කෝලිට අද අභියෝග දෙකක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-26

කෝලිට අද අභියෝග දෙකක්

Author(s): 
ෆවුස් මොහොමඩ්

ඉන්දියාවට එරෙහිව අද (26) මෙල්බර්න් නුවර ඇරැඹෙන බොක්සිං දිනයේ ටෙස්ට් තරගයේදී සත්කාරක ඔස්ට්‍රේලියානු පිලේ සම නායකත්වයට නම් කළ මොහොතේ සිට 7 හැවිරිදි ආචි ස්චිලර්ට ලොව පුරා විවිධ මාධ්‍ය ආයතනවල වාර්තාකරුවන්ගෙන් බේරිල්ලක් නැත.

එවැනි කුඩා වයසක පසුවන ඔස්ට්‍රේලියානු කොලුගැටයකුට තබා දස්කම් අතින් පරිපූර්ණ දැවැන්ත ක්‍රීඩකයන්ටත් ලෙහෙසියෙන් රිංගා ගැනීමට අවස්ථාවක් නොලැබෙන ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් පිලට ඇඩිලේඩ් නුවර බරෝසා පළාතේ මේ පුංචි දඟපන්දු යවන්නා එක්වූයේ විස්මිත ආකාරයෙනි.

එසේ වුවත් අවාසනාවන කරපින්නා ගෙන උපන් මේ පුංචි කොලු ගැටයා හදවත් රෝගියෙකි. ඔහුට මේ වනවිට සැත්කම් ගණනාවක් සිදු කර ඇති අතර ඉදිරියේදී තවත් සැත්කම් ගණනාවකට මුහුණදීමට සිදුවී තිබේ. වෛද්‍යවරුන් පවසන ආකාරයට නම් ඔහුගේ ජීවිතය පවා ඇත්තේ අවදානම් තත්ත්වයකය.

ජාතික පිලේ නායක ටිම් පේන් සමගත්, සෙසු ක්‍රීඩකයන් සමගත් උරෙනුර ගැටෙමින් පුහුණුවීම්වල නිරතව සිටි පුංචි ආචිට අද තරගයේදී විශාල කාර්යභාරයක් ඉටු කිරීමට සිදුවී ඇත.

කණ්ඩායමේ සමනායකයා ලෙස ඔහු ජාතික ගීය වාදනය වන අවස්ථාවට පමණක් නොව කාසියේ වාසිය උරගා බලන අවස්ථාවටත් එක්වනු ඇත. ඉන් නොනැවතී කණ්ඩායමේ සාකච්ඡාවලදී පුහුණුකරු සහ ඔහුගේ සමනායක ටිම් පේන් සෙසු ක්‍රීඩකයන්ට උපදෙස් ලබාදෙන අවස්ථාවලටත් එක්වනු ඇත. මෙය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයක් බැවින් ඔහුට ක්‍රීඩා කිරීමට පිටියට පිවිසීමේ අවස්ථාවක් හිමිනොවුවත් ඒකාන්තයෙන්ම සිසිල්පැන් විවේකයේදී නරඹන්නන්ගේ ජයඝෝෂා හඬ මැද ඔහු පිටියට පිවිසීම නම් ඒකාන්තය.

බාගෙවිට ඔස්ට්‍රේලියානු පිල පන්දුවට පහරදෙද්දී පිතිකරු යුගලයට තුවා සහ සිසිල් පැන් රැගෙන යන අතිරේක ක්‍රීඩකයන් සමග පුංචි ආචි ද එක්වනු ඇත. සාමාන්‍යයෙන් පුහුණුකරු වරින් වර පන්දුවට පහරදෙමින් සිටින සිය කණ්ඩායමේ පිතිකරුවන්ට උපදෙස් යවනු ලබන්නේ අතිරේක ක්‍රීඩකයන් හරහාය. එවැනි අවස්ථාවලදී පුංචි ආචි ද පිටියට ගොස් සිය පිතිකරුවන්ට උපදෙස් කිහිපයක් ලබාදෙනු දැකීමට නරඹන්නෝ පුල පුලා බලා සිටිති. ඔස්ට්‍රේලියාවේ සෑම පළාතකින්ම අතිවිශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් අද මෙල්බර්න් නුවර ක්‍රීඩාංගණයට එක්රොක් වන්නේ සිය කණ්ඩායමේ දස්කම් දැකබලාගැනීමට පමණක් නොව පුංචි ආචි කණ්ඩායමේ සාමාජිකයකු ලෙස කටයුතු කරන ආකාරය දෑසින් දැකබලා ගැනීමටය.

මරණය දෝතින් තුරුළුකරගෙන ජීවත්වීමට බලාපොරොත්තු පොදි බඳින පුංචි කොලුගැටයාගේ සිතට දිරියක් ගෙන දීමට ඔහු කණ්ඩායමට ඇතුළත් කිරීමට පමණක් නොව සම නායකත්වය පිරිනැමීමටත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ගත් මේ තීරණය ගැන දැන් දැන් ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රජාව දැඩි පැසසුමට හා ගෞරවයට පාත්‍ර කළ කාරණාවකි. එමෙන්ම එය ඉතා සංවේදිජනක සිදුවීමකි.

‘ටිම් පේන් එක්ක නායකයා විදිහට පිටියට යාමට අවස්ථාව ලැබීම ගැන මම ඉන්නේ පුදුමාකාර සතුටකින්. ඒක විශිෂ්ට අත්දැකීමක්. ඒ වගේම මම කැමැතිම ක්‍රීඩකයන් එක්ක විවේකාගාරයේ එකට වාඩිවී සිටින්නට ලැබීම කොයිතරම් දෙයක්ද.?‘ සතුට ඉහවහා ගිය මේ පුංචි කොලුගැටයා එසේ කියයි.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ පමණක් නොව කණ්ඩායමේ සගයන්ගේද අරමුණ වූයේ එයයි. ඊළඟ සැත්කමට පෙර ආචිගේ සිත සතුටින් පිරවීමට අවස්ථාවක් ලැබීම ගැන සමස්ත ඔස්ට්‍රේලියානු කණ්ඩායම පසුවන්නේ පුදුමාකාර සතුටකිනි. එය මේ තරගයට හොඳ මානසිකත්වයෙන් යුතුව ක්‍රීඩා කිරීමට ඔවුන්ට ලැබුණු කදිම උත්තේජනයක් ද විය.

තරගයේ ප්‍රතිඵලය කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙන්ම විරාත් කෝලිගේ ඉන්දීය කණ්ඩායමත් තරගයට එක්වන්නේ ආචි පිළිබඳ ඉතා සංවේදි හැඟීම් සමුදායකින් සිත පුරවාගෙනය. ඉන්දියවේ ‘ස්පෝර්ට්ස්ටාර්‘ සඟරාව කියන්නේ විරාත් කෝලිට අද අභියෝග දෙකකට මුහුණදීමට සිදුවනු ඇති බවකි. ‘දෙපිල අතර ටෙස්ට් තරගමාලාව දැන් 1-1කින් සම තත්ත්වයේ පවතින අතර අද තරගය තීරණාත්මකය. කෝලිට අද මුහුණදීමට සිදුවී ඇත්තේ නායකයන් දෙදෙනකුගෙන් සමන්විත ඔස්ට්‍රේලියානු පිලටය.‘ එම සඟරාව එසේ කියයි.

‘මගේ ජිවිතයේ ලොකුම සතුට මේකයි.‘ පුංචි ආචි නිරතුරුවම එසේ කියන බව ඔහුගේ මව සාරා වාර්තාකරුවන්ට පැවැසුවාය‍. දැන් ආචිට සිතේ සතුටින් ඊළඟ සැත්කමට මුහුණදීමට හැකිය.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages