙන් පෙනේ. කොහොඹ කහට, කහරු කහට, කෙළිඳ කහට, දුම්මැල්ල කහට මේ යටතේ නිර්දේශ කර තිබේ. එසේම ගෙඩි (ඵල) බෙහෙත්ද නිර්දේශ කොට ඇත. ඒ යටතේ වළඟසාල් (විළිංගං), තිප්පලි, ගම්මිරිස්, අරළු, බුළු, නෙල්ලි, කුකුරුමුවන් ආදිය මේ යටතේ නිර්දේශ වී තිබේ. එසේම මැලියම් බෙහෙත්ද ගිලන් වූ භික්‍ෂූන් හට නිර්දේශ කොට ඇත:

1. පෙරුම්කායම් (හිංගු)

2. පෙරුම්කායම් දඬු (හිංගු) තම්බාගෙන ගත් මැලියම්

3. හිංඟු කොළ තම්බාගත් පසු එයින් එන මැලියම්

4. වෘක්‍ෂවල කරටියෙන් එන මැලියම්

5. වෘක්‍ෂවල කොළවලින් ගන්නා වූ මැලියම්

6. වෘක්‍ෂවල මේරු කොටස්වලින් ගන්නා මැලියම්

7. දුම්මල ආදිය

එසේම භේසජ්ජක්ඛන්‍ධකයේදී ගිලන් වූ භික්‍ෂූන්ට ලුණු බෙහෙත්ද නිර්දේශ කොට තිබේ:

1. මුහුදු ලුණු

2. කළු ලුණු

3. සින්ධව (සහිඳ ලුණු - සින්දු දේශයේ උපත ලද ලුණු)

4. සුවස ලුණු (කෑමට ගන්නා ලුණු)

5. බළල් ලුණු (බිළාලං)

එසේම බුදුරදුන් ශරීර ක්‍රියාකාරිත්වය කෙරෙහි උපකාර වන ධාතු (පෝෂක) වැඩි වී ගිය විට ගිලන් භික්‍ෂූන් වහන්සේට අංශ තුනකින් ප්‍රතිකාර නිර්දේශ කොට ඇත:

1. පූර්ව ප්‍රතිකාරය

2. ප්‍රතිකාරය

3. පශ්චාත් ප්‍රතිකාරය

පූර්ව ප්‍රතිකාරය

පූර්ව ප්‍රතිකාර සඳහා අනුගමනය කරන පිළිවෙත් දෙකකි:

I. ශමන/ සමනය - කුපිත දෝෂ ඖෂධ හෝ ඖෂධ නොවන ක්‍රම මඟින් සංසිඳුවීම

ll. ශෝධනය - කුපිත දෝෂ ශරීරයෙන් ඉවත් කරවීම.

සමනය

මෙහි රෝග සමනය සිදු කරන ප්‍රවේශ දෙකක් වන අතර, එක් ක්‍රමයක් වන්නේ මනෝකායික වූපසමනයයි. අනෙක කායික වූපසමනයයි. බුදුරදුන් ඇතැම් කායික රෝග සුවපත් කරගැනීම සඳහා මනෝ මූලික ප්‍රවේශයක් අනුගමනය කර ඇති අතර, ඒ සඳහා ඖෂධ භාවිත නොකරයි. අංගුත්තරනිකායේ ගිරිමානන්ද සූත්‍රයේද, සංයුක්තනිකායේ බොජ්ඣංග සූත්‍රයේද අන්තර්ගත රෝග වූපසමනය සිදු වන්නේ එම ආකාරයටයි. පිරිත් සජ්ඣායනාවෙන් කායික දුබලතා සුවපත් වූ අයුරු සඳහා නිදසුන් රැසක් දැකිය හැකිය.

ශෝධනය

එසේම කායික දෝෂ ඖෂධ මඟින් හෝ ඖෂධ නොවන ක්‍රම මඟින් සමනය කිරීම මෙන්ම අදාළ දෝෂ ශරීරයෙන් ඉවත් කිරීමද තවත් වැදගත් ක්‍රමවේදයකි. එය හඳුන්වන්නේ ශෝධනය නමිනි. ශෝධනය ක්‍රම දෙකකි.

1. ස්නේහනය

2. සේදනය (ස්වේදනය)

ස්නේහනය යනු මෘදු කරවීමයි. චීවරක්ඛන්ධකයේ දී ජීවක වෙදැදුරු බුදුරදුන්ට විරේක කර්මයක් කිරීමට ප්‍රථමව බුදු සිරුරෙහි තෙල් ගල්වා දින කිහිපයක් ගත වන්නට සලස්වා ශරීරය මොළොක් කොට ඇත. ස්නේහනයේ ක්‍රම දෙකකි:

1. බාහිර ස්නේහනය

2. අභ්‍යන්තර ස්නේහනය

බාහිර ස්නේහනයට නිදසුන් රැසක් භේසජ්ජක්ඛන්‍ධකයේ දක්නට ලැබේ. වරෙක පිළින්දවච්ඡ හිමි හට වැලඳුණු හිසේ අමාරුවක් සමනය කිරීමට හිසෙහි තෙල් ගල්වාලීම සඳහා නිර්දේශ කොට ඇත. පසු නස්‍ය කිරීම තුළින් අභ්‍යන්තර ස්නේහනය සිදු කොට ඇත. එසේම තවත් වරෙක පිළින්දවච්ඡ හිමියන්ගේ පාදය පැළුණු විට තෙල් ගැල්වීම සඳහා උපදෙස් දී ඇත. එසේම පිළින්දවච්ඡ හිමි වාත අමාරුවකින් පෙළෙන විට සුදුසු සැළියක් ගෙන තෙල් පිස මධ්‍යසාර බසින තෙක් රත්කොට වැළඳීමට දීමෙන් අභ්‍යන්තර ස්නේහනයක් සිදු කිරීමට බුදුරදුන් උපදෙස් දී තිබේ.

එසේම ස්වේදනයෙන් හෙවත් ඩහදිය පිට කිරීමෙන්ද බුදුරදුන් ගිලන් භික්‍ෂූන් වහන්සේට ප්‍රතිකාර දීමට නිර්දේශ කළ අවස්ථාද දක්නට ලැබේ. ස්වේදනයේදී සාමාන්‍ය හා විශේෂ ක්‍රම කිහිපයක් පවතී. සාමාන්‍ය ක්‍රමය නම් කොළ වර්ග තම්බා එහි වාෂ්පවලින් ඩහදිය පිට කරවීමයි. විශේෂ ක්‍රම නම් සිරුරේ ප්‍රමාණයට වළක් කපා එයට අඟුරු පුරවා පස් හා වැලිවලින් වසා කොළ අතුරා තෙල් ගල්වාගෙන එහි ඔබ-මොබ පෙරළීමට සලස්වා ඩහදිය ගැන්වීමයි. එය මහා ස්වේදකර්මය ලෙස හැඳින්වේ. එසේම විවිධ බෙහෙත් වර්ග තම්බා ඒ ජලය සිරුරට ඉස ඩහදිය ගැන්වීම හා දිය කොටුවක උණු දිය සැළියක් තබා එහි ගිල්වීමෙන් ඩහදිය ගැල්වීමද ශරීර වේදනාවකින් පෙඵණ පිළින්දවච්ඡ භික්‍ෂුවට නිර්දේශ කර ඇත.

ප්‍රතිකාරය

භේසජ්ජක්ඛන්‍ධකයේ ගිලන් වූ භික්‍ෂුන්ට ප්‍රතිකාර කරන විට අනුගමනය කරන ප්‍රධාන ක්‍රම කිහිපයකි.

1. විරේචනය

මෙමගින් අදහස් කරන්නේ දෝෂ බැහැර කිරීමයි. විරේචන ක්‍රම කිහිපයකි.

a. සීස විරේචනය: හිසෙහි දෝෂ බැහැර කිරීම

b. වස්ති කර්ම හෙවත් අධෝවිරේචනය: මෙම ප්‍රතිකාර ක්‍රමය භික්‍ෂුන්වහන්සේලාට නුසුදුසු බව දීඝනිකාය අටුවාවේ බ්‍රහ්මජාල සූත්‍ර වර්ණනාවේ දක්වා ඇත.

2. වමනය: වමනය මඟින් දෝෂ බැහැර කිරීම

3. නත්ථුකම්ම (හෙවත් නශ්‍යකිරීම, නස්‍යකිරීම): නස්න කරවීම

වරෙක ජීවක වෙදැදුරු බුදුරදුන්ට මල් මිටක් ආධාරයෙන් නස්න කර්මය සිදු කර ඇත. පිළින්දවච්ඡ හිමියන්ට හිසේ අමාරුවක් වැලඳුණු විට නශ්‍ය කර්මයක් සිදු කොට තවදුරටත් ආරක්‍ෂිත නස්‍යකරණියක්ද ඖෂධීය දුම්පානයක්ද නියම කොට ඇත.

4. රක්ත මෝක්‍ෂණය: ලේ මුදාහැරීම

සන්ධිරුදාවක් පැමිණි කල්හි බුදුරදුන් පිළින්දවච්ඡ භික්‍ෂුවට රක්ත මෝක්‍ෂණයක් සිදු කිරීමට නිර්දේශ කර ඇති අතර, සිරුර සිඳීම සඳහා අඟක් භාවිත කිරීමට උපදෙස් තිබේ.

5 ශෛල්‍යකර්ම: සිරුර සිඳීම

බුදුරදුන් අනුමත කළ ශෛල්‍යකර්මද, අනුමත නොකළ ශෛල්‍යකර්මද ඇත. භික්‍ෂුවකට ගණ්ඩාබාධයක් හෙවත් ගෙඩියකින් ආබාධ වූ කල්හි සැත්කමක් කිරීමට උපදෙස් දී තිබේ. ඒ සඳහා කහට වතුර, තල කල්ක, පැලැස්තර, තුවාල බැඳීමට රෙදි පරිහරණය කිරීමට උපදෙස් දී ඇත. තුවාලය කසන විට අබ කුඩු ඇතිල්ලීමටත්, එය වනයක්ව තෙත් වන විට දුම් ඇල්ලීමටත්, එහි මස් දලු වැඩෙන විට ලුණු පුපුරකින් සිඳීමටත්, තවදුරටත් සුවපත් වීමට තෙල් ගැල්වීමටත් උපදෙස් දී තිබේ. එසේම භික්‍ෂූන් වහන්සේලාට භගන්දරබාධ (Anal Fissures) හටගත් කල්හි සැත්කම් නොකිරීමට උපදෙස් දී ඇත.

බුදුරදුන් භික්‍ෂූන් වහන්ස්ලාගේ රෝග සුව කළ අවස්ථා රාශියක් භේසජ්ජක්ඛන්‍ධකයේ හමු වේ. එක් අවස්ථාවක ආනන්ද හිමියන්ගේ ගුරුවරයා වන බෙල්ලට්ඨිසීස හිමියන්ට කැසීම් රෝගයක් නිසා ශරීරයේ බිබිළි හටගෙන, ඒවා පුපුරා සිවුර සිරුරට ඇලී යන්නට විය. එවිට බුදුරදුන් ජලයෙන් තෙමමින් සිවුර ශරීරයෙන් ඈත් කිරීමට භික්‍ෂූන් වහන්සේට උපදෙස් දී ඇත.

සැරව ගලන, දුගඳ හමන ආබාධ ඇති විට සුණු බෙහෙත් (චූර්ණ කුඩු කර, ගුළි කර) භාවිත කරන ලෙස උපදෙස් දී තිබේ. ඒ සඳහා මාර, සූරිය මාර, කොහොඹ, ගොම, මැටි, සායම් (කහට) යොදාගන්නා ලෙස උපදෙස් දී ඇත.

මේ බෙහෙත් සුනු කිරීමට වංගෙඩිය හා මෝල් ගස භාවිත කිරීමටත් එම සුනු සකසාගැනීමට පෙරහන භාවිත කිරීමටත් අනුදැන වදාරා ඇත. වරක් භික්‍ෂුවකට සර්පයකු දෂ්ට කළ විට මල මූත්‍ර, සුනු, අළු, මැටි යන සතර මහා විකට අනුදැන වදාරා තිබේ. එසේම වරක් භික්‍ෂුවක වස පානය කළ විට බුදුරදුන් අසූචි පෙවීමට අනුදැන වදාරා ඇත.

එසේම භික්‍ෂුවකට ගිහියකු දුන් වශීකරණ බෙහෙතක් පානය කිරීම නිසා හටගත් ආබාධයකදී ප්‍රතිකාර ලෙස නගුලෙහි ඇලුණු මඩ දිය හා කලතා පානය කිරීමට නිර්දේශ කොට ඇත.

පාණ්ඩු රෝගයට ගොම මූත්‍රවල යෙදු අරලු පානය කිරීමටත්, ඡවි දෝෂයට සුගන්ධ ද්‍රව්‍ය ආලේපයටත්, ශාපයකින් කිපුණු භික්‍ෂුවකට විරේචන පානය කිරීමටත්, උදරවාතබාධයට ලුණු විනාකිරි මිශ්‍රණය පානයටත්, කය දැවිල්ලට නෙළුම් අල හා දඬු ආහාරයටත් උපදෙස් දී තිබේ.



පශ්චාත් ප්‍රතිකාරය

(වැළැක්වීම හා රැකවරණය)

රෝගී භික්‍ෂුන්හට ඖෂධ හා ඖෂධ නොවන ක්‍රම උපයෝගි කොටගෙන රෝගවලින් වැළකීම හා රැකවරණය මඟින් නීරෝගිකම පවත්වාගෙන යෑමට අවශ්‍ය උපදෙස් රැසක් භේසජ්ජක්ඛන්‍ධකයේ ඇත. ඒ සඳහා කළ යුතු හා නොකළ යුතු දේ රැසක් එහි වේ. ඒ යටතේ මිනිස්, ඇත්, අස්, සුනඛ, සර්ප, සිංහ, ව්‍යාඝ්‍ර, දිවි, වලස්, කරබානා (වලස් වර්ගයක්) යනාදීන්ගේ මස් අනුභව නොකිරීමට උපදෙස් දී ඇත. එසේම හැකි අයුරින් කැඳ වැළඳීමට උපදෙස් දී තිබේ. කැඳ අනුභවයේ ආනිසංස රාශියකි:

l. ආයුෂ වැඩේ.

ll. වර්ණ වැඩේ.

lll. සැපය වැඩේ.

lV. බලය වැඩේ.

V. නුවණ වැඩේ.

Vl. කුසගිනි නැසේ.

Vll. පිපාසාව නැසේ.

Vlll. වාතය අනුලෝම කරයි.

lX. මූත්‍රාශය පිරිසුදු වේ.

X. ආහාර ජීර්ණය වේ.

කැඳ අනුභවයේ මහත් පල ඇති බැවින් අන් අයටත් සකසා දීම යහපත් වේ. නිත්‍ය කැඳ දන් දීම දිව්‍ය මනුෂ්‍ය සම්පත් ලැබීමට හේතු වේ.

නීරෝගිකම යමකුට ලැබිය හැකි ලාභ අතුරින් උතුම්ම ලාභයයි (ආරෝග්‍යපරමා ලාභා). ඒ සඳහා මනා වූ කායික හා මානසික පැවැත්මක් ඇති කරගත යුතුය. භේසජ්ජක්ඛන්‍ධකයේදී බුදුරදුන් සීලයෙහි පිහිටා කටයුතු කිරීමට උපදෙස් දී ඇති අතර, සීලයෙහි අනුසස්ද දක්වා ඇත:

1. මහත් භෝග ලබයි.

2. කීර්තිය ලබයි.

3. නිර්භය වේ.

4. නොමුළාව කලුරිය කරයි.

5. ස්වර්ග භවවලදී උපදියි.

එසේම වැළඳිය යුතු ඖෂධීය පැන් වර්ග කිහිපයක්ද භේසජ්ජක්ඛන්‍ධකයේ දක්වා ඇත. අඹ පැන්, දඹ පැන්, ඇට කෙසෙල්, මස් කෙසෙල්, මී පැණි, මිදි පැන්, ඕලු පැන් බොරලු අමුණු පැන් ආදිය මේ යටතේ නිර්දේශ කොට ඇත. එසේම එහි දී පලා කොළ රසය, මල් රසය, උක් රසය අනුදෙනු වදාරා තිබේ. මස්-මාංස අනුභවයේදී ත්‍රිකෝටික පරිශුද්ධ සීලය යටතේ තමන් නොදුටු, නොඇසූ, සැක නොකළ මස්-මාංස අනුභවය සුදුසු බව දක්වා ඇත.

බුදුරදුන් ප්‍රතිකාර නියම කිරීමේදී ඖෂධ ගත යුතු කාලය, ඖෂධ සැකසීමට ගන්නා අමුද්‍රව්‍ය හා උපකරණ, ඖෂධ මිශ්‍ර කළ යුතු අයුරු, කාලගුණය හා දේශගුණය කෙරේ අවධානය යොමු කිරීම, ඖෂධ කල් තබාගත යුතු අයුරු, ගිලනුන්ට උපස්ථාන කළ යුතු අයුරු හා අපහසුතාවට පත් නොවන අයුරින් කටයුතු කරන ආකාරය ආදි සෑම කරුණක් පිළිබඳවම සැලකිලිමත් විය යුතු ආකාරය භේසජ්ජක්ඛන්‍ධකයේදී පෙන්වා දී තිබේ.

Post Bottom Ad

Pages