සනත් ගුණ­ති­ලක පුම්බන්න මට වුව­මනා වුණේ නැහැ - හේමාලි විජේ­රත්න - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-08

සනත් ගුණ­ති­ලක පුම්බන්න මට වුව­මනා වුණේ නැහැ - හේමාලි විජේ­රත්න




“ලාංකේය මහා නළු පර­පුරේ අව­සන් සුපිරි තරුව” හේමාලි විජේ­රත්න පළ කළ නව­තම කෘති­යයි. එහෙත් ඈ සනත් ගුණ­ති­ලක මූලික කර ගනි­මින් මෙය සම්පා­ද­නය කළේ කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ සමා­ජීය විද්‍යා­පති පශ්චාද් උපාධි පාඨ­මා­ලාවේ අව­ශ්‍ය­තාව සපු­රනු වස් ඉදි­රි­පත් කළ පර්යේ­ෂණ නිබ­න්ධය ඇසු­රෙනි. නිබ­න්ධ­යක් කෘති­යක් ලෙස පළ කිරීම සම්බ­න්ධ­යෙන් හේමාලි විජේ­රත්න සමඟ පැවැත්වූ සම්මුඛ සාක­ච්ඡා­වකි මෙය. මෙම කෘතිය පිළිිබඳව සනත් ගුණතිලකගේ අදහස් දැන ගැනීමට උත්සාහ කළද ඔහුගේ රෝගී තත්වය නිසා කතා කිරීමට අපහසු බව දන්වා සිටියේය.හේමාලි විජේ­රත්න දීර්ඝ කාල­යක් මුළුල්ලේ ලේක්හ­වුස් ආයතනයේ මාධ්‍ය­වේ­දි­නි­යක ලෙස කට­යුතු කරයි.

ඔබේ පර්යේ­ෂණ නිබ­න්ධය සඳහා සනත් ගුණ­ති­ලක කලා­ක­රු­වා­වම තෝරා ගැනී­මට විශේෂ හේතුව කුමක්ද?

සමා­ජීය විද්‍යා­පති පශ්චාද් උපාධි පාඨ­මා­ලාවේ මගේ විෂය වූයේ සින­මාව. අනෙක මම දීර්ඝ කාල­යක් සර­ස­විය පුව­ත්පතේ සේවය කළ නිසා සින­මාව ගැන තොර­තුරු රාශි­යක් මා ගවේ­ෂ­ණය කර තිබුණා. එහිදී මට පෙනී ගියා සනත් ගුණ­ති­ලක කියන රංගන ශිල්පියා සම්භා­ව­නා­වට පාත්‍ර විය යුතු කලා­ක­රු­වෙක් බව. එහෙත් කිසිම අව­ස්ථා­වක ඔහු ගැන ශාස්ත්‍රීය අධ්‍ය­ය­න­යක් කර තිබුණේ නැහැ. ඒ නිසයි මගේ නිබ­න්ධ­යට මා සනත් ගුණ­ති­ල­කව තෝරා ගත්තේ.

මෙම මාතෘ­කාව ශාස්ත්‍රීය නිබ­න්ධ­ය­කට ඔබ ගළපා ගත්තේ කොහො­මද?

මගේ නිබ­න්ධන මාත‍ෘ­කාව වුණේ දේශීය සින­මාව මාධ්‍ය කලාව හා දේශ­පා­ලන ලෝකය තුළ සනත් ගුණ­ති­ල­කගේ භූමි­කාව. ඒත් ඒ නම පොත­කට ගැළ­පෙන්නේ නැහැනේ. ඒ නිසා මම “ලාංකේය මහා නළු පර­පුරේ අව­සන් සුපිරි තරුව” ලෙස නම වෙනස් කළා. මගේ ශාස්ත්‍රීය නිබ­න්ධ­­යේදී මාතෘ­කාව ගැන මට ගැට­ලු­වක් මතු වුණේ නැහැ. ඒ ගැන කවු­රුත් ශාස්ත්‍රීය අධ්‍ය­ය­න­යක් කර තිබුණේ නැති නිසා මට ඊට අව­ස­රය ලැබුණා.

ඔබේ ශාස්ත්‍රීය නිබ­න්ධය පොතක් විදි­හට පළ කිරී­මේදී වෙනස් කළේ නම පමණ ද? අන්ත­ර්ග­තය සංශෝ­ධ­නය කළේ නැතිද?

ඔව්. පොත­කට ගැළ­පෙන විදි­හට නම වෙනස් කළා. නිබ­න්ධ­යට ඇතු­ළත් කර තිබුණු දීර්ඝ වගු­ගත කිරීම් ලඝු කළා. ඒ හැර තොර­තුරු සංශෝ­ධ­නය කිරී­මක් සිද්ධ කළේ නැහැ.

ඔබේ පොතේ පරි­ච්ඡේද හත­රෙන් එක් පරි­ච්ඡේ­ද­යක පම­ණයි සනත් ගුණ­ති­ල­කගේ රංග­නය හා භූමිකා අධ්‍ය­ය­නය පිළි­බඳ සාකච්ඡා කෙරෙන්නේ. සෙසු පරි­ච්ඡේද ඔබ යොදා ගත් පර්යේ­ෂණ ක්‍රම­වේද සහ අප­දාන ලියැ­වුණු දෙස් විදෙස් නළු නිළි­යන් සඳහා වෙන් කර තිබෙ­නවා. එය සනත් ගුණ­ති­ල­කට කළ අසා­ධා­ර­ණ­යක් නොවේද?

සනත් ගුණ­ති­ල­කට අසා­ධා­ර­ණ­යක් වුණා කියලා මම කිසි­සේත් හිතන්නේ නැහැ. මම මේ සඳහා පාදක කර ගත්තේ 1979 සිට 2000 වසර දක්වා ඔහු රඟපෑ චිත්‍ර­පට 133ක්. ඔහුගේ චිත්‍ර­පට‍ 133ක් අධ්‍ය­ය­නය කර ලිවී­මෙන් ඔහුට සාධා­ර­ණ­යක් වුණා කියලා මම විශ්වාස කර­නවා. අනෙක, මෙය ශාස්ත්‍රීය පර්යේ­ෂණ ග්‍රන්ථ­යක්. ඊට ඔහුගේ ජීවන වෘත්තාන්ත එකතු කළා නම් මෙය ශාස්ත්‍රීය නොවෙන්න තිබුණා. ඊට එම තොර­තුරු නොගැ­ළ­පෙන්න ඉඩ තිබුණා.

සනත් ගුණ­ති­ලක යන නළුවා අප හඳු­නා­ ගන්නේ වාණිජ, කලා­ත්මක සහ මැද මාවතේ සිනමා නළු­වකු වශ­යෙන්. ඔබ ඒ පිළි­බ­ඳව විස්ත­රා­ත්ම­කව සාකච්ඡා කිරී­මට එත­රම් උන­න්දු­වක් දක්වා නැති බවයි මගේ හැඟීම?‍

එය ඔබගේ හැඟීම. මම විශ්වාස කර­නවා මම සනත් ගුණ­ති­ල­කගේ සිනමා රංග­නය ගැන ඉතා­මත් හොඳින් විශ්ලේ­ෂ­ණය කර තිබෙ­නවා කියලා. සනත් ගුණ­ති­ලක රඟපෑ චිත්‍ර­පට 133 කලා­ත්මක චිත්‍ර­පට 30ක් වාණිජ චිත්‍ර­පට 95ක් මැද මාවතේ චිත්‍ර­පට 8ක් ලෙස බෙ‍ෙද­නවා. එයින් සිය­යට ගණ­නක් නියැ­දි­යක් වශ­යෙන් තෝරා­ගෙ­නයි මම සනත් ගුණ­ති­ල­කගේ රංග­නය පිළි­බ­ඳව සාකච්ඡා කළේ. ඒ අනුව කලා­ත්මක චිත්‍ර­පට 14 කුත් වාණිජ චිත්‍ර­පට 04ක්ද මැද මාවතේ චිත්‍ර­පට 07ක්ද මම සාක­ච්ඡා­වට භාජ­නය කර තිබෙ­නවා. ඒ නිසා මම විශ්වාස කර­නවා මම සනත් ගුණ­ති­ල­කගේ සිනමා රංග­නය ගැන විස්ත­රා­ත්ම­කව සාකච්ඡා කළ බව.

මෙම ශාස්ත්‍රීය නිබ­න්ධය රචනා කිරී­මේදී සනත් ගුණ­ති­ල­ක­ගෙන් ඔබට ලැබුණු සහ­යෝ­ගය කොහො­මද?

ඔහු­ගෙන් මට විශාල ස‍හයෝ­ග­යක් ලැබුණා. ඇත්ත­ටම ඔහු මගේ දීර්ඝ කාලීන මිතු­රෙක්. ඒ මිත්‍ර­ත්ව­යත් මට මේ පොත රචනා කිරී­මට බල­පෑවා. මම ඔහු රඟපෑ චිත්‍ර­පට 133 න් 100 ක් නැර­ඹුවා. ඊට ඉඩ ප්‍රස්ථා සැල­සුවේ සනත් ගුණ­ති­ලක. ඒ වගේ ම ඔහු සතු දුර්ලභ ඡායා­රූප මට ලබා දුන්නා. ඔහු ඇසුරු කළ හිත මිතු­රන්, ඔහුගේ ඥාතීන් සහ ගුරු­ව­රුන් මට තොර­තුරු සොයා ගැනීම සඳහා සම්බ­න්ධ­කර දුන්නා. ඒ ආකා­ර­යට ඔහු මගේ නිබ­න්ධය රචනා කිරීම සඳහා බොහෝ උප­කාර කළා.

සනත් ගුණ­ති­ල­කගේ දේශ­පා­ලන භූමි­කාව ගැන කතා කරන විට ඔහුට එල්ල වූ අප­වාද, විවේ­චන පිළි­බ­ඳව සට­හන් කර තිබෙ­නවා. ඊට සන­ත්ගෙන් විරෝ­ධ­යක් එල්ල වුණේ නැතිද?

අපොයි නැහැ. සනත් ගුණ­ති­ලක දේශ­පා­ලන ක්ෂේත්‍රයේ අසා­ර්ථක චරි­ත­යක් බව මම මෙහි ලියා තිබෙ­නවා. ඔහුට එල්ල වූ අප­වාද සහ විවේ­චන සඳ­හන් කර තිබෙ­නවා. ඒ විත­රක් නොවෙයි. සනත් ගුණ­ති­ලක යන රංගන ශිල්පි­යාගේ රංග­නයේ දුර්ව­ලතා පිළි­බ­ඳ­වත් මම සාකච්ඡා කර තිබෙ­නවා. ගඟ අද්දර චිත්‍ර­ප­ටයේ ඔහුගේ රංගන දුර්ව­ලතා වගේ ම එක­මත් එක රටක චිත්‍ර­ප­ටයේ රඟ­පෑමේ අඩු­පාඩු මම සඳ­හන් කළා. ඒ කිසිම දෙයක් පොතේ සඳ­හන් කර­න­වාට ඔහු විරුද්ධ වුණේ නැහැ. සනත් ගුණ­ති­ලක සුදු කරන්න මට වුව­මනා වුණේ නැහැ වගේ ම සනත්ට වුව­මනා වුණෙත් නැහැ.

ඔබේ ශාස්ත්‍රීය නිබ­න්ධය ඒ ආකා­ර­ය­ටම පොතක් ලෙස මුද්‍ර­ණ­ද්වා­ර­යෙන් එළි­දැ­ක්වී­මට සිතුණේ ඇයි?

එය මගේ අද­හ­සක් නොවෙයි. සනත් ගුණ­ති­ලක‍ගේ අද­හ­සක්. මෙම නිබ­න්ධයේ ඔහු රඟපෑ චිත්‍ර­පට නාමා­ව­ලිය සහ චිත්‍ර­ප­ට­වල තොර­තුරු, ඔහු ලබා­ගත් සම්මාන, රංගන දාය­ක­ත්වය ලබා­දුන් චිත්‍ර­පට සහ ටෙලි­නාට්‍ය චරිත, ඔහු ලියූ ගීත, ඔහුගේ දේශ­පා­ලන ගමන් මඟ ආදී වශ­යෙන් තොර­තුරු රාශි­යක් ඇතු­ළත් වෙනවා. සනත් ගුණ­ති­ලක විශ්වාස කළා ඔහු ගැන තොර­තුරු සොයන කෙනෙ­කුට ඔහු ගැන හදා­රන කෙනෙ­කුට මෙය පොතක් ලෙස පළ කළොත් ප්‍රයෝ­ජ­න­වත් වේවි කියලා. ඒ නිසයි මගේ නිබ­න්ධය පොතක් ලෙස ප්‍රකා­ශ­යට පත් කළේ. ඇත්ත­ටම මට පොත මුද්‍ර­ණය කර ගැනී­මට පොත් ප්‍රකා­ශ­කයා වන ඉමාෂි පබ්ලි­කේ­ෂන් පවා සොයා දුන්නේ සනත් ගුණ­ති­ලක විසින්.

ඔබ සනත් ගුණ­ති­ල­කගේ හොඳ මිතු­රි­යක්. සනත්ගේ ජීවන තොර­තුරු, පෞද්ග­ලික ජීවි­තයේ රස­මුසු තැන් යනා­දිය ඇතු­ළත් කර­මින් මෙම කෘතිය වඩාත් පුළුල් වූවා නම් මෙය මීට වඩා රස­වත් පොතක් ‍වීමට ඉඩ තිබුණා නේද?

එම තොර­තුරු ඇතු­ළත් කරලා මම වෙනත් පොතක් ලිය­නවා. මෙම පොත ශාස්ත්‍රීය මට්ට­මෙන් රචනා කළ පොතක් නිසා ඊට ජීවන තොර­තුරු වැනි දේවල් අඩංගු කිරීම සුදුසු නැති බවයි මගේ හැඟීම. ඒ නිසයි මම සනත්ගේ අප­දා­නය වෙනම කෘති­යක් හැටි­යට ලියන්න තීර­ණය කළේ.

සනත් ගුණ­ති­ල­කගේ අප­දා­නය ළඟ­දීම ප්‍රකා­ශ­යට පත් වේවිද?

ලබන අවු­රුද්දේ පළ කරන්න මම අද­හස් කර­ගෙන සිටි­නවා.

හර්ෂා සුග­ත­දාස
සේයාරුව - නිශ්ශංක විජේරත්න - silumina

Post Bottom Ad

Pages